2019 මැයි 11 වන සෙනසුරාදා

අම්බලන්තොට රත්කළ සරණාගත හර්තාලය

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

අම්බලන්තොට රුහුණු රිදියගම රජයේ පුනරුත්ථාපන නිවර්ථන නිවාසයට සරණාගතයින් පිරිසක් රැගෙන ඒමට රජය සූදානම් වන බව පවසමින් ඊට එරෙහිව අම්බලන්තොට හා අවට නගරවාසීන් එක්ව නගරය පුරා කළු කොඩි ඔසවා පසුගිය 08 දින අම්බලන්තොට නගරයේදී හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වූහ. කඩ හිමියෝ සියලු කඩ වසා මෙම හර්තාලයට එක්වූහ.

පසුගිය දින මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙරට රැඳී සිටින පාකිස්ථානු සරණාගතයින් පිරිසක් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම ඇතිව අම්බලන්තොට රුහුණු රිදියගම පිහිටි නිවර්ථන නිවාසයට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පවසමින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර තිබුණි. එහිදී ව්‍යාපාරිකයන් පැවසුවේ අම්බලන්තොට හා අවට ප්‍රදේශවල සිටින ජනතාව මේතරම් කාලයක් සියලු ජාතීන් සමඟ එකට සුහදව ජීවත් වූ බවත් පාකිස්ථානු සරණාගතයින් පිරිසක් මේ ප්‍රදේශයට ගෙනවිත් දමාගෙන අම්බලන්තොට හා අවට ප්‍රදේශවල අනවශ්‍ය කරදරයක් ඇති කරගත යුතු නොවන බවත්ය.

අම්බන්තොට වෙළෙඳ ප්‍රජාව හා බෞද්ධ සංගමය එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කෙරුණු අතර මේ සඳහා ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, ගම්වාසීන් හා භික්ෂුන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙහිදී හර්තාලය සඳහා එක් වූ පිරිසෙන් කොටසක් ඇතුළු 300ක පමණ පිරිසක් අම්බලන්තොට රුහුණු රිදියගම පිහිටි නිවර්ථන නිවාසයට ගොස් එහි අධ්‍යක්ෂවරයාට සංදේශයක් බාරදීමද සිදු කෙරුණි.

මෙම හර්තාල් ව්‍යාපාරය නිසා 07 හා 08 දෙදින අම්බලන්තොට රජයේ නිවර්ථන නිවාසයට දැඩි පොලිස් ආරක්ෂාවක්ද එක්කර තිබෙනු දක්නට ලැබුණි. මෙහිදී මේ හර්තාල් ව්‍යාපරයට එක්ව සිටි දකුණු පළාත් සභා මංත්‍රි එස්.වී.පී. ආනන්ද මහතා මෙලෙස අදහස් දැක්වීය.

අද වනවිට රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් සමග අම්බලන්තොට පිහිටි නිවර්ථන නිවාසයට සරණාගතයින් පදිංචි කිරිමට කටයුතු කරන්නේද යන්න පිළිබදව දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගෙන් හා ප්‍රධාන ලේකම්තුමන්ගෙන් මා විමසීමක් කළා. එහිදී ඔවුන් කීවේ මොනම හේතුවක් නිසාවත් උසාවි නියෝගයක් නොමැතිව මේ ස්ථානයට කිසිම කෙනෙක් ඇතුළත් කර නොගන්නා බවයි. විශේෂයෙන්ම කියන්න ඕනේ දැනටත් මේ වෙනකොට මේ නිවර්ථන නිවාසයේ රැඳී ඉන්නේ අධිකරණ නියෝග පිට පැමිණි පුද්ගලයන් පමණයි. විශේෂයෙන්ම මේ වෙනකොට මෙම නිවර්ථන නිවාසයට අයත් ඉඩම් කොටසක සුද්ධ කිරීමක් සිදුකරනු ලැබීම නිසා ජනතාව අතර මේ සරණාගතයන් මේ ස්ථානයට රැගෙන ඒමේ සූදානමක් ඇතැයි කියන බය ඇතිව තියෙනවා. මම ඒ පිළිබඳවත් විමසීමක් කළා. එහිදී දැනගන්න ලැබුණේ එම බිම් කොටස සුද්ධ කරන්නේ සරණාගතයන් පදිංචි කරවීමට නොවන බවත්, කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ගොවි පොළක් පවත්වාගෙන යාමට මෙම බිම් කොටස සුද්ධ කරන බවත්ය. මේ ස්ථානයට පකිස්තාන් සරණාගතයින් රැගෙන එනවාට අපිත් දැඩි ලෙස විරුද්ධයි. කෙසේ නමුත් මෙතෙක් මේ ස්ථානයට එම පිරිස රැගෙන එනවාද නැද්ද යන්න පිළිබඳව ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි ආණ්ඩුකාරතුමන් පැවසුවේ යැයි ඔහු පැවසීය.

මෙම හර්තාලය සඳහා එක්ව සිටි ගම්වාසීන් පැවසුවේ “මේ රටේ ඉන්න හිටින්න තැනක් නැතිව සිටින ජනතාව විශාල පිරිසක් ලංකාවෙම ඉන්නවා. ඒ අයට ඉන්න ස්ථානයක් ලබාදීමට අපොහොසත් වුණු මේ ආණ්ඩුව පිටින් එන සරණාගතයින්ට මෙහේ ඉන්න දෙන්න හදනවා. ඒ අය මෙහේ ගෙනත් පදිංචි කරන්න හදනවා. මේ වැඩේට අපි දැඩි ලෙස විරුද්ධයි. මොකද රජයට සරණාගතයින් පදිංචි කරන්න ඕනේ නම් අපේ මේ ලංකාවේ ගෙයක් දොරක් නැතිව ඉඩමක් නැතිව සිටින පිරිස ඕනතරම් ඉන්නවා. ඒ අයට තියෙන ඉඩමක් ලබාදෙන්න. එහෙම නැතිව මේ කොහෙන්වත් ආව පිරිසක් සරණාගතයින්ය කියලා මෙහේ ගෙනත් දමනවට අපි කැමති නෑ.” කියාය.

කෙසේ වෙතත් දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුම පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම රාත්‍රි කාලයේ මේ ස්ථානයට පැමිණ මෙම සරණාගතයින් මෙම ස්ථානයේ රුඳවීමට අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයාබලා ඇතැයි ව්‍යාපාරිකයෝ හා මහා සංඝරත්නය ප්‍රකාශ කළහ.

“මෙච්චර කාලයක් මේ සුබසාධන ආයතනය හා ප්‍රදේශයේ ජනතාව සමග ඉතා සුහදව තමයි කටයුතු කරගෙන ආවේ. ඉතින් අපි කියන්නේ මේ පිරිස ඒ අයගේ ජන කොටසක් සිටින ස්ථානයක රඳවා තැබීමට හෝ පදිංචි කිරීමට කටයුතු කිරිම පිළිබඳව මහා සංඝරත්නය විදියට අපි විරුද්ධ නෑ. අපි කියන්නේ සරණාගතයින් පිරිස මේ ස්ථානයට රැගෙන එන්න එපා කියන එකයි. අපි එහෙම කියන්නේ දැන් මේ වනවිට රටේ උද්ගතවෙලා තියෙන තත්ත්වයත් එක්කයි. විශේෂයෙන්ම කියන්න ඕනේ එක් ජනකොටසක් ඉලක්ක කර නෙමෙයි අපි මේ හර්තාලය ආරම්භ කළේ. ගමේ අයට වගකීමක් තියෙනවා ගම රැකගන්න. ඒ වෙනුවෙන් තමයි ගම්මුන් මේ පෙරට ඇවිත් තියෙන්නේ. සරණාගතයින් මෙම ස්ථානයේ රඳවා තබාගැනීම තුළින් අනාගතයේ මේ ප්‍රදේශයේ ජනතාව අනවශ්‍ය ගැටලුවකට ඇද දැමීමට එය සමත් විය හැකියි කියන එක අපිටත් පේන්න තියෙනවා. ඒ නිසාවෙනුයි මහා සංඝරත්නය විදියට අපි මේ ජනතාවත් සමග පාරට බැස්සේ” යැයි බොධිරුක්ඛාරාමාධිපති දන්දෙණියේ චන්දානන්ද හිමියෝ පැවසූහ.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතා පැවසුවේ,

“මේ වෙනකොට අපිට තොරතුරක් ලැබිලා තියෙනවා පාකිස්ථානු සරණාගතයින් පිරිසක් අපේ ප්‍රදේශයේ පිහිටලා තියෙන නිවර්ථන නිවාසයට රැගෙන ඒමේ සූදානමක් තියෙනවා කියලා. දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ මැදිහත් වීමෙන් මෙය සිදුකරන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. අපිට කිසිදු ජාතියක් එක්ක ගැටුමක් නෑ. අපි කියන්නේ අද වනවිට රටේ උද්ගතවෙලා තියෙන තත්ත්වයත් එක්ක මේ පිරිස මේ ප්‍රදේශයට ගේන්න එපා කියන එකයි.” කියාය.
අම්බලන්තොට රුහුණු රිදියගම නිවර්ථන රැඳවුම් නිවාසයේ අධ්‍යක්ෂවරයා පැවැසුවේ මෙතෙක් මෙම සරණාගතයන් මේ ස්ථානයට ගෙන එනවාද නැද්ද යන්න පිළිබඳව දැනුම් දී නැති බවය. කෙසේ වෙතත් අපි මේ සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඒ මහතා පැවසුවේ කිසිදු අයුරකින් මේ ස්ථානයට සරණාගතයින් පිරිසක් රුගෙන ඒමට සාකච්ජා කර නොමැති බවය. 

 සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර