2019 මැයි 18 වන සෙනසුරාදා

ආණ්ඩුව අමාරුවේ දාන ඇමැති රිෂාඩ්ගේ විශ්වාසභංගය

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 50

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මහජන චෝදනාවට ලක්වූ මුස්ලිම් දේශපාලනඥයන් අතර ප්‍රමුඛයා රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාය. ඔහු අරභයා පුවත් රැසක් මැවුණු අතර ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට පත්වීම, අමාත්‍යවරයාගේ විදෙස් සංචාර ඒ අතරින් ප්‍රධානය. මේ වනවිට බදුයුදීන් අමාත්‍යවරයා අරමුණුකොට නිර්මාණය වී ඇති විශාලතම දේශපාලන සංවාදය නම් විශ්වාසභංග කතාවයි. අද දේශයේ විමසීම එම සංවාදයේ අක්මුල් සහ අනාගතය පිළිබඳවයි. 

බදුයුදීන් අමාත්‍යවරයා සම්බන්ධ සමාජ විවේචනය නිර්මාණ වීමට පටන්ගෙන තිබුණේ රාජපක්ෂ ආණ්ඩු සමයේ සිටය. විල්පත්තු වන විනාශය ඔහු හා සම්බන්ධ තීරණාත්මක විවේචනයවූ අතර නොනවත්වා එය අඩු වැඩි වශයෙන් මේ දක්වා මතුවෙමින් තිබේ. ඊට අමතරව සතොස කුඩු සිදුවීම සහ අන්තවාදීන්ට සහාය දීම ආදී චෝදනාද ඔහුට විටින්විට එල්ල විය. මෙම සමස්ථය කරණ කොටගෙන නිර්මාණය වී තිබුණු බදුයුදීන් විරෝධය පාස්කු ඉරිදා ඛේදවාචකය සමඟ අතිශය ප්‍රබල වන්නට විය. මෙහි සංධිස්ථානයක් ලෙස පසුගිය දෙළොස්වැනිදා ශ්‍රී ලංකා ජාතික මහා සභාව කැඳවූ මාධ්‍ය සාකච්ඡාව සැලකිය හැක. එහිදී පළමුවරට රිෂාඩ් බදුයුදීන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ හෙළි කළහ.

එහිදී වෙළෙඳ හා නාවික කටයුතු ඇමති ලෙස ක්‍රියාකළ කාලයේ බදුයුදීන් ඇමතිවරයාගේ ක්‍රියා කලාපය සැකයට භාජනය ඇති වී බව කියැවුණි. තවද බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙන ආකාරයට නව ත්‍රස්තවාදය සම්බන්ධව ඇමැතිවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව වගකීම් විරහිතව කටයුතු කර තිබේ. එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ව නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ බලපෑම් එල්ල වී ඇත.

ඒ අනුව සියලු කරුණු විධිමත්ව ගොනුකර ඔහුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට සාකච්ජා කරමින් සිටින බව රතන හිමියෝ පැවසූහ. තවද අගමැතිවරයා විසින් බදුයුදීන් ඇමැතිවරයා ඔහුගේ ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බව ප්‍රකාශ කළ හිමියෝ එසේත් නැත්නම් එම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තමන් නායකත්වය දෙන බව සඳහන් කළහ.

මේ සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් විශ්වාසභංග කතාව තහවුරු කළේය. මෙහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසා සිටියේ මේ විශ්වාසභංගය දිනුවත් දිනුම් පැරදුණත් දිනුම් කියාය. මේ අතර රතන හිමියන්ගේ මැදිහත්වීම පිළිබඳ පොදුජන පෙරමුණේ කිහිපදෙනකු යම් අකමැත්තක් පෙන්නුම් කර ඇත. රංජිත් සොයිසා මන්ත්‍රීවරයා දැක්වූ අදහස තුළින් මෙම විරෝධය තවත් පැහැදිලි වන්නට විය. කෙසේ වෙතත් අවසානයේ ඒකාබද්ධයේ රැස්වීමේදී මෙම විශ්වාසභංගය පිළිබඳ අවසාන තීරණය ගනු ලැබීය. 14 වැනිදායින් පසු විශ්වාසභංගයට අත්සන් තැබීම ආරම්භ විය. පළමු දිනයේදී තිස් දෙනෙක් පමණත් දෙවනයේදී තවත් තිස් දෙනෙක් පමණත් ඊට අත්සන් තබා ඇති බව දැනගන්නට ලැබුණි.

රිෂාඩ් බදුයුදීන් ඇමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම පහසු කාර්යයක් නොවන බවට මතයක් පැතිර යමින් තිබුණේ මේ අතරය. ඊට අනුව කියැවුණේ මුස්ලිම් ඡන්දවලට වන බලපෑම හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් මෙය මගහැරිය හැකි බවයි. තවද දේශපාලනිකව ගත් කළ බදුයුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේදී තීරණාත්මකය යන අදහසක්ද දේශපාලන කරළියේ පවතී.

කෙසේ නමුත් 15 වැනිදා වනවිට විශ්වාසභංගය කතානායකවරයා භාරදීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවෙමින් තිබිණි. ඒ අනුව අපි දිනේශ් ගුණවර්ධන මහතා ඇමතුවෙමු. ඒ මහතා ප්‍රකාශ කර සිටියේ දුර පළාත්වල සිට පැමිණී මන්ත්‍රීවරැන් කොළඹ ඒමට පමාවීම හේතුවෙන් විශ්වාසභංගය පමා වූ බවයි. මේ අතර 15 වැනිදා පැවති ඒකාබද්ධ සාකච්ඡාවට රතන හිමියන්ද සහභාගී වූ අතර උන්වහන්සේ මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ සැමදෙනාම එකමුතු වී විශ්වාසභංගය ගෙන ආ යුතු බවය. තවද ආණ්ඩුවේ පිරිස්වල සහයෝගය මේ සඳහා ලබාගැනීම තමන් උපරිම කැපවන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. මෙහිදී අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ මෙය මුස්ලිම් ජනතාවට එරෙහි දෙයක් නොවන බවයි.

රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට එජාපයේ විරෝධය ප්‍රසිද්ධියේ පෙනුණේ අවස්ථා කිහිපයකදී පමණි. එහෙත් එම විරෝධතා සවිමත් ලෙස එල්ල නොවීය. මේ අතර අපි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා අමතා මේ සම්බන්ධව විම්සීමක් කළෙමු. තවමත් තම පක්ෂය තීරණයක් ගෙන නොමැති බවත් විශ්වාසභංගයක් ඉදිරිපත් වූ පසුව එය සලකා බලන බවත් එහිදී ප්‍රකාශ විය. ද්‍රවිඩ ජාතික සංධානයත් මෙතෙක් කිසිවක් මේ සම්බන්ධ ප්‍රකාශ කර නැත. ඒ අනුව මෙවර විශ්වාසභංගය තරමක් තීරණාත්මක වී තිබේ. කෙසේ නමුත් එජාපයෙන් පාර්ලිමේන්තු නියෝජනය කරන විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රීවරැන් විශ්වාසභංගයට පක්ෂ බව කියවේ.

ඒ සියල්ල එසේ වෙද්දී අත්සන් තබමින් පැවති විශ්වාසභංගය කරැණු දහයකින් සමන්විත විය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරැවන් සම්බන්ධයෙන් හමුදාපතිවරයාට බලපෑම් කළ බවට වන චෝදනාව එහි පළමුවැන්න විය. මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ පුද්ගලයකුට අයත් කර්මාන්තශාලාවට වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයෙන් හිස් පතුරන් කොපු සපයා තිබීම සම්බන්ධ චෝදනාව දෙවැන්නය. මේ ආදි වූ චෝදනා සියල්ලම ත්‍රස්තවාදය සම්බන්ධ වීම විශේෂත්වයක් වූ අතර විල්පත්තුව හා අල්ලස් වංචා සම්බන්ධ චෝදනා එහි නොවීය.

පසුගිය බ්‍රහස්පතින්දා (16) වනවිට විශ්වාසභංග අත්සන් තැබීමේ කටයුතු නිමාවිය. එදින  පෙරවරැ 10ට පමණ උදය ගම්මන්පිල, කාංචන විජේසේකර, අනුරාධ ජයරත්න සහ තේනුක විදානගමගේ යන මන්ත්‍රීවරැන් විසින් විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීම කටයුතු කළෝය. ඒ වනවිට ඊට අත්සන් 66ක් පමණ ඊට ලැබී තිබිණි. කතානායකවරයා දැන්වූයේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර එය විවාදයට ගැනීමට දින නියම කරන බවයි.

කෙසේ වෙතත් මෙම විශ්වාසභංග යෝජනාව සමඟ ආණ්ඩුව යම් ගැටලුවකට මුහුණ දෙනු ඇත. මෙයට ඍජු විරෝධයක් දැක්වීම බහුතර ජනතාවගේ අප්‍රසාදයට හේතුවිය හැකිය. එය විපක්ෂයට විශාල දේශපාලන වාසියකි. නමුත් බදුයුදීන් අමාත්‍යවරයා ආණ්ඩුවේ පැවැත්මට තීරණාත්මක සාධකයකි. ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරැන් පස්දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරති. යම් හෙයකින් මෙහිදී ආණ්ඩුව නිහඬ වුවහොත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකිය. එවිට ආණ්ඩුව බහුතර අර්බුදයට මැදිවේ. කෙසේ නමුත් මෙම යෝජනාවට පෙර බදුයුදීන් අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දීමක් කිරීමට ඉඩ තිබේ. රවී කරැණානායක අමාත්‍යවරයා මෙන් පසුපාදයට ගොස් නැවත කරළියට පැමිණීමට අමාත්‍යවරයාට අවකාශ ඇත.
මෙම විශ්වාසභංග ජය ගැනීමට අවශ්‍ය වන්නේ එදිනට පාර්ලිමේන්තුවට පැමිණ සිටින පිරිසෙන් බහුතරයකි. ඒ අනුව ද්‍රවිඩ ජාතික සංවිධානය මෙහිදී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් එවන් අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රීලනිප සමස්ත කණඩායමට එජාප කිහිප දෙනකුගේ සහාය ලැබුණහොත් ආණ්ඩුව ගැටලුවකට මුහුණදෙනු ඇත. ඒ නමුත් මුස්ලිම් ඡන්ද පිළිබඳ සාධකය තීරණාත්මක වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ සහ ජනපති සමඟ සිටින මන්ත්‍රී කණඩායමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අනාවැකි කිව නොහැකිය. කෙසේ වුවත් ආණ්ඩුව මේ මොහොතේදී පියවරක් පසුපසට යාම ඔවුන්ට වාසි සහගතය. යම් හෙයකින් විශ්වාසභංගයකින් බදුයුදීන් අමාත්‍යවරයා පරාජය වුවහොත් එය සමස්ත ආණ්ඩුවේ ඉදිරි ගමනට දේශපාලන වශයෙන් බලපෑම් කරනු ඇත.

 චමිඳු නිසල් ද සිල්වා