2019 මැයි 11 වන සෙනසුරාදා

විසිඑක් වැනි සියවසේ බලවත්ම ගැටලුව වයස්ගත ජනගහනය

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 1184

ලෝකයේ වැඩි වයස්ගත ජන කොටස ඉහළ ප‍්‍රතිශතයකට පත්වීම විසි එක්වැනි සියවසේ බරපතළ ගැටලුවක් වනු ඇතැයි අන්තර් ජාතික ප‍්‍රජාව විශ්වාස කරයි. ගණන් බලා ඇති අන්දමට අවුරුදු පහට අඩු දරුවන්ට වඩා අවුරුදු හැටපහට වැඩි වයස්ගත පිරිසක් අද වනවිට ලෝකය පුරා ජීවත් වෙති. වැඩි වයස් ජනගහනයේ ප‍්‍රතිශත වර්ධනය එතැනින් නතර නොවේ. සෞඛ්‍ය දියුණුව නිවැරදි ආහාර පිළිවෙත් හා ව්‍යායාම එයට උදවු කෙරේ. වෛද්‍ය විද්‍යාත්මකව අනාවරණය කරගන්නා ප‍්‍රතිකාර ක‍්‍රම තවදුරටත් අත් වැලක් සපයා තිබේ.

කෙසේ නමුත් වියපත් පිරිස වෙනුවෙන් අනුවර්තනය වීම සෑම රටකටම ප‍්‍රශ්න ඇති කරනු ඇතැයි සැලකේ. එක පැත්තකින් වයස්ගත අයගේ ලෙඩ රෝග ගැන හිතන්නට සිදුවෙයි. සෞඛ්‍ය වෙනුවෙන් පිරිවැය වැඩිවෙයි. වැඩ නොකර විශ‍්‍රාම ජීවිතයක් ගත කරන නිසා එම පිරිස නඩත්තු කිරීමට ආර්ථික පිරිවැයක් ඇත. වයස්ගත අය මොනවා හෝ වෘත්තියකට බඳවා ගත යුතුය. නොඑසේනම් රැකීරක්ෂාවල නිරත ජන කොටස වැඩි කාර්යක්ෂමතාවයකින් හා ඉහළ ඵලදායීතාවයකින් වැඩ කරන්නට සිදුවෙයි. ගමනාගමනය, ආහාර නිෂ්පාදනය පමණක් නොව මාධ්‍ය වැඩසටහන් පවා වැඩිහිටියන් ඉලක්ක කරගෙන සැලසුම් කරන්නට අනාගතයේදී සිදුවිය හැකිය. එය වර්තමාන තාක්ෂණික යුගය මුහුණ දී ඇති අභියෝගයකි. අලුතින් අවධානයට ගත යුතු පැත්තකි.

පර්යේෂණ ආයතනයක් පෙන්වා දෙන අන්දමට වසර 2050 වනවිට ලෝක ජනගහනයේ සියයට 22ක් එනම් හැම පස් දෙනෙකුගෙන්ම එක් අයෙකුට වඩා වයස අවුරුදු 60 ඉක්මවූවෝ වෙති. අවුරුදු විස්සක් තිස්සේ අවුරුදු පහට අඩු ළමා ජනගහනය සියයට පහකට අඩු ප‍්‍රතිශතයක තිබියදී වැඩි වයස්ගත පිරිස ඉහළ යමින් පවතින බවද පෙන්වා දී තිබේ. වැඩකරන ශ‍්‍රම බලකාය ගැන අනාගතයේ දී ගැටලු ඇතිවිය හැකිය.

වියපත් පිරිස ජීවිතයේ සැඳෑසමය ගෙවන කණ්ඩායමකි. මෙම වැඩි වයස්ගත පිරිස වෙනුවෙන් රට රටවල වියදම් ඉහළ යන ස්වභාවය අනුව ලෝක ආර්ථිකයේ වර්ධන වේගය අඩාල විය හැකි අතර එයට සූදානම් වන සේ මෙම පර්යේෂකයෝ අනතුරු අඟවා තිබේ. එය වළක්වන්නට නම් මෙම කණ්ඩායමට කරන්නට පුළුවන්කමක් ඇති රැකීරක්ෂා බහුල ව්‍යුහයක් බිහිකළ යුතුය.

ජපානය, ස්විට්සර්ලන්තය හා සිංගප්පූරුව ඉහළ ජීවිතාපේක්ෂාවක් ඇති රටවල් වශයෙන් ඉහළ උද්දාමයෙකින් සිටිති. ජපානයේ වැසියන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 83.7කි. සිංගප්පූරුවේ එයට තරමක් අඩුය. නමුත් 1990 දී වයස අවුරුදු සියය ඉක්මවූ 50 දෙනෙකු වාර්තා වී ඇති අතර 2018 දී එම පිරිස 1,200 කි. සිංගප්පූරුවේ සෞඛ්‍ය ප‍්‍රතිපත්ති අනුව අවුරුදු සියය ඉක්මවන ජන කොටසක් ඇති රටක් බවට පත් කිරීම අපේක්ෂාව වී තිබේ. එය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස්කර ඇත. නිරෝගී බව වෙනුවෙන් ආයෝජනය කර ඇති ධනය විශාලය. තාක්ෂණය බහුලව භාවිතා කර තිබේ. තමන්ගේ රුධිර පීඩනය, සීනි ප‍්‍රතිශතය මැන ගත හැකි සේවා කවුන්ටර පිහිටුවා ඇති අතර ඒවා ඉක්මනින් වෛද්‍යවරුන් වෙත යොමුකර අවශ්‍යනම් දුරස්ථ ප‍්‍රතිකාර කරන ක‍්‍රම පවා හඳුන්වා දී ඇත.

වයස් ගතවන විට මහන්සි වී වැඩකරන හැකියාව අඩුවෙයි. අලස, අකර්මන්‍ය ජීවිතවලට නැඹුරු වෙන්නට ඉඩ තිබේ. එය නුදුසුදුය. ඉගෙනගන්නා අතර අලුත් වෘත්තීය අවස්ථා බිහිකිරීමට ලෝකයේ නොයෙක් රටවල් නැඹුරු වී සිටී. වැඩිහිටියන්ට වෙනම අධ්‍යාපනය, ප‍්‍රංශයෙන් ආරම්භ විය. පසුව යුරෝපයේ නොයෙක් රටවල් ප‍්‍රයෝජනයට ගත්තේය. බි‍්‍රතාන්‍යයේ අතිශය ජනප‍්‍රිය වී තිබේ. නොබෝදා චීනයෙන් අනාවරණය වූ තොරතුරු අනුව එරට ජනගහනයෙන් මිලියන අටක වැඩිහිටි ජනහගහනයක් විශ්වවිද්‍යාලවල ඉගෙන ගනිමින් සිටිති. අවුරුදු හැට ඉක්ම වූ සමස්ත ජනගහනයෙන් සියයට තුනක පමණ පිරිසක් බව අනාවරණය වෙයි. වැඩිහිටියන්ට චීනයේ ෂැංහයි විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 65-70 අතර බව දැක්වෙයි. චීනය සිය තුන්වැනි යාමයේ විශ්වවිද්‍යාල පද්ධතිය බිහිකළේ රටට සේවය කර ඉවත්වන සෙබළුන් වෙනුවෙනි. පසුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ද විවෘත කළේය. වර්තමානයේ රජයේ සේවකයන් ඇතුළු සෑම තරාතිරමකම වැඩිහිටියෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබති. 

චීනයේ වැඩිහිටි උසස් අධ්‍යාපන විෂය පථය හුදෙක් අධ්‍යයනයට සීමා වී නැත. සංචාරය වෙනුවෙන් ඉංග‍්‍රීසි ඉගෙන ගැනීම එක විෂයයකි. අන්තර් ජාල වෙළඳාම, නර්තනය හෝ සංගීතය ඉගෙන ගැනීමට හැකිය. වැඩිහිටියන් වෙනුවෙන් පමණක් සීමා වූ විශ්වවිද්‍යාල රජයේ අනුග‍්‍රහයෙන් පවත්වාගෙන යයි.  වැඩිහිටි සිසුන්ගෙන් සුළු සාමාජික ගාස්තුවක් අය කෙරේ. වසර 2020 වනවිට චීනයේ සෑම දිස්ත‍්‍රික්කයකම වැඩිහිටියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් ඇරඹීම චීනයේ ඉලක්කය වී ඇත.

මේවායෙන් කරන්නේ ආර්ථිකයක් හදන්නට පියවර ගැනීමය. වියපත් වනවිට එම සමාජයේ ක‍්‍රියාකාරීත්වය අනුව ඇතිවන තවත් ප‍්‍රශ්නයක් පර්යේෂකයන් පෙන්වා දී තිබේ. යැපෙන මානසිකත්වය අත්හැර අලුතින් යමක් ඉගෙනගෙන වෘත්තියකට ඇතුළත් වුවහොත් උපයන දේ වියදම් කරන්නේ සීමාසහිතවය. ඔවුහු ඉතිරි කිරීමට යොමුවෙති. වියදම් කරන්නේ නැති සමාජයක පාරිභෝජනය අඩුය. එය නිෂ්පාදනයේ දී පරහකට සිටී. වෙළඳාම අඩු වනවිට දෙයක් නිපදවීමෙන් නිෂ්පාදකයන්ට පලක් නැත. එය ආර්ථික වේගය අඩාල කරන තත්ත්වයකි.

ලෝකයේ රටවල් අවුරුදු සියය ඉක්මවා ජීවත්වන සමාජ ගොඩනගන්නට ප‍්‍රයත්නයකය. එසේ තිබියදී ලෝක ජනගහනයේ වියපත් ජනකොටස නඩත්තු කිරීම විසිඑක්වැනි සියවසේ ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. හැම පැත්තකින්ම අලුතින් හිතන්නට සිදුවී ඇත. තාක්ෂණය අතින් වේගයෙන් දියුණුවන ලෝකය මෙම ප‍්‍රශ්නය සමබර කරන්නට අනුගමනය කරන වැඩ පිළිවෙළ කුමක්ද?

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමුකළ හැකිය.

► මිලින්ද මොරගොඩ