2019 මැයි 18 වන සෙනසුරාදා

සහරාන්ගේ ත්‍රස්ත වාදයෙන් අපිව කොන්කරන්න එපා

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 180

මගේ ජාතිය මනුෂ්‍යත්වයයි. මගේ ආගම ආදරයයි. ඔබටත් ඔව් ඔබටත් වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී සියලු නිර්ණායකවලින් වියුක්තව අනාගත දේශයක් උදෙසා ඒ සාර සංකල්ප දෙරණ අරා අස්වැද්දිය හැකිනම්... සියැටල් කී පරිදි අප මහ පොළොවේ අයිතිකරුවන් මිස මහ පොළොව අපේ අයිතියක් නොවේ. විශ්වයේ මහා සංහාර දහස් ගණනක ඉතිහාස ගැඹුර විනිවිද සංශ්ලේෂණාත්මක හා විශ්ලේෂණාත්මක ගැඹුර පිරික්සද්දී ඒ සියලු සංහාර ගැඹරේ නිධන්ව ඇත්තේ ජාතිවාදී හා ආගම්වාදී සංඝටකය. 

ගෝලීය සංකල්ප හා විශ්ව ගම්මාන පිළිබඳව කතා කරන අද්‍යතන විශ්වයට එක් මනුෂ්‍ය කුලකයක් ගැන කතා කළ නොහැක්කේ ඇයි? සම්මිශ්‍රණය වූ සංස්කෘතික ආගමික හරයන්හි සාර අර්ථ රස නොවිඳිය හැක්කේ ඇයි? ඒ අරුත් පසිඳින අනාගත සිහිනයක නිමග්නව අපි කතා කරමු.

රමේෂ් උවයිස්... 
ප්‍රවීණ මාධ්‍යවේදී

රමේෂ් උවයිස්... ඔහු අපට අපේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වගේම ආදරණීය අවංක මිත්‍රයෙක්. කොයිතරම් වෙහෙසකර මොහොතක අහම්බෙන් හදිස්සියේ මුණගැසුණත් සිනාසී මොහොතක් හෝ කතා නොකර ඔහු කවදාවත් මිතුරන් මඟ නොහරින මිතුරෙක්. ඇගයීමක් ලබාදිය හැකි හැම මොහොතකම ඇගයීමක් ලබාදෙන මාධ්‍ය කුහකත්වයෙන් හා මවාගත් ළෙන්ගතුකම්වලින් විරහිත හදවතක් හිමි සැබෑ මාධ්‍යවේදියෙක්... කළණ මිත්‍රයෙක්...

මාධ්‍යවේදියකු ලෙස බොහෝ දෙනෙක් හඳුනාගත් රමේෂ් සුගායනීය ලෙස සිංහල ගීත ගයන ගායකයෙක්. ඒ වගේම නළුවෙක්. රමේෂ් උවයිස්ගේ වෘත්තීය ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක් තියෙනවා. ඒ තමයි වසරක් පාසා එක් මාධ්‍යවේදියකුට හා කලාවේදීන් උදෙසා පිරිනැමෙන රත්නදීප සම්මානය 2005 වසරේ දී රමේෂ්ට හිමිවීම. මෙතුවක් එකී සම්මානයෙන් පිදුම් ලද එකම මුස්ලිම් මාධ්‍යවේදියා වීමේ ගෞරවයට හිමිකම් කියන්නේ ඔහු. 2012 වර්ෂයේ දී සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් මාධ්‍යවේදියකු වශයෙන් කළ අනුපමේය මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ඔහු ඕ.සී.අයි.සී. සිගින්ස් සිනමා මාධ්‍යවේදියාට හිමි සම්මානයට පාත්‍ර වුණා... මගේ ජාතිය මනුෂ්‍යත්වය... ආගම ආදරය.. එහෙම කියන රමේෂ් අපි එක්ක කතා කළේ මේ විදිහට. 

ඔව්. මගේ නමෙත් මොහොමඩ් කෑල්ලක් තියෙනවා. මොහොමඩ් රමේෂ් උවයිස්. මම ඉගෙන ගත්තෙ කොළඹ ප්‍රධාන පෙළේ මුස්ලිම් විදුහලක් වන මරදාන සහිරා විද්‍යාලයේ. මම හැදුණෙ වැඩුණෙ කොළඹ. අපේ ගෙදර තිබුණෙ බොරැල්ලෙ. අපේ පාරේ වැඩියෙන්ම තිබුණෙ සිංහල බෞද්ධ ගෙවල්. ඒ අතරේ දෙමළ ගෙවල්, සිංහල ක්‍රිස්තියානි ගෙවල් තිබුණා. ඒ අයත් එක්ක අපි ඇසුරු කළේ බොහොම සුහදව. පොඩි කාලෙ ඉඳලම අපි වෙනස් ජාතියක් කියන හැඟීම අපට තිබුණෙම නැහැ. අපේ ගෙදරට හැමදාම වගේ උදේට හාමුදුරු නමක් පිණ්ඩපාත වඩිනවා. පවුලෙ වැඩිමලා වෙච්ච මට තමයි පාත්තරේට දානය පූජා කරන වගකීම අම්මා පවරලා තිබුණේ. මම හරි ආසාවෙන් තමයි ඒ දානය ටික අරගෙන යන්නේ පාත්තරේට දාලා පූජා කරන්න. ඒක මට හරිම සතුටක්. මට තාම මතකයි මම දානය පූජා කරන්න එළියට එනකොට ඒ බෞද්ධ භික්ෂූන් වහන්සේ නම (ගුඩ් මෝනිං) කියලා හෙමින් කියනවා. පූජා කළාට පස්සෙ (තෑන්ක් යූ) කියනවා. ඒ මම බෞද්ධයෙක් නොවන බව උන්වහන්සේත් දන්න නිසා වෙන්න ඇති. ඒත් ඒ වචන වෙනස් වුණත් ඒ වචනවලින් කියන්න හදන හැඟීම එකක්.

මගේ පියා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සංගීතඥයෙක් හැටියටයි රුකියාව කළේ. අපි පොඩි කාලෙ ඉඳලම අපට ඇහුණෙ සිංහල සින්දු, කියෙව්වෙ ඉංග්‍රීසි වගේම සිංහල කලා පත්තර. අපව එක්කරගෙන ගියේ සිංහල චිත්‍රපට බලන්න. 

වෙසක් පොහෝ කාලවලදී යාළුවොත් එක්ක දන්සල් දුන්නා, වෙසක් කූඩු හැදුවා, නත්තල් කාලයට නත්තල් ගස් හැදුවා. ඒවා කළේ හරි නිදහසෙන්. පෝය දවසට ටීවී එකේ යන බණ මම අහනවා. ඒ විදිහට බණ අහන බෞද්ධ නොවන ගොඩක් අය මම දන්නවා. බණ දේශනාවලින් වැරදි දේවල් කියන්නෙ නැහැ. ඒ බණ දහම් ජීවිතයට හුඟාක් වටිනවා කියලා අපි දන්නවා. බෞද්ධ යාළුවෝ බෝධිපූජා කරද්දී මම ඒවට සහභාගි වෙනවා. බෞද්ධ සිද්ධස්ථානවලට මම යනවා. ඒ විදිහටම මම මගේ ආගමටත් ගරු කරනවා.

මම ඉගෙන ගත්තෙ මුස්ලිම් පාසලක වුණත් අපේ පන්තියේ ළමයි සින්දු පොත් ගෙනල්ලා, හොරෙන් සින්දු ලියාගන්නවා. අදටත් සිංහල සින්දු අපට මතක හිටින්නෙ ඒ නිසයි. සිංහල චිත්‍රපට වගේම සිංහල සින්දු නිර්මාණය කරන්නත් සිංහල, දෙමළ, කතෝලික, මුස්ලිම් අය කොයි තරම් දායකවෙලා තියෙනවද?

බොහෝ මුස්ලිම් භක්තිකයන්ට නොලැබෙන විරල අවස්ථාවක් මට ලැබුණා, ලංකාවෙ ඉන්න කලා ශිල්පීන් ශිල්පිනියන් බහුතරයකගේ ඇසුරට පත්වෙන්න, ඔවුන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍රවෙන්න. ඒ විශ්වාසයේ, ළෙන්ගතුකමේ කිසිදු වෙනසක් අදටත් නැහැ. මම හුඟක් බැඳීමකින් ළෙන්ගතුකමකින් සිංහල සමාජය එක්ක ගනුදෙනු කරන කෙනෙක්. කලාවේදීන් එක්ක ගනුදෙනු කරන කෙනෙක්.

ඒත් අද අපේ සාමාන්‍ය මුස්ලිම් ජනයාට සුවිශාල වගකීමක් පැටවිලා තියෙනවා. ඒ වගේම ඒ අය අද ලජ්ජාවට පත්වෙලා. පසුගියදා සිදුවූ ඒ තිරිසන් ත්‍රස්ත බෝම්බ ප්‍රහාර නිසා අපි දිහා බොහෝ අය බලන්නෙ වපර ඇහෙන්. ත්‍රස්තවාදයට, අන්තවාදීන්ට එරෙහිව අපි ලොකු හඬක් නැගිය යුතුයි. ඊට හේතුව ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ අධම ක්‍රියාවන් සිදුකර තිබෙන්නේ අපේ ඉස්ලාම් දහමට මුවාවෙමින් නිසා. ඒ සඳහා අපට දේශපාලනයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. අවශ්‍ය වෙන්නෙ අධිෂ්ඨානයයි අවංක චේතනාවයි විතරයි. අවංකවම බැලුවොත් අපේ මව් පාර්ශ්වයේ මුල් පුරුක් හොයාගෙන ගියොත් එතන මේ ලංකාවෙ සිංහල අම්මා කෙනෙක් ඉන්නවා.

අපි අද ඉන්නෙ කොහොද කියන එක අපි තේරැම්ගත යුතුයි. අපේ මානසිකත්වය ඒ කෙරෙහි යොමුකළ යුතුයි. අපේ ආගමේ ඉගැන්වෙන මූලික දෙයක් තමයි තමන් ජීවත්වන රටේ නීතියට අනුකූලව ජීවත් වෙන්න කියන එක. ආගමේ නීති රීති එන්නෙ දෙවැනියට. සමහර අය බොහෝ දේවල් තෝරාගන්නෙ තමන්ගෙ වාසියට.

අපේ මිනිස්සුන්ගෙ හොඳ දේවල්, හොඳ ගුණාංග තියෙනවා, ඒත් වෙනත් සමාජ තල සමඟ ගනුදෙනු කිරීමේදී ඇතිවී තිබෙන යම් යම් පසුගාමී ස්වභාවයන්, සබකෝල ගතිය හෝ මොනයම් හෝ අවාසනාවන්ත හේතුවක් නිසා ඒ හොඳ දේවල් ටික වැහිලා ගිහින් අවසානයේ දී ඉස්මතු වුණේ වටලප්පන් හා බුරියානි ටික විතරයි. අපේ අභ්‍යන්තරය බොහෝ අයට පෙනුණෙ නැහැ. තේරුණේ නැහැ. අදටත් ඒකෙ වෙනසක් නැහැ.

මේ රටේ වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියෙනවා පුංචි පැටවුන්ගෙ හිත් හා හිස් හදන්න. මේ වගකීම හැමෝටම පැටවෙනවා.

දරුවන් කලාවට යොමු කරන්න. මධ්‍යස්ථව හිතන්න පුරුදු වෙන්න, සංවේදී වෙන්න. එය ලොකු පිටුවහලක් වේවි. මුස්ලිම් ජනතාවත් මේ කාරණය කෙරෙහි බරපතළ ලෙස අවධානය යොමුකළ යුතුයි.

ඒ කාලෙ සංගීතය, චිත්‍ර කලාව වැනි ක්ෂේත්‍රවල දක්ෂතාවලින් පිරිපුන් අය අතර මුස්ලිම්වරැ මූලිකව හිටියා. ඒත් අද ඒ තත්ත්වය වෙනස්. අනෙකාට දුකක්, කරදරයක්, පීඩාවක් දීලා අපට යම්කිසි හොඳක් ලැබෙනවා කියලා විශ්වාස කරනවනම් ඒක මුලාවක්. මනුෂ්‍යත්වයට කරන නිග්‍රහයක්. 

දැන් බලන්න අපේ අසල්වැසි ඉන්දියාවේ ෂාරුක් ඛාන්ගෙ ආගම හෝ ජාතිය ගැන කවුරුත්ම හොයනවද? අමිතාබ් භච්චන්ලා, රජිනිකාන්ත්ලා ගැන හොයනවද? නැහැ. ඒ අය සේරම (ඉන්දියානුවො). ඉන්දියාව වගේ විශාල රටකට එහෙම වෙන්න පුළුවන් වුණානම් අපි වගේ පොඩි රටක අපට (ශ්‍රී ලාංකිකයෝ) වෙන්න බැරිවුණේ ඇයි? 

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ උපත, බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන් පෑම ස්මරණය කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය දා අපේ බෞද්ධ සහෝදර ජනතාවත් එක්ක එකතුවෙලා, අපි හැමෝම - කිතුණු, හින්දු හා ඉස්ලාම් භක්තිකයන් එකට අත්වැල් බැඳගෙන අපේ හැම නිවසකම පහනක් දල්වමු, ඒ උතුම් දිනය තවත් අර්ථවත් කරන්නට.

නිලාර් එන්. කාසීම්
ප්‍රවීණ ගීත රචක-මාධ්‍යවේදී

මම මාතර මුස්ලිම් පවුලක ඉපදුණු කෙනෙක්. ඒත් අපේ ගෙදර අපි පුංචි කාලේ ඉඳන්ම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම කතා කළා. අපේ පවුලේ පිරිමි සහෝදරයන් තුන්දෙනාම ඉගෙනගත්තේ සිංහල මාධ්‍යයෙන්. දෙමළ මාධ්‍යයෙන් ඉගෙනගත්තේ නංගිලා දෙන්නා විතරයි. සිකුරාදට පල්ලියට ගියත් මුස්ලිම් සංස්කෘතියට අයත් උත්සව චාරිත්‍ර විධි අනුගමනය කළත්, සිංහල සංස්කෘතික ආගමික ආභාෂය පුංචි කාලෙ ඉඳන්ම මගේ ජීවිතේ හැම අහුමුල්ලකම තිබුණා. මම මුලින්ම ඉගෙනගත්තේ මාතර ආදර්ශ කණිෂ්ඨයේ. පසුව මාතර රාහුල විද්‍යාලයට ගියා. මගේ තාත්තා රජයේ සේවකයෙක්. මගේ අම්මා සාරිය ඇඳලා සාරි පොටින්ම ඔළුව වහගත්ත ස්වදේශික සම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවක්. මගේ නංගිලා හිස පැලැන්දුවේ ෆර්දාව. කළු ඇඳුම් හා බුර්කාව ගැන කිසිවක් කුරාණයේ නෑ. එය 70 දශකයෙන් පසු ආ ප්‍රවණතාවක්.

මගේ යාළුවෝ බහුතරය සිංහල අය. මම විෂයක් හැටියට බුද්ධාගම ඉගෙනගත්තා. පන්තියේ හුඟක් වාර විභාගවලදී බුද්ධාගමට වැඩිම ලකුණු ගත්තේ මම. ඉස්ලාම් කියන නමේ තේරැම සාමය කියන එකයි. මම ධම්මපදය හොඳින් හදාරලා තියෙනවා. කුරාණය වගේම බුදු දහමත් මගේ ජීවිතයට කළේ යහපත් බලපෑමක්.

කුරාණයේ ප්‍රධාන ධාරාවන් තුනක් තියෙනවා. ඉතිහාසය ගැන වාර්තාකරණයක් අපේ ජීවන ක්‍රමය සකස් කරගැනීමට පූර්වාදර්ශ සහ අනාගත වාක්‍ය වශයෙන්. එදා ගෝත්‍රික ජන සමාජය තුළ තිබූ දේවල් ඒ කාලයට සාපේක්ෂව වාර්තා කර තිබුණත්, ඒවා වර්තමාන සමාජයට ගැලපෙන්නේ නෑ. කුරාණය පරිවර්තනයේදී සිදු වූ අඩුලුහුඬුකම් සහ නිවැරදි තේරුම් නොගැනීම් නිසා මේ දේවල් වර්තමානය තුළත් ක්‍රියාත්මක විය යුතුයි කියලා ජනගත වීම තුළින් මට හිතෙන්නේ ඉස්ලාම් ධර්මය ගැන වැරදි ප්‍රතිරූප ඇති වෙලා තියෙනවා.

මම උසස්පෙළට සිංහල ඉගෙනගත්තේ මාතර රන්සෑගොඩ රතනපාල හාමුදුරුවන්ගෙන්. ඒ හාමුදුරුවෝ මට සිංහල පොතපත හුඟක් කියවන්න ගෙනත් දුන්නා. මම විරාගය කියෙව්වේ හයේ පන්තියේ ඉද්දි. සාමාන්‍ය පෙළ කරද්දි මම ධම්මපදය කටපාඩම් කළා. අසූ නවය භිෂණ කාලයේ රතනපාල හාමුදුරුවෝ මාව මාතර පන්සලක හාමුදුරු කෙනකුට භාරදුන්නා. එහෙදී මම සංස්කෘත ඉගෙනගත්තා.

සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, අමා වතුර බුත්සරණ වගේ පැරණි ගද්‍ය හා පද්‍ය සාහිත්‍ය ඉගෙනගත්තා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධියක් කරපු මම කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල ශාස්ත්‍රපති උපාධිය කළා. මම දන්න විදිහට සිංහල ශාස්ත්‍රපති උපාධියක් කළ එකම මුස්ලිම් ජාතිකයා මමයි. 

වෙසක් කාලෙට යාළුවෝ දන්සල් දෙද්දි අපිත් ඒවට එකතු වුණා. අවුරුදු උත්සව කරද්දී අපිත් එයාලත් එක්ක එකතු වුණා. අපේ උත්සවවලටත් එයාලා එනවා. සිංහල කෑම, බීම පුංචි කාලෙ ඉඳන්ම අපි කෑවා බිව්වා. මට පන්සලයි පල්ලියයි කියලා වෙනසක් නෑ. පන්සලේ දානමාන පිංකම් හැමදේකදිම මම මගේ සිංහල මිත්‍රයන් එක්ක හිටියා. මාතර රාහුලේ බිත්ති පුවත්පතේ සංස්කාරකවරයා වුණේ මමයි. රුහුණු සේවයට ඒ කාලේ මම සිංහලෙන් කවි ලියනවා. කලාවත් එක්ක මම යා වුණේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්මයි. මම මුලින්ම රැකියාව කළේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට මම ආවේ ඊටපස්සේ.

මම ලියූ ගීතයක් ඉස්සෙල්ලම ගායනා කළේ මාලනී බුලත්සිංහල. ඒ ගීතය මාලනී බුලත්සිංහලට ගයන්න තෝරලා දුන්නෙ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ. මගේ ජීවිතයේ හැම විශේෂ සන්දිස්ථානයකදීම හාමුදුරු නමක් ළඟ හිටියා. මගේ බිරියත් සිංහල ගැහැනියක්. ඇය හේමන්ති. ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගෙන් සංගීතය ඉගෙනගත්ත කෙනෙක්. මගේ ජීවිතයේ කිසිම තැනක ජාතිය, ආගම පිළිබඳ බෙදීමක් තිබුණේ නෑ කියන්න මගේ විවාහයත් එක සාක්ෂියක්.

ඉස්ලාම් ධර්මයේ කියන්නේ එක පුද්ගලයකු ඝාතනය කිරීම මුළුමහත් ජාතියක් ඝාතනය කිරීම හා සමානයි කියලා. සියදිවි නසාගැනීම ඉස්ලාම් ධර්මයට අනුව බරපතළ පාපයක්. ජාත්‍යන්තර දේශපාලනයේ සහ ලෝක පොලිස්කාරයාගේ වුවමනාවන් අනුව මේ අන්තවාදී ත්‍රස්තවාදයන් මෙහෙයවෙනවා කියලා මට හිතෙනවා. නමුත් අපේ ආගමික පූජකවරැන් සහ මධ්‍යස්ථ සියලුම මුස්ලිම්වරුන් මේ අන්තවාදයට එකහෙලා විරුද්ධයි. 99.9%මුස්ලිම්වරු සහරාන්ගේ ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි සිද්ධිවලදී සිද්ධ වෙන්නේ බොර දියේ මාලු බාන්න යන අය ප්‍රයෝජන ගැනීම සහ ආවේගයෙන් හැසිරෙන පිරිස් නිසා ත්‍රස්තවාදය තවත් ශක්තිමත් වීමයි. ඒ නිසා පුරවැසියන් විදිහට බුද්ධියෙන් මේ ත්‍රස්තවාදය පරාජය කළ යුත්තේ කෙසේද යන්නයි අප තීරණය කළ යුත්තේ. මෙතැනදී ආණ්ඩුවට කිසි ලෙසකින් තමන් සතු වගකීමෙන් ගැලවෙන්න බෑ.

මම දැක්කා සමහර අය පෝස්ට් දාලා තිබුණා මේ විදිහට තමන්ගේ ජාතිය ආගම වෙනුවෙන් සියදිවි නසාගත්තවුන් ස්වර්ගයට ගිහින් කන්‍යාවන් 72කුගේ පහස ලබන්න වාසනාව ලැබෙනවා කියලා. එහෙම කිසි දෙයක් කුරාණයේ සඳහන් වෙලා නෑ. මේ අන්තවාදී ත්‍රස්තවාදීන්ට මුදල් තියෙනවා. එලොව ගිහින් කන්‍යාවන් 72කුගේ පහස ලබනවට වඩා මෙලොව ඉඳන් ගණිකාවන් 700කගේ පහස ලබන්න පුළුවන්නෙ එහෙනම් ඔය කියන විදිහට ඒ අයට. මොල සේදුවම බුද්ධිය තර්කනය විචාරය හා සත්‍ය නොපෙනී යනවා. අයි.එස්. ත්‍රස්තවාදය සහ ඔවුන්ගේ සංකල්ප ඊට කදිම සංනිදර්ශනයක්.

කුරාණයේ කොතැනකවත් කියලා නෑ ලෝකයේ අවසානයේ බිහි වූ ධර්මය ඉස්ලාම් ධර්මය කියලා. එහෙම වෙන්නත් බෑ. තව කොයිතරම් ආගම්, දර්ශන එක ආගමක් හා දර්ශනයක් බිහි වීමෙන් පසු බිහි වෙන්න පුළුවන්ද? කුරාණයේ කියලා තියෙන්නේ එක්ලක්ෂ විසිහතරදාහක් නබිවරුන් පහල වුණාය මේ නබිතුමා අවසන් නබිතුමාය කියලා පමණයි. ඒ වගේම කුරාණය හා බයිබලයේ පළමු ගිවිසුම අතර ලොකු වෙනසක් නැහැ.

විවිධ මාධ්‍යවලින් ඉස්ලාම් නොවන සංකල්ප ඉස්ලාම්කරණය කිරීම හා වෙනත් අර්ථදැක්වීම් ප්‍රකාශ කිරීම් ඔස්සේ කුරාණ පාඨවලට හානි සිද්ධ වෙනවා. සමහර අය වෛරී හැඟීමෙන් එය කරනවා. ජාතිවාදී ආගමිකවාදී උමතුව පුද්ගලයන්ව දැඩි ලෙස දුර්වල කරනවා. ලංකාවේ ලක්ෂ විස්සක් - විසි දෙකක් අතර ප්‍රමාණයක මුස්ලිම්වරු ඉන්නවා. ඒ අය අතරින් ඉතා තිරිසන් ම්ලේච්ඡ සුළුතරයකට ඉතිහාසගත සිංහල මුස්ලිම් මිත්‍රත්වය වනසන්න දෙන්න බෑ. එය යුක්තියුක්ත වෙන්නෙත් නෑ.

ඉමිතියාස් බාකිර් මාකර්
හිටපු එ.ජා.ප අැමැති

අරාබි ජාතිකයන් වෙළඳාම පිණිස ශ්‍රී ලංකාවට පැමිණ මුලින්ම සේන්දු වුණේත් තමන්ගේ වාසභූමි කරගත්තේත් බේරුවල. මගේ ගමත් බේරැවල. ලංකාවේ පළමු මුස්ලිම් පල්ලිය හැදුණෙත් බේරුවල. මගේ ගෙදරට යන පාරේ නමත් අරාබි පාර. ඒත් මුස්ලිම් ගම්මානය මැදි කරගෙන වටේටම තියෙන්නේ මොරගොල්ල, හෙට්ටියාකන්ද, නල්ලහේන කියන සිංහල ගම්මාන.

මම මුලින්ම ඉගෙනගත්තේ කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ. ඊළඟට සිරිකුරුසියේ. ගම්පල සහිරා තමයි සිංහල මාධ්‍යයෙන් උගන්වන එකම මුස්ලිම් පාසල. ඉන්පසු මම ඒ පාසලේ ඉගෙනගත්තා. පාසල් අධ්‍යාපනය මම අවසන් කළේ කොළඹ ආනන්දයෙන්. බුද්ධාගම විෂයක් ලෙස ඉගෙනගත්තේ නැති වුණාට ඉස්කෝලෙ බුද්ධාගම විෂය උගන්වද්දි මමත් පන්තියට වෙලා ඒ උගන්වන දේවල් අහගෙන ඉන්නවා. ඉස්කෝලෙදි මම පාලි භාෂාව ඉගෙනගත්තා. ඉතිහාසය, සිංහල ඉගෙනගත්තා. සිංහල විෂය ඉගෙනගත්තේ, පාලි භාෂාව ඉගෙනගත්තේ හාමුදුරුවරුන්ගෙන්.

මම මේ සිංහල සමාජයෙන් ඉල්ලන්නේ සහරාන්ලගේ මුස්ලිම් අන්තවාදය පරාජයට පත් කරන්න, අපිව සිංහල සමාජයෙන් හුදෙකලා නොකරන්න කියලා. අපේ ආගමික පූජකයන් පැහැදිලිව කියලා තියෙනවා මියයන එක ත්‍රස්තවාදියකු වෙනුවෙන්වත් ආගමික සම්ප්‍රදායන් සිදුකරන්නෙවත් පල්ලියේ ආදාහනය කරන්න ඉඩ දෙන්නෙවත් නෑ කියලා. ඒ ප්‍රකාශයන්ම පැහැදිලියි අයි.එස් ත්‍රස්තවාදය අපේ ආගමික පූජකවරුන් මෙන්ම මැදහත් මුස්ලිම්වරුන් ප්‍රතික්ෂේප කරනවා කියන එක. ඒ ප්‍රකාශයම ඒ ආගමික පූජකවරුන්ට ත්‍රස්තවාදීන්ගේ තර්ජනයක් වෙන්න හේතුවක් විය හැකියි. නමුත් ඔවුන් අන්තවාදය නොබියව ප්‍රතික්ෂේප කරනවා.

මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළා මේක සිංහල බෞද්ධ රටක් මේ රටේ ජීවනාලිය බුද්ධ ධර්මයයි.. මේ රට පවුලක්. ඒ පවුලේ වැඩිමහල් සහෝදරයා බුදු දහමයි. බාල සහෝදරවරු වැඩිමහල් සහෝදරයා කියන දෙය පිළිගත යුතුයි කියලා එතුමා කීවා. ළඟ නොවේ දුර දිග බලන්න කියලා කියන කාදිනල්තුමා සමඟ අපිත් එකඟයි. ජාත්‍යන්තර න්‍යාය පත්‍ර උඩ ජාත්‍යන්තර බලකිරීම් මත නොවෙයි අප තීරණ ගතයුත්තේ. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේදී නිදහස් සටනේ සිටි මුස්ලිම් ජාතික වීරයෙක් වුණ ටී.බී. ජයා මහතා ප්‍රකාශ කළේ අපේ වැඩිමහල් සහෝදරයෝ තමයි සිංහල ජනතාව කියන්නේ. අපේ වැඩිමහල් සහෝදරයන් වගේ ඉන්න සිංහල ජනතාවත් සමඟ අපිට ප්‍රශ්න තියෙනවනම්, ඒ ප්‍රශ්න කතා කරලා විසඳගන්න පුළුවන් කියලා.

පරම්පරාවෙන් පරම්පරාවට පහනක් වගේ ඒ මුස්ලිම් වීරවරයාගේ ප්‍රකාශය අපේ, සිරස මත දැල්වෙනවා.

රකීබ් අබු බකර්
එ.ජා.ප නගරාධිපති - කල්මුනේ

සිංහල හා මුස්ලිම් ජනතාව අතර තියෙන්නේ ඓතිහාසික ඥාතීත්වයක්. දෙවැනි රාජසිංහ රජ්ජුරුවෝ පෘතුගීසීන්ගෙන් බේරීමට ගිහින් හැංගුණේ මුස්ලිම් නිවසක. ඒ නිවසේ කාන්තාවගෙන් පෘතුගීසින් ඇහුවා රජ්ජුරැවෝ දැක්කද කියලා. ඇය කිව්වේ නෑ කියලා. පෘතුගීසීන් ඇගේ පිළිතුරෙන් නොසෑහී ඇයව මරණයට පත් කළා. දෙවැනි රාජසිංහ රජ්ජුරුවෝ කිව්වා (මා රැකි ලේ) කියලා. ඒ කිව්වේ මා ආරක්ෂා කළ ලේ කියන අර්ථ‍ෙයන්.මුස්ලිම්වරුන් මරක්කලේ යනුවෙන් ව්‍යවහාර වුණේ ඉන්පසුව කියලයි කියන්නේ

සෙනරත් රජතුමන් දවස ඉන්දියානු ආක්‍රමණ එල්ල වෙද්දී ඒ සිංහල රාජ්‍ය ආරක්ෂා කරන්න මුස්ලිම්වරු දිවිහිමියෙන් කැප වුණා. සෙනරත් රජු මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශවල මුස්ලිම්වරු පදිංචි කළා. එදා මුස්ලිම්වරු නුවර රාජ්‍යයේ රජ්ජුරුවන්ට මාළු, කරවල අරන් ගියේ තවලමේ. ඒ විදිහට ඉතිහාසයේ පටන්ම මුස්ලිම්වරු සහයෝගය දුන්නා. ඌව වෙල්ලස්ස කැරැල්ලේදීත් ඒ සහයෝගය ඒ විදිහටම සිංහල රජ්ජුරුවන්ට දුන්නා. ප්‍රභාකරන්ගේ ඊලම්වාදී ත්‍රස්තවාදීන් ඊලම ඉල්ලද්දි අපි කවදාවත් මුස්ලිම් රාජ්‍යයක් ඉල්ලුවේ නෑ. අපි අපිව අඳුන්වලා දෙන්නේ අපි මුස්ලිම් කියලා නෙවෙයි. අපි ශ්‍රී ලාංකිකයෝ කියලා.

මේක ජාත්‍යන්තර උවමනාවක් මත සිදු වූ ක්‍රියාදාමයක්. කෙසේ වෙතත් අපි කියන්නේ අපි මේ අන්තවාදයට එකඟ නැහැ වගේම ආණ්ඩුවට මේ අන්තවාදයන් පරාජය කරලා රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගන්න කළ යුතු සියල්ල කරන්න කියලයි. ත්‍රස්තවාදීන් කොයි ජාතියක් නියෝජනය කළත් ඔවුන් ත්‍රස්තවාදීන්මයි. ජාතිය තුළ වගේම ආගම තුළත් ඔවුන්ට ඉඩක් නෑ

 සංජීවිකා සමරතුංග