2019 මැයි 18 වන සෙනසුරාදා

වෙසක් කූඩුවලට මේ පාර ඉල්ලුම වැඩියි

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 294

සිංහල අලුත් අවුරුද්ද අවසන් වීමත් සමඟම සෑම බෞද්ධයකුම සූදානම් වන්නේ වෙසක් උත්සවය සැමරීමටය. ඇතැම්හු දන්සල් පැවැත්වීම සඳහා සූදානම් වෙති. සමහරු තොරණ හා වෙසක් කූඩු නිර්මාණය කරති. කුඩා දරුවන්ට වෙසක් උත්සවය යනු අපූරු අත්දැකීම් ගොන්නක් එකතුවන කාලයකි.

නමුත් පසුගිය පාස්කු දිනය දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් අදටත් රට තුළ ජීවත් වන ජනතාව පසුවන්නේ නොසන්සුන් මානසිකත්වයකිනි. මේ නිසාම මෙවර වෙසක් උත්සවය ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාවන්ට පමණක් සීමා කරමින් චාම් ලෙස සැමරීමට රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ වර්තමානයේ උද්ගත වී තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹ තිබේ.

එකල ගැමියන් කූඩු නිර්මාණය කළේ තරගයටය. සෑම ගෙවත්තකම පාහේ ගොක්කොළ සැරසිලි කිරීම සිදුකරයි. එ පමණක් නොව ගෙවත්තට ඇතුළු වන ස්ථානයේ උණබට වලින් ආරුක්කු සාදා එම ආරුක්කුවේ හරහට අදින වැල්වල ගොක්කොළ එල්ලීම සිදුකරයි. විශේෂයෙන් මෙම සැරසිල්ල එකල ගමේ පන්සලේ දකින්නට ලැබුණු නිර්මාණයකි. ඉතා ශක්තිමත් වූ මදුවැල් වැනි වැල් මේ සඳහා යොදාගනු ලබයි.

ගැමියෝ එපමණකින් නොනවතිති. සෑම නිවෙසකම පාහේ වෙසක් කූඩු නිර්මාණය කිරීම වෙසක් සමයේ දක්නට ලැබෙන දසුනකි. අද මෙන් එක වෙසක් කූඩුවකින් එක නිවෙසක් සෑහීමට පත් නොවේ. ගෙවත්තේ තැනින් තැන එල්ලන ලද වෙසක් කූඩු ආලෝකමත් වූයේ දල්වන ලද ඉටිපන්දමකිනි. තම නිවෙසේ සාදන අලංකාර වෙසක් කූඩුවක් ගමේ පන්සලේ එල්ලීම එකල ගැමියන්ගේ සිරිතකි. පන්සලේ එල්ලූ වෙසක් කූඩු ප්‍රමාණයෙන් ගමේ පන්සලට අයත් වන නිවාස ගණන සිතාගත හැකිය. ඇතැමුන් වෙසක් කූඩු නිර්මාණය කරන ලද්දේ කාටවත්ම නොපෙනෙන්නට හොර රහසේය. වෙසක් දිනය දා නිවෙසින් මිදුලට ගෙන දැල්වූ වෙසක් කූඩුව දැක මවිත වුණු ගමේ ගැමියන් දැක ඇතැම්හු සතුටු වූහ.

බොහෝ දෙනා නිර්මාණය කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ අටපට්ටම් කූඩුය. අටලෝ දහම සංකේතවත් කරමින් නිර්මාණය වූ මෙය එකල දැල්වූ ඉටිපන්දමට හෝ පහනට ගිනිගෙන දැවී යද්දී “සියලු දේ අනිත්‍යයයි” යන්න මෙනෙහි කිරීමට වැඩිහිටියෝ පුරුදුව සිටියහ.

නමුත් වර්තමානයේ දී එයට සාපේක්ෂව තත්ත්වය වෙනස්ය. අද බොහෝ බෞද්ධයෝ පහසුව තකා වෙළෙඳපොළේ විකිණීමට ඇති වෙසක් කූඩු මිලදී ගෙන නිවෙසට රැගෙන යති. වෙසක් දිනය දා විදුලි බුබුළු වලින් ආලෝකමත් වූ වෙසක් කූඩු තමා සෑදූ ඒවා මෙන් සිතා එල්ලා විසිතුරු බව දැකීමට උත්සාහ කරති.

අද වෙළෙඳපොළේ ඇත්තේ බොහෝවිට එකම රටාවකට නිර්මාණය වූ වෙසක් කූඩුය. අටපට්ටම් කූඩු, නෙළුම් මල් හැඩැති කූඩු, චෛත්‍ය හැඩැති කූඩු වැනි බොහොමයක් එකම රටාවේ වන කූඩු නිර්මාණය වේ. මීට අමතරව විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ලද වෙසක් කූඩුවලට ඇත්තේ විශාල ඉල්ලුමකි.

වෙසක් මාසය උදාවීමත් සමඟ ඇතැමුන් මෙම වෙසක් කූඩු නිර්මාණය තම තාවකාලික ජීවනෝපාය බවට පත් කරගෙන තිබේ. මහා මාර්ගය ආසන්නයේ තාවකාලික කූඩාරම් හෝ අටවා ඔවුහු වෙසක් කූඩු සාදති. මේ නිසාම ඉතා ඉක්මනින් මෙම වෙසක් සැරසිල්ලක් ගෙන ගොස් වෙසක් දිනයට තම නිවෙස සරසා ගැනීමට බෞද්ධයන් දක්වන්නේ විශාල කැමැත්තකි.

මෙවැනි මිලදී ගැනීම් හේතුවෙන් වර්තමානයේ ළමා පරපුර අටපට්ටම් කූඩුවක් පවා නිර්මාණය කර ගැනීමේ හැකියාවක් නොමැති තත්ත්වයට පත්ව සිටිති. මෙය ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයකි. සෑම දෙයක්ම ක්ෂණිකව නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා මෙවැනි සමාජයක වෙසක් කූඩු එල්ලීම ද ක්ෂණික ක්‍රියාවලියක් බවට පත්වෙමින් පවතී. එකල දරුවන් වටකර ගනිමින් මවත් පියාත් වෙසක් කූඩු නිර්මාණය කළ ද නිවෙස සැරසිලි කළ ද අද ඒ කිසිවක්ම දක්නට නැත.

වර්තමානයේ දී පාසල් මට්ටමින් වෙසක් කූඩු නිර්මාණය කිරීම ඉතා හොඳ ක්‍රියාවලියකි. එමගින් පන්ති කාමරයේ දී යහළු යෙහෙළියන් හා එක්ව සාමූහිකව වෙසක් කූඩු සෑදීම, පාසල සැරසීම ළමා පරපුරට ඉතා වටිනා ගුණධර්ම ඇති කිරීමට හේතු වෙයි.

නමුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ තවමත් දරුවන් නිසි පරිදි පාසල් ගොස් නොමැත. වෙනදාට වෙසක් සතිය තුළ සරසන පන්ති කාමරය, පාසල අද පාළුවට ගොසිනි. ඉඳහිට පන්ති කාමරයක් තුළ, පාසල් භූමිය තුළ වෙසක් සැරසිලි, වෙසක් කූඩු දක්නට ලැබුණ ද එදා පැවැති සාමූහිකත්වයෙන් හා එකමුතුකමින් වෙසක් සැරසිලි කළ වටපිටාවක් නොමැත.

මෙවන් කාල වකවානුවක් හමුවේ මැයි මාසය පුරාවට වෙසක් කූඩු නිර්මාණ කරමින් ජීවත් වූ මිනිසුන්ට අත්වන ඉරණම කෙබඳු වේද..? වසර විසිපහක් තිස්සේ තම පියාගෙන් උරුම වුණු හැකියාව තුළින් බොහෝ නිවෙස් මෙන්ම විවිධ ආයතන වෙසක් සිරියෙන් ආලෝකමත් කරන්නට වෙහෙස වුණු ජයනි ‘දේශය’ට මෙසේ අදහස් දැක්වීය.

“මේ හැකියාව මුලින්ම තිබුණේ මගේ සැමියාගේ තාත්තාට. මීට අවුරුදු විසිපහකට විතර උඩදී තමයි ඒ තාත්තා මෙතන වෙසක් කූඩු හදලා විකුණලා තියෙන්නෙ. ඒ කාලෙ නම් එච්චර බිස්නස් තිබිලා නැහැ. ඒ කාලෙ මිනිස්සු වැඩිපුරම තමන්ම හදාගෙන තමයි වෙසක් එකට කූඩු එල්ලලා තියෙන්නෙ. හැබැයි තාත්තා එක එක හැඩ තියෙන කූඩු හදපු නිසා තාත්තගෙන් පිරිසක් කූඩු ගන්න පුරුදු වෙලා. මහත්තයෙක් එක අවුරුද්දක වෙසක් එකට කූඩුවක් ගත්තොත් ඊළඟ අවුරුද්දෙත් ඒ මහත්තයා කූඩු දෙකක්වත් ගන්න තාත්තා ළඟට එනවලු. ඔන්න ඔහොම තමයි තාත්තා වෙසක් කූඩු විකුණලා තියෙන්නෙ. ඊට පස්සෙ තාත්තා ළඟින් වෙසක් කූඩු ගන්න කට්ටිය වැඩිවෙලා. දැන් තාත්තා නැහැ. දැන් මේ වෙසක් කූඩු හදන්නෙ අපි. තාත්තා නැතිවුණාට පස්සෙ දැන් මේ කූඩු හදන්නෙ මගේ සැමියා. ඉස්සර තාත්තා කූඩු හදද්දී ඒවා දිහා පොඩි කාලේ මගේ මහත්තයා‍ බලාගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සෙ එයා තාත්තට උදව් කරලා ඒවා හදන්න පුරුදුවෙලා තියෙනවා. තාත්තා නම් මාස හතරකට කලින් ඉඳන්ම මෙතන ඉඳගෙන තමයි කූඩු හැදුවේ. හැබැයි අපි නම් මාසයකට වගේ කාලයක ඉඳන් තමයි මෙතන කූඩු හදන්නෙ. වෙනදාට අපෙන් ගොඩක් ආයතන කූඩු මිලදී ගත්තා. සමහර ආයතන එයාලගේ ආයතන සරසන්න එක වගේම කූඩු පනහ සීය අරගෙන ගිහින් තියෙනවා. හැබැයි මේ පාර රටේ පවතින තත්ත්වයත් එක්ක ආයතනවලින් කූඩු ගෙනිච්චෙ හරිම අඩුවෙන්. ගෙවල්වලට නම් මේ පාර ගොඩක් අය කූඩු ගෙනිච්චා. බොහෝ දෙනා අපෙන් කූඩු ගන්න ආවම “ඔයාලා බෞද්ධද.?” කියලා අපෙන් අහලා තමයි කූඩු අරගෙන යන්නෙ. කොහොමටත් මේ වැඩේට අපේ ගෙවල්වලින් අපිට ලොකු සහයෝගයක් දෙනවා. අපි මුළු දවසෙම මෙතන ඉඳලා තමයි කූඩු හදන්නෙ.”

ජයනිටත් ඇගේ සැමියාටත් මේ කටයුත්ත සඳහා ඇගේ මව්පියන්ගෙන් හා සහෝදර සහෝදරියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණි. කුඩා දරුවන් ද ළඟ තබාගනිමින් කූඩු නිර්මාණය කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

“මේ පාරත් බිස්නස්වල වරදක් නැහැ. ගිය පාර නම් එකදිගට වැස්ස නිසා අපේ කූඩු ගොඩක් හේදුණා. මේ පාරත් රටේ පැවතුණු වාතාවරණයත් එක්ක ටිකක් මිනිසුන්ගේ මානසිකත්වය බිඳ වැටුණා. හැබැයි දැන් නම් වරදක් නැහැ. වෙනදාට වැඩිය මෙදා පාර ඉල්ලුමක් අපේ වෙසක් කූඩුවලට තියෙනවා. ගෙවල්වලින්, කාර්යාලවලින් අපේ වෙසක් කූඩු අරගෙන යනවා. ඒ විතරක් නෙමේ මේ පාර කතෝලික මිනිසුන් අපෙන් වෙසක් කූඩු අරගෙන ගියා. හැම අවුරුද්දෙම අපි මෙතන වෙසක් කූඩු හදලා විකුණනවා. හැබැයි මේ පාර බෞද්ධයන් වගේම කතෝලික අයත් ඇවිත් වෙසක් කූඩු අරගෙන ගියා. ඒ අය වැඩිපුරම අටපට්ටම් තමයි අරගෙන ගියේ. ඊට අමතරව බෞද්ධ අය නෙළුම් මල්, චෛත්‍ය කූඩුත් අරගෙන යනවා. අපි දෙසැම්බර් මාසෙ තමයි මේ බිස්නස් එක පටන් ගන්නෙ. මේ පාර සව් කඩදාසිවලටත් වඩා තෙල් කඩදාසිවලින් තමයි කූඩු හැදුවේ. රුපියල් දෙසීයේ ඉඳන් අපෙන් කූඩු මිලදී ගන්න පුළුවන්.” යැයි රාජගිරියේ වෙසක් කූඩු ව්‍යාපාරයක නිරත වුණු ලසන්ත ‘දේශය’ට පැවසීය.

මේ අතර තවත් තැනක වෙසක් කූඩු විකුණමින් සිටි තරුණයකු අපට මුණගැසුණි. ඔහු වටකර ගනිමින් පාසල් දරුවන් දහ දෙනෙක් පමණ උදව් වෙමින් සිටියහ.

“මේ මල්ලිලා හැම අවුරුද්දෙම මේ වැඩේට සම්බන්ධ වෙන අයයි. මේ අය මෙතනට ඇවිත් මේකට සහභාගි වෙන්නෙ මුදල්ම බලාපොරොත්තුවෙන් නෙමේ. මම මේ වැඩේට සම්බන්ධ කරගන්නෙත් පොඩි ළමයින්වයි. එතකොට ඒ අයට ඒ ගැන ඉගෙනීමකුත් ලැබෙනවා. ඊට අමතරව අතට මුදලකුත් ලැබෙනවා. මගේ යාළුවොයි මමයි එකතුවෙලා තමයි මේ වෙසක් කූඩු හදන්නෙ. අපේ ඉන්න පොඩි සමාජය කූඩුවක් හදන හැටි දන්නෙ නැහැ. ඇත්තටම මේ දරැවන්ව එකතු කරගෙන මෙහෙම කූඩු හදන එකෙන් අඩුම තරමේ අපෙන් පස්සෙවත් මේ දරුවන් කූඩු හදාවි. ඇත්තම කිව්වොත් තව ඉස්සරහට ගෙවල්වල කූඩු හදන එකක් නැහැ. හැම කඩයකම වගේ කූඩු හදලා තියේවි. මේක බිස්නස් එකකටත් වඩා ඇත්තටම මම මේක කරන්නෙ ලොකු ආසාවකින්. අපේ ගාව අලවපු නැති කූඩු රුපියල් පනහේ ඉඳන්ම තියෙනවා. කැටයම් අතින් කපන ඒවා පොඩ්ඩක් ගාණ වැඩියි. හැබැයි මේක රස්සාවක් වුණාට මම නම් මේ වැඩේ අනුමත කරන්නෙ නැහැ. මෙහෙම කඩවල්වලින් කූඩුවක් හදලා ගෙදර ගිහින් එල්ලීමෙන් කුඩා දරුවන්ට ඒවායේ වටිනාකම නැතිවෙලා යනවා. ඒ අය හදන හැටි කවදාවත් ආයේ ඉගෙන ගන්නෙ නැහැ. මේ පාර බිස්නස් ගිය පාරට වඩා හොඳට තියෙනවා. අපිට කොටි ගහද්දීත් අපි වෙසක් උත්සවය සැමරැව නම් මුස්ලිම් මිනිස්සු කණ්ඩායමක් නිසා වෙසක් උත්සවය සමරන එක නවත්වන්නෙ ඇයි..? එතකොට අපේ බෞද්ධකම නැතිවෙලා යාවි.” යැයි නුවන් ‘දේශය’ට පැවසීය.

වෙසක් කාලයට නුවන් වෙසක් කූඩු ව්‍යාපාරයේ නිරත වුවද ඔහු රැකියා කිහිපයකම නිරතවන තරුණයෙකි. ඔහු සැලෝන් එකක් පවත්වාගෙන යන අතර ටැටූ නිර්මාණ ශිල්පියෙක් ලෙස ද කටයුතු කරයි. ඊට අමතරව නිවේදන කලාවේ නිරතවන අතර නර්තන ප්‍රසංග ද සංවිධානය කරයි. මේ සියල්ල අතරේ වෙසක් සමය තුළදී ඔහු වෙසක් කූඩු නිර්මාණකරුවෙකි.

කෙසේ වුවද බොහෝ දෙනා මෙවර වෙසක් සමරන්නේ සිතේ කලබල පවතින මානසිකත්වයකිනි. වෙළෙඳපොළෙන් මිලදී ගත් විසිතුරු වෙසක් කූඩුවලට වඩා නිවෙසේ සැම එකතු වී නිර්මාණය කළ වෙසක් කූඩුවේ අසිරිය විඳින්නට ඔබටත් හැකි නම් එය ඔබගේ හිතට කොයි තරම් නම් සැනසිල්ලක් වනු ඇතිද..?

► දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ