2019 මැයි 18 වන සෙනසුරාදා

පළාතක් ගිනි තැබූ හලාවත ගිනි පුපුර

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 80

පාස්කු ප්‍රහාරයත් සමඟ ත්‍රස්තවාදීන්ගේ එකම අපේක්ෂාව වූයේ ඉන් පශ්චාත් සමයේදී රට තුළ වෙනත්ම ගැටුමක් නිර්මාණය කිරීමය. ඊට අවශ්‍ය අවකාශය රට තුළ නිර්මාණය වී තිබුණේ 2014 දී පටන්ය. අලුත්ගම සිද්ධියත් ඊට වසර හතරකට පසුව 2018 දිගන සිද්ධියත් මීට අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබුණේය. එහෙත් වාසනාවකට ඒ ප්‍රහාරයත් සමඟ මෙරට සබුද්ධික ජනතාව සිය හික්මීම ඉතාම මැනවින් පෙන්වීය.

විශේෂයෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් දිගින් දිගටම පවසා සිටියේ “අප අන්තවාදී පිරිසටද අනුකම්පාව දයාව පතුරමු” යැයි කියාය. මේ නිසාම රටතුළ ඇඳිරි නීතිය පැනවුණේ ත්‍රස්තවාදීන්ගෙන් ජනතාව ආරක්ෂා කරගන්නට මිසක් වෙනත් ජාතිවාදී ආගම්වාදී කලබලයක් නිසා නොවීය.

මේ අතර හදිසි නීතිය යටතේ සීඝ්‍රයෙන් ඉස්ලාම් දේවස්ථාන, නිවාස පරීක්ෂා කිරීම් සිදුවිය. ඒ අයි.එස්. ත්‍රස්තයන් සොයාය. එහෙත් අයි.එස්. ත්‍රස්තවාදීන්ටත් වඩා හමුවුණේ කඩු, කිණිසි, බෝම්බ, පිස්තෝල සහ උණ්ඩය. මෙය බොහෝදෙනා තිගැස්සුණු අවස්ථාවක් වූ අතර ඒ සමඟ හමුවූ අයද ත්‍රස්තවාදී ගිණුමට ඉබේම යටත් වූහ. එහෙත් ඔවුන් ත්‍රස්තවාදීන් නොවූ අන්තවාදී පිරිස් විය. ඉස්ලාම් අන්තවාදී පිරිස් මෙලෙස සූදානම් වුණේ අලුත්ගම සහ දිගන ආදී ප්‍රදේශවල ඇතිවූ වැනි සිද්ධියක් නැවත රට තුළ ඇති වුවහොත් ඊට ප්‍රතිප්‍රහාර දීමට බව ඇතැම් ආරක්ෂක අංශවල මතයයි.

ඉස්ලාම් ලබ්ධික ඇමැතිවරු මේ කඩු සඳහා නොයෙකුත් ලස්සන කතා කීවත්, වෙනත් පිරිස් මොවුන් ත්‍රස්තවාදීන් ලෙස නම් කළත් සැබවින්ම ඔවුන් අන්තවාදී ක්‍රියාවකට සූදානම් වූ පිරිස් බව සඳහන් කළ හැක.

මේ කඩු සිද්ධියත් සමඟ බෞද්ධයන් යැයි කියාගන්නා එක්තරා අන්තවාදී කල්ලියක් විසින් සමාජ මාධ්‍ය තුළ මුස්ලිම් විරෝධයක් කාටත් හොරා හීන් නූලෙන් අරගෙන යන ලදී. ඔවුන් පැවසුවේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියාය. මේ රැල්ල ඉතාමත් සීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිරුණු අතර මේ සමඟම බොහෝ දෙනෙක් මුස්ලිම් සමාජය කෙරෙහි සැකයෙන් බලන්නටවිය.

හලාවතින් ගින්න ඇවිලෙයි....
පසුගිය දොළොස් වැනිදා මුහුණු පොත තුළ සංවාදයක් ගියේය. එම සංවාදයට හලාවත මුස්ලිම් ව්‍යාපාරික තරුණයෙක්ද සහභාගි වී සිටියේය. ඔහු එහිදී ඉංග්‍රීසි බසින් “වැඩිය හිනාවෙන්න එපා කවදා හරි අඬන්න වේවි” යැයි හැමදෙනාම කියන කතාව කොමන්ටුවක් ලෙස පළ කළේය. මෙය දුටු හලාවත නගරයේ තරුණ පිරිස් කැළඹුණු අතර එම තරුණයා සොයා හලාවත නගරයේ පිහිටි ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණියහ. එහිදී සියලුදෙනා එම තරුණයාට විරුද්ධ වී කෑකෝ ගසමින් පහර දෙන්නට සූදානම් වූහ.

එසේ වූයේ මුස්ලිම් තරුණයා සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කළ නිසාය. එසේ පැමිණිල්ල ඉදිරිපත් කළත් ඒ ගැන තැකීමක් නොමැති නිසා අවසානයේ තරුණයෝ හලාවත නගරයට බැස සිය විරෝධය එල්ල කළහ. මේ නිසා සියලුම ව්‍යාපාරික ස්ථාන වසා දමනු ලැබීය. මේ අතර තවත් පිරිසක් හලාවත වට්ටක්කුලිය ප්‍රදේශයේ තවුහීත් ජමාද් සංවිධානයට අයිති දේවස්ථානයකට පහර දුන්හ. එම ප්‍රහාරයෙන් පසුව එදින පස්වරු 1 සිට ඊට පසුදා (13) අලුයම 4 වන තෙක් හලාවතට ඇඳිරි නීතිය පනවනු ලැබීය.

කුලියාපිටියෙන් රැල්ල ඇරඹෙයි...
මේ අතර කුලියාපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන පහකට 12 වැනිදා පස්වරුවේ කිසියම් පිරිසක් විසින් පහර දී තිබිණි. මේ නිසා ඊට සම්බන්ධ සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් කුලියාපිටිය පොලීසියේ රඳවා තිබිණි. මේ නිසා කුපිත වූ පිරිස් වහාම ඒ තරුණයන් සිව්දෙනා නිදහස් කරන්න යැයි පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණ කළහ. අවසානයේ රාත්‍රියේ යුද හමුදාව පවා යොදවන්නට සිදුවිය. අවසානයේ ඔවුන් මුදාහැර තිබුණේය.

තරුණයන් හය දෙනෙකු නිසා වයඹම ඇවිලෙයි....
මේ අතර පසුගිය 12 වැනිදා කිනියම ප්‍රදේශයේ වැවක තිබී පොලීසිය උණ්ඩ 256ක් සොයාගත් බව ආරංචිය ප්‍රදේශය පුරා පැතිර ගියේය. මෙම ප්‍රදේශයේ වැඩි සංඛ්‍යාවක් සහරාන්ගේ බිරිඳට අයත් නෑදැයනුත් ජීවත්වන ප්‍රදේශයක් නිසා ප්‍රදේශයේ ජනතාව ඒ අවට නිවාසවලටත් දේවස්ථානවලටත් පහර දෙන්නට පටන් ගත්හ. මේ නිසා තත්ත්වය තරමක් නොසන්සුන් වූ අතර මීට සහභාගි වූ තරුණයන් හයදෙනෙක් බිංගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. එසේ අත් අඩංගුවට හයදෙනා බිංගිරිය පොලීසිය විසින් එදින සවසම හෙට්ටිපොළ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් සිටියහ. එය දැනගත් සැණින් ඊට පසුදා අලුයම 5 සිට බිංගිරිය ප්‍රදේශයේ ජනතාව හෙට්ටිපොළ පොලීසිය ඉදිරියේ එක්රැස් වූහ.

 
දයාසිරි පැමිණෙයි....
හෙට්ටිපොළ  පොලීසියේ රඳවා සිටි තරුණයන් හ‍යදෙනා මුදගැනීමට ජනතාව දහස් ගණනින් රොක් වනවිට මෙම ස්ථානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැමිණියේය. ඔහු පැමිණියේ මෙම ගැටුම නිරාකරණය කිරීම සඳහාය. අවසානයේ එහි සිටි පිරිස ඉල්ලා සිටියේ සැකකරුවන් මුදාහරින ලෙසය. ඒ අතර දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාරද සිටියේය. මෙහිදී දයාසිරි සහ නාමල් අතර වාග් ප්‍රහාරයක් ඇති වූ අතර නාමල්ට බැණ වැදී එලවා දමනු ලැබීය.

අවසානයේ දයාසිරි හෙට්ටිපොළ පොලීසියට ගොස් තරුණයන් හයදෙනා තමන්ගේ ජීප් රථයේ නංවාගෙන බිංගිරිය පොලීසිය වෙත රුගෙන ගියේය. එසේ රැගෙන යනවාත් සමඟ යතුරු පැදිවලින් සංවිධානය වූ පිරිසක් කුලියාපිටිය, හෙට්ටිපොළ, බිංගිරිය ආදී ප්‍රදේශවලට ඉතාම සංවිධානාත්මක ලෙසට පහර දෙන්න පටන් ගත්හ. මේ ගැටුම්වලදී කඩසාප්පු, නිවාස පන්සිය ගණනකට පහර දී තිබූ අතර ඇතැම් ඒවා අමු අමුවේ ගිනි තබා තිබිණි. කුඩාවට මාර්ගය අසල පවත්වාගෙන ගිය කෙසෙල් කඩ, වඩේ කඩ පවා මේ පිරිස් විසින් කඩා දැමිණි. මුස්ලිම් පල්ලිවලටද පහරදුන් අතර එය සෙවිල්ලක් නැති කරුණාවක් නැති අමානුෂික ප්‍රහාර මාලාවක් විය. අවසානයේ තත්ත්වය පාලනය කර ගැනීමට වයඹ පළාතට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන්නට සිදුවිය.

මිනුවන්ගොඩට නාඳුනන යතුරුපැදි කල්ලියක් හා පිරිසක් කඩාවදී....
මේ අතර එදිනම හවස මිනුවන්ගොඩ ප්‍රදේශයට යතුරුපැදි වලින් පැමිණි පිරිසක් කඩා වැදුණේය. ඔවුහු කිසිදු තැකීමකින් තොරව මුස්ලිම් කඩසාප්පු සොය සොයා පහර දුන්හ. ගිනි තැබූහ. මේ අතර ඒ ගිනි සිංහල ව්‍යාපාරිකයන්ගේ කඩ සාප්පුවලට පවා ඇවිලුණේය. මිනුවන්ගොඩ පිහිටි සිංහල හිමිකරුවකු සතු විශාලතම නිමි ඇඳුම්හලද ගිනි ගෙන තිබිණි. එසේම ලංකාවේ නිෂ්පාදිත පළමු දේශීය පැස්ටා කර්මාන්ත ශාලාවද එම පිරිස විනාශ කළේය. කඩ එක පේළියට ගිනිගත්තේ මේ මුග්ධ කණ්ඩායමේ කටයුතු නිසාය. අවසානයේ වසර 30 ගණනක සිට ව්‍යාපාර කළ පිරිස් එක රැයින් මේ පිරිස පාරට ඇද දැමුවේය. මෙහි හොඳම කරුණ නම් මිනුවන්ගොඩ වෙසක් තොරණ සඳහා වැඩිම ආධාර දෙන මුස්ලිම් ව්‍යාපාරිකයාගේ කඩයටද මොවුන් ගිනි තැබා තිබීමය.

කෙසේ වෙතත් මේ ප්‍රහාරය පිළිබඳව මිනුවන්ගොඩ ව්‍යපාරිකයන් පසුව පවසා තිබුණේ මෙය පිටස්තර පුද්ගලයන් කිහිප දෙනෙකුගේ වැඩක් යැයි කියාය. මේ සම්බන්ධව එදිනම පුද්ගලයන් නව දෙනකු පොලීසිය මගින් කොටු කරගත්තේය. මෙම සිද්ධියත් සමඟ රටටම බලපාන පරිදි ඇඳිරි නීතිය දමන්‍නට එදින රාත්‍රියේ කටයුතු කෙරිණි. මේ සිද්ධියෙන් මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ද මිය ගියේය.

අමිත්ත, නාමල්, ඩෑන් අත්අඩංගුවට
එම සිද්ධියෙන් පසුදාම උදෑසන මහනුවරට පැමිණි පොලීසිය කුලියාපිටිය සහ මිනුවන්ගොඩ සිද්ධියට මහසෝන් බළකායේ කැඳවුම්කරු අමිත්තව අත්අඩංගුවට ගත්තේය. එදිනම දහවල් දූෂණ විරෝධී හඬ සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරද වරකාපොළ පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබීය. නව සිංහල ජාතික සංවිධානයේ ප්‍රධානී ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අත්අංඩගුවට පත් විය. පසුව ඩෑන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව ඇප ලැබුණු අතර අමිත් බන්ධනාගාර ගත විය. එසේම නාමල් කුමාර රහස් පොලීසියට බාර කෙරිණි. මේ වනවිට නාමල් සිටින්නේ රහස් පොලිසි භාරයේ ප්‍රශ්න කිරීම් හමුවේය. අවසානයේ මේ සිද්ධි දාමයට සම්බන්ධ බවට සැක 51 දෙනෙක් ඇප නොලබාම රිමාන්ඩ් ගත කරනු ලැබූහ.

මහ බැංකුවෙන් රහසිගත ලේඛනයක්
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රහස් පොලීසිය එක්ව ත්‍රස්තවාදීන්ගේ දේපළ රාජසන්තක කරන්නට පටන්ගනු ලැබීය. මේ අතර මෙහි පරීක්ෂණ කිරීම සඳහා ජාත්‍යන්තර පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ රැසක් මෙරටට පැමිණ සිටියහ. ඔවුන්ගේ මුලික අරමුණ වුණේ මේ ත්‍රස්තවාදීන්ට අමතර ජාත්‍යන්තරව විහිදී සිටින ත්‍රස්තවාදීන්ට අයත් දේපළ මෙරට ඇතිදැයි සොයා බැලීම සඳහාය. ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය සහ රහස් පොලීසිය එක්ව 5000කට අධික නම් ලැයිස්තුවක් මහබැංකුවට ඉදිරිපත් කළේය. අවසානයේ මහ බැංකුව එම ලේඛනය සියලු මුල්‍ය ආයතන වෙත එවමින් දන්වා සිටින්නේ නම් සඳහන් සැකකරුවන් අයත් යම් දේපළක් ඇත්නම් ඒ ගැන දන්වන ලෙසටය. ඒ අනුව සියලු මූල්‍ය ආයතන මේ වනවිට එම නාමලේඛනය පරීක්ෂා කරනු ලබයි. එම ලේඛනයේ අල්කයිඩා, තලේබාන්, එල්.ටී.ටී.ඊ., අයි.එස්. සහ කොරියාවේ ත්‍රස්ත කල්ලියකගේ නම් සඳහන්ය. ඔවුන් සම්බන්ධයෙන් සෙවීම ප්‍රධාන අරමුණ වී ඇත.

සැඟවුණු ප්‍රහාරකයා “ආදීල්”
21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව ආදිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නේ 25දාය. ඒ ප්‍රහාරය සඳහා සියලුම තාක්ෂණික කටයුතු මෙහෙය වූ සැකකරු ලෙසය. මොහු සහරාන් සහ ඉන්දීය අයි.එස්. කල්ලි සමඟ සබඳතා පවත්වා ඇත. ඒ බව රෝ සංවිධානය 2013 වසරේදී අනාවරණය කරගෙන ඇති අතර පසුව 2016 සිට ඔහු පසුපස පන්නා ඇත. මේ නිසාම ආදීල් ගැන ඉන්දිය ආරක්ෂක අංශ මගින් අධිකරණයට පවා තොරතුරු දන්වා තිබිණි.

දෙමටගොඩ පිහිටි වර්චුසා ආයතනයේ සේවය කළ ආදිල් ඉතාමත් දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවකු බව සඳහන්ය. ඔහු මෙරට සහරාන්ලාගේ කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇති අතර ජනවාරියේ වනාතවිල්ලුව ප්‍රදේශයේ හමුවූ ඉඩම පවා බද්දට ගෙන ඇත්තේ ඔහු විසිනි. මොහු අන්තර්ජාලය ඔස්සේ අයි.එස්. සමඟ සබඳතා පවත්වා ඇති අතර දෙහිවල බෝම්බය පුපුරවාගත් සැකකරු මොහුට විශාල වශයෙන් උදව් උපකාර කර ඇත. ඒ මොහුද එංගලන්තයේ ඉගෙනගත් අයකු නිසාය. දැනට හෙළිවී ඇති තොරතුරු අනුව බෝම්බ ප්‍රහාරයකට සතියකට කලින් මේ පිරිස හමුවී ඇත.

සිරියාවේ තවත් පුහුණුවීම්
මේ අතර දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ මවක් සහ පියෙක් ත්‍රස්ත විමර්ශනයට පැමිණ පැමිණිල්ලක් දැමූහ. සිරියාවට ගොස් පුහුණු වීම් ලැබූ ත්‍රස්තයන්ගේ පළමු කණ්ඩායමේ සාමාජික මුහුසිත් ඉෂාක් අහමඩ් ඔහුගේ සහෝදරයා වන සර්පාස් නිලාම් යන දෙදෙනා සහ තවත් ශ්‍රී ලාංකිකයකු වන අරූෂ්  මොහොමඩ් සුහයිර් යන අය විසින් මුදල් තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට ඒ පැමිණිල්ලේ සටහන් විය. කෙසේ වෙතත් එම මුදල් ඩොලර් 23500ක් වූ අතර අවස්ථා දෙකකදී මුහුණ වසාගත් දෙදෙනකු පැමිණ එම මුදල් ලබා දී ගිය බවත් එම මාපියෝ සඳහන් කළහ. කෙසේ වෙතත් මේ වනවිට තම ලාංකික කණ්ඩායම මෙහෙයවීම සඳහා සිරියාවේ අයි.එස් කණ්ඩායම තුළ ලංකාවේ නායකයකු සිටින බවට අනාවරණය වී ඇත. ඔහු විසින් මෙහෙයවා ඇති තවත් කණ්ඩායම් ඒ සඳහා එක් කරමින් සිටිනා බව සඳහන් වේ.

එසේම මේ අතර හෙළි වී ඇත්තේ සහ්රාන් සහ ඊබ්‍රාහීම් ඇතුළු පිරිස කාශ්මීර ප්‍රදේශයට පවා ගොස් පුහුණු වීම් සිදුකර ඇති බවය. මේ වනවිට අයි.එස් සංවිධානය සමඟ සබඳතා පවත්වන පුද්ගලයන් රාශියක් දැනටමත් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත. ඉන් විශාල ප්‍රමාණයක් අසීමිත ලෙස ධනය රැස් කළ කෝටිපතියන් බව සඳහන් වේ.

මේ වනවිට මේ සිද්ධිය සම්බන්ධව කරුණු රැසක් අනාවරණය වී ඇති අතර ඊට සම්බන්ධ බොහොමයක් පිරිස් උසස් රැකියාවල නිරත වන අය බව අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය යම් ආකාරයකින් සමතයකට පත් වෙමින් තිබුණත් තව තවත් අවධානයෙන් සිටිය යුතු බවට මේ සිදුවීම් අනතුරු අඟවා ඇත.

එහෙත් මේ එක් එක් පිරිස් විසින් සිදුකරන අන්තවාදී ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදය යටගොස් ජාතිවාදය කර පින්නාගත් අන්තවාදය පසුපස හඹායාමට ආරක්ෂක අංශවලට සිදු වී ඇත. මේ නිසා ඇතිව තිබෙන අවදානම පෙරට වඩා දෙගුණයක් වී ඇත. ඒ එක් පැත්තකින් අන්තවාදය නිසාය. අනෙක් පැත්තෙන් ත්‍රස්තවාදය නිසාය.

► ගයාන් ගාල්ලගේ
සේයාරූ - ලහිරු හර්ෂන / අන්තර්ජාලය