2019 මැයි 10 වන සිකුරාදා

බෝම්බ හඳුනාගන්න අමුතු උපකරණ

 2019 මැයි 10 වන සිකුරාදා, ප.ව. 07:58 91

නොසිතු විරූ මොහොතක ලංකාව බෝම්බ භීතියෙන් ඇලලී ගියේය. දශකයකට පමණ එහා අමතකව ගිය අතීතයක ත්‍රාසජනක කම්පනය සමාජ දේහය දෙදරා පැතිර ගියේය. රටේ ආරක්ෂාව පිළිබඳ කතාබහ දැන් නැවතත් අංක 1ට පැමිණ හමාරය. බෝම්බ පරික්ෂා  කරන උපකරණ ගැන ද මේ අතර තදින්ම කතිකාවක් ඇතිව තිබේ. මේ උපකරණවල නම් ගම් පවා නැවත කරළියට පැමිණ ඇත්තේ දිගු කලකට පසුවය. පාසල්, පල්ලි, පන්සල් ප්‍රමුඛ ත්‍රස්තවාදින් සිය ගොදුරු සොයන මර්මස්ථාන රැක ගැනීමේදී බෝම්බ පරීක්ෂක උපකරණවලට හිමිවන්නේ ප්‍රබල තැනකි. ලෝකයේ මේ උපකරණ නිපැයීම සහ අලෙවිය අද සරු ජාවාරමකි. විවිධ ඉහළ පහළ මිල ගණන් යටතේ මේ උපකරණ අන්තර්ජාලයෙන් පවා මිලදී ගන්නට හැකිය

ත්‍රස්ත ප්‍රහාර අතර බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ පාසල්, පල්ලි, පන්සල්  මෙන්ම වරාය ගුවන්තොට බස් දුම්රිය නැවතුම් ඇතුළු ජනාකීර්ණ ස්ථාන කරාය. පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී පාසැල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා  ඇතුළු කැබිනට් මණ්ඩලය ද මේ ගැන සාකච්ඡා කළ අතර එහිදී ආරක්ෂක උපකරණ පාසැල්වල ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් කෙරුණු බව සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අනාවරණය කළේය.

මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන එවැනි ආරක්ෂාව සඳහා භාවිතා කරනු ලබන මෙම යන්ත්‍රෝපකරණ සඳහා ආනයනික තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවද වාර්තා වී ඇත. “මේ ආරක්ෂක උපකරණ අවශ්‍ය වන්නේ සංචාරක ව්‍යාපාරවලට පමණක් නොවෙයි. රජයේ ආයතන, ව්‍යාපාර, ආගමික සිද්ධස්ථාන, සිනමා ශාලා වැනි ජනතාව ගැවසෙන ස්ථාන වැනි සෑම තැනකටම මේ ආරක්ෂක යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙනවා. ආරක්ෂාව මත තමයි ආර්ථිකයත් ගොඩනගාගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව ආරක්ෂාව ප්‍රමුඛස්ථානය ගන්නවා. මෙම උපකරණවලට අමතරව ආරක්ෂණ විශේෂඥයන්ගේ උපදෙස් මත තවත් ආරක්ෂක උපකරණ මෙම ලැයිස්තුවට ඇතුළු කරන්න පුළුවන්. ඒ සඳහා අපි විවෘතයි, යනුවෙන්මේ ගැන අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා තිබුණි. පාස්කු ඉරිදා බෝම්බ භීතිය ඉදිරියට දමා කොළඹ නගර සභාව​ කෝටි ගණනක් වටිනා පුපුරන ද්‍රව්‍ය සෙවීමේ යන්ත්‍ර මිලට ගැනීමට සූදානම් වන බව ද වාර්තා විය. කොළඹ නගර සභාව මෙම මිලදී ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක උපදෙස් ඉල්ලා යවා ඇති බව ද දැන ගන්නට ඇත. පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ (Explosive detectors) දහයක්, වෝල්ක් තෘ මෙට්ල් ඩිටෙක්ටර් 05ක් හා වාහන පරීක්ෂණ කරන කණ්ණාඩි (Search mirror) දහයක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදන්නැයි නිලධාරීන්ට නිකුත් කළ ලිපියක සඳහන්ව තිබි ඇත.

ඒ සමඟ මෙම උපකරණවල ඉහළ මිල පිළිබඳව කතාබහට ලක්ව තිබේ. මේ කියන ස්කැනර් එකක් මිලියන 3.5ක් පමණ වන බවත් එක්ස්ප්ලෝසිව් ඩිටෙක්ටර් එකක් මිලියන 2.5ක් පමණ වන බවත් එළිදරව් වූයේ ඒ අනුවය.
ආයතනවලට ලැබෙන ලිපි, ගමන්මළු පරික්ෂාවේ සිට සම්පූර්ණ පුද්ගලයා පරික්ෂාවට ලක්වන දොරටු බඳු උපකරණ ද මෙම බෝම්බ අල්ලා ගන්නා උපකරණ රැසට අයත්ය. 

ලංකාවේ අප කවුරුත් දැක ඇති ලෝහ ද්‍රව්‍ය හඳුනා ගැනීමට භාවිත කරන උපකරණයක් රුපියල් 7500ක පමණ මුදලකට ලබාගත හැකිය. ඉතා සියුම්ව සඟවා ඇති ලෝහ කොටස් පවා හඳුනාගත හැකි මේවා ඉතා ඉහළ සංවේදී බවක් දක්වයි. ඉතා පහසුවෙන් අත දරා සිටිය හැකිතරම් සැහැල්ලු මෙම උපකරණය එල්.ඊ.ඩී. ආලෝක සංඥාවක් මඟින් සහ කම්පනය මඟින් අනතුරු අඟවයි. අංශක -15 සිට 45 දක්වා උණුසුමට සංවේදිය. ආරක්ෂකයන් භාවිත කරන අතේ ගෙන යා හැකි සමහර කුඩා උපකරණ 1400.48 - 2625.90- අතර මිලකට පවා ගත හැකිය. නමුත් මේවා ලෝහ මිස පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා හැකියාව ඇති ඒවා නොවේ.

දොර උළුවස්සක ආකාරයට සැකසුණ ලෝහ ද්‍රව්‍ය ස්කැනර්වල මිල ගනන් තවත් වෙබ් අඩවියකට අනුව රුපියල් 78777.00 පමණ වෙයි. ටච් ස්ක්‍රීන් මාදිලියේ මෙහි උසස් ක්‍රියාකාරී යන්ත්‍රයක් 1575540.00 - 1750600.00ක මිලකට ලංකාව තුළ මිලට ගැනීමට හැකි බව සඳහන්ය. පරිගණකගතව ක්‍රියාත්මක සිටි ස්කෑනරයක් බඳු CTX-5000 මාදිලියේ (Computer Tomography X-ray) සුපිරි යන්ත්‍රයක් මිලියන 15791.40ක් තරම් අධික මිලකට දක්නට හැකිය. ගුවන් තොටුපළ වැනි අධි ආරක්ෂිත ස්ථානවල භාවිත වන කුඩා CTX -2500 යන්ත්‍රයක මිල ලංකා මුදලින් 12,28,22000.00කට ආසන්නය. ගුවන්යානා කාර්ය මණ්ඩලවලට ලබා දෙන අතේ ගෙන යාහැකි පුපුරන ද්‍රව්‍ය හඳුනාගන්නා කුඩා උපකරණ කට්ටල දක්නට හැකිය. ඒවා එම කාර්ය මණ්ඩලයේ ඕනෑම කෙනකුට භාවිත කළ හැකි අතර විනාඩි දෙක තුනකදී පුපුරන ද්‍රව්‍ය හඳුනාගත හැකිය. නයිට්‍රෝ පුපුරන ද්‍රව්‍ය වන TNT, PETN, HMX, RDX ද්‍රව්‍ය හඳුනා ගත හැකි කුඩා Nitro-Pen  උපකරණයක් ද මෙහි දක්නට ඇත. ඉතා කුඩා ප්‍රමාණයක් පවා දක්නට ඇති විට පාට වෙනස් කරමින් ඒ බව දැක්වීමට මෙම කට්ටලය සතු උපකරණ  සමත්ය. පුපුරන ද්‍රව්‍ය ආසන්නයේදී සංඥා මගින් දන්වන පුංචි උපකරණවල සිට එක්ස් රේ හෝ සීටී ස්කෑනර් වැනි සමස්තයම විනිවිද දකින්නට හැකි කාමර බඳු පරිගණක ගත පද්ධති ද දැන් බෝම්බ බිය අබිමුව ලෝකයේ භාවිතයට පැමිණ තිබේ.

♦ සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00