2019 මැයි 18 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරයත් සමඟ කරළියට ආ මාරක බෝම්බකරුවෝ

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 243

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිළිබඳ ත්‍රස්ත භීතිකාව අපේ ජනසමාජය තුළ නැවත පැතිරගොස් තිබේ. 4/21 පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟිනි. බෙදුම්වාදී ගෝත්‍රික මානසිකත්වයේ කුරිරැ නිර්මාණයක් වන මරාගෙන මැරෙන ප්‍රහාරකයා යාන්තම් දශකයකට ආසන්න සැනසිලිදායක කාලයකට පසු එදාවේල සොයාගෙන පාඩුවේ ජීවත්වීමට කැමැති අහිංසකයන් වන ලාංකේය බහුතරයේ ඉහමොළ රත්කරමින් නැවතත් කළඑළි බැස තිබේ. තමන් සදාතනික වීරයන් බවට පත්වනවාය යන උන්මාදනීය මානසික මිරිඟුවක අතරමං වූ මේ අඳබාලයන්ගේ කුරිරු ඝාතන උප්පරවැට්ටි ගැන කතාබහක් සමාජය තුළ දැන් නැවත ඇති වී හමාරය.

ලෝකයේ මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳ ඉතිහාසය බොහෝ ඈතට විහිද යන්නකි. නමුත් මේ ගැන අපට ඇති මතකය ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අවාසනාවන්ත අවසානයත්, ඉන්දියාවේ රාජීව් ගාන්ධි ඝාතනයත්, 9/11 අමෙරිකානු ප්‍රහාරයත් අතර දෝලනය වෙමින් පවතී. එසේ වුවද ලෝක ඉතිහාසයේ මුල්ම මරාගෙන මැරෙන ප්‍රහාරකයන් ගැන වාර්තාව එන්නේ පළමු සියවස තරම් ඈත අවධියක සිටය. ඔවුන්ද ලෝගු ලාගත් පිරිසකි. කිණිසි රැගෙන සෙනඟ අතරට පැන හැකිතාක් කපාකොටා තමන්ද දිවි නසාගන්නා මේ අය සිකාරියන් ලෙසින් හැඳින්වෙන යුදෙව් ආගමික කල්ලියකි. ඉස්ලාමීය ඉස්මායීලි ෂීයා ආගමික කල්ලියකට අයත් ඝාතකයෝ වසර 300ක පමණ වූ ඉතිහාසගත කාලයක කාලීෆ්වරු දෙදෙනෙක්, විසුරේවරුන් සහ සුල්තාන්වරු ඇතුළු ප්‍රභූන් ගණනාවක්ම ප්‍රසිද්ධියේ ඝාතනය කළහ. ඔවුන් වැඩ පෙන්නුවේද කිණිස්සෙනි. ඒ අයගේද ප්‍රධාන ලක්ෂණයක් වූයේ ඝාතනයෙන් පසු පලායාමට උත්සාහ නොදැරීමය. 1386 දී සියදිවි හානි කරගත් ස්විස් ජාතික ආර්නෝල්ඩ් වොන් වින්කල්රෙයිඩ් එරට නිදහස් සටනේ වීරයෙකි. රුසියානුවෙකු වන ඉග්නාටි ග්‍රිනේවිට්ෂ්කි 1881දී දෙවෙනි ඇලෙක්සැන්ඩර් සාර්වරයා පාමුල බෝම්බයක් තබා පුපුරැවා ගත්තේය.

නමුත් මරාගෙන මැරෙන්න හිතා බෝම්බ බඩේ බැඳගෙන ගිය පළමු තැනැත්තා ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේ සාමාන්‍ය ගොවියෙකි. තවත් ගොවියෙක් සමග හබයක පැටලුන නවසීලන්ත ජාතික ජොසෙප් සෙවේල් 1905 වසරේ ජූලි මස 14දා උසාවි ආවේ සිය එදිරිවාදියාවද මරාගෙන මැරෙන්න හිතා ජෙලිග්නයිට් කූරු බඩේ බැඳගෙනය. නමුත් උසාවියෙන් පිටතදී එය පුපුරවාගන්නා ඔහු කැබලි වී ගියත් වෙන කිසිවෙකුට හෝ හානියක් නොවේ. දැන් සිදුවන ද්වේෂ සහගත සමූලඝාතන සමඟ සලකද්දි මේවා සැලකිය නොහැකි තරම් සුළු කාරණාය. එසේ වුවද ගෝත්‍රික මානසිකත්වයෙන් සිදුවන මරාගෙන මැරෙන ප්‍රහාර වඩාත් ප්‍රබලවම වාර්තා වන්නේ ඉතා මෑතක සිටය. සියදිවි නසාගැනීමේ ආක්‍රමණයක් (Suicide attack) යනු අද බොහෝවිට දේශපාලනික ක්‍රියාවකි. එහිදී ආක්‍රමණිකයා කිසියම් ඉලක්කගත ජන ඛණ්ඩයක් කෙරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහරින අතර මෙහිදී අවසානයේ ඔහුගේ ජීවිතයද නැතිවී යයි. මෑතකාලයේ මෙබඳු ප්‍රහාරවල අරමුණ වී ඇත්තේ ඉලක්කගත සමාජයක භිතීකාව පතුරැවා හැරීමය. සාමාන්‍ය ජනයා ත්‍රස්තකර සිය අණසක පතුරවා හැරීමය. යුද්ධයකදී නම් උපරිම හානිය යුදමය මර්මස්ථාන වෙත සිදු කිරීමය. වාර්තාගත ඉතිහාසයට අනුව මරාගෙන මැරෙන බෝම්බකරැවන්ගේ ශිල්ප දැක්වීම ඉහළ ගොස් ඇත්තේ 1981 පමණ සිට 2015 සැප්තැම්බර් අතර මෑතකාල සීමාවේදීය. ඒ කාලය තුළ රටවල් 40ක ප්‍රහාර 4814ක් හේතුවෙන් 45,000කට වැඩි පිරිසක් ඝාතනයට ලක්ව ඇත. ’80 දශකය තුළ වසරකට තුනක් පමණ වාර්තා වූ මෙම ප්‍රහාර 90න් පසු මාසයකට එකක් පමණ විය. 2001 සිට 2003 කාලයේදී එය සතියකට එකක් දක්වා ඉහළ ගියේය. 2003 සිට 2015 අතර කාලයේ එය දිනපතා සිදුවන්නක් බවට පත්ව ඇත. මේ ප්‍රහාර වැඩියෙන්ම වාර්තා වන රටවල් අතරට ඇෆ්ඝනිස්තාය, ඉරාකය, ඊශ්‍රායලය, පලස්තීනය, පාකිස්තානය මෙන්ම ශ්‍රී ලංකාවද අයත්ය.

මිලිටරි වාර්තාවන් පෙන්වා දෙන්නේ 1982 සිට 2015 මැදභාගය වනවිට අයි.එස්.වරු ප්‍රහාර 424ක් මගින් 4949ක් බිලිගෙන ඇති බවයි. අල් ඛයිඩාවරු ප්‍රහාර 20ක් මගින් 3391ක් මරාදමා ඇත. තලිබාන් ප්‍රහාර 665ක් මගින් 2925ක් බිලිගෙන තිබේ. මේ අතර කොටි ත්‍රස්තයන් ප්‍රහාර 82ක් මගින් 961ක් බිලිගත් බව වාර්තාගතය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් මේ වනවිට ප්‍රහාර එල්ල කරන ආකාරය විස්තීර්ණ විවිධත්වයකට ලක්කර ඇත. පාස්කු  ඉරිදා ප්‍රහාරකයන් මෙන් බෝම්බ මලු රුගෙන පයින් ඇවිද විත් පුපුරවා ගැනීම රාජිව් ඝාතනයේදීත් භාවිතා කළ සාමාන්‍ය උපක්‍රමයකි. සපත්තු අඩියේ පුපුරණ ද්‍රව්‍ය සඟවා පැමිණ අමෙරිකානු ගුවන් යානයක් පුපුරැවා හරින්නට තැත් දැරෑ රිචර්ඩ් රීඩ්ගේ උපක්‍රමය තාමත් යල්පැන නොගිය එකකි. 2009දී සවුදි කුමරු මුහම්මද් බින් නායෙෆ් ඝාතනයට සිරුර තුළ පුපුරණ ද්‍රව්‍ය බැඳගෙන ආ ක්‍රමය තවත් විදියකි. ලංකාවේ මහ බැංකු ප්‍රහාරය මෙන් කාර් රථයක බෝම්බ රැගෙන ඒම තවත් ක්‍රමවේදයකි. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතන බෝම්බය බයිසිකලයක බැඳගෙන ආ බව ප්‍රසිද්ධය. 9/11 ප්‍රහාරය මෙන් ගුවන් යානා යොදා ගැනීමත්, බෝට්ටු හෝ  සබ්මැරීන යාත්‍රා යොදා පහරදීමත් වාර්තාගතව තිබේ. ටෙල්අවීව් නුවර ප්‍රහාරයක් සඳහා යොදාගෙන තිබුණේ පොදු ප්‍රවාහන මාධ්‍යයක් වන බස්රථයකි. 

බෝම්බකරැ කාලයක් තිස්සේ මේ සඳහා තනිව මානසිකව සහ කායිකව දැඩි පුහුණුවකට යොමු කෙරෙයි. මෙහිදි ආගමික මතවාද වාර්ගික න්‍යායවාද ඔවුන් මත පටවන අතරම දිවිනසා ගැනීම සහ සතුරාගේ දිවි නැසීම වීරත්වයක් මෙන්ම ස්වර්ගය වෙත යාමට ලැබෙන ප්‍රසාද දීමනාවක් ලෙස ෆැන්ටසීමය මුලාවකට ඇද දැමීමද සිදුකරයි. බෝම්බය බලාපොරොත්තු හානියට සෑහෙන පුපුරන ද්‍රව්‍ය යොදා බඳ පටියක්, ජැකැට්ටුවක් වැනි ආකාරයට සකසා ලබාදෙයි. බෝම්බකරැ මේ සඳහා බෝම්බය පැළඳ පුහුණුව ලබන අතර ඔහුට ජීවමාන වීරයෙකුගේ සැලකිල්ල ලැබේ. එල්ලය සැපීරූ පසු ඔහු දිවිපිදූ වීරයෙකු ලෙස වැඳුම් ලබන මට්ටමකට පත්වේ. ඔවුන් වෙත පිරිනැමෙන මේ වීරාභීවන්දනයම මිනිස් බෝම්බකරැවෙක් ලෙස තවත් ආගන්තුකයෙක් ආකර්ෂණය කරගැනීමට සමත් වෙයි.

 සුගත් පී. කුලතුංගආරච්චි