2019 මැයි 11 වන සෙනසුරාදා

බෝම්බ කල්ලියේ දෙවැනියත් මාට්ටු

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 711

හදිසියේ එල්ලවුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ සලිත වී ගිය රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටියි. ඒ එක් පැත්තකින් මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් එකින් එකා කොටුවන නිසාය. අනෙක් කරුණ නම් මේ වනවිට රටපුරා සිදුවන විශේෂ වැටලීම් සහ ආරක්ෂිත වැඩපිළිවෙල නිසාය. ඒ නිසා බොහෝමයක් දෙනෙක් දැන් දැන් නැවත සුපුරැදු පරිදි හුස්ම ගන්නට පටන්ගෙන සිටිති. එහෙත් මේ වැටලීම් සහ තොරතුරැ අනාවරණයත් සමඟ ඇතැම් කාරණා සම්බන්ධයෙන් යම් මතබේදාත්මක තත්ත්වයක්ද මතුව තිබේ.

පාස්කු ප්‍රහාරය ගැන සෞදිය දැනුවත්ද?

පාස්කු ප්‍රහාරය ජාතික තව්හීද් ජමාත් සංවිධානය මගින් එල්ලකරන ලද ප්‍රහාරයක් ලෙස ආරම්භයේ හෙළිවූවත් 23 වැනිදා වනවිට මෙය අයි.එස්. සංවිධානයේ වැඩක් බව ඔවුන් විසින් හෙළිකරන ලද ඡායාරූප සහ වීඩියෝ පට හරහා තහවුරු විය. එසේම සයින්දමර්දු ප්‍රහාරයෙන් පසුව විකාශය කෙරුණු අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩ්ගේ වීඩියෝ පටය හරහා එය තව තවත් තහවුරු විය. ඒ නිසා මෙය සියයට සියයක් අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකීමට හේතු තිබේ.

රෝ සංවිධානය විසින් පස්වතාවක් මේ පිළිබඳව ශ්‍රී ලංකාවට අනතුරු අඟවා සිටියත් ඒ ගැන තැකීමක් නොකිරීම නිසා මෙරට බලධාරීන්ට චෝදනා එල්ලවිය. ඒ නිසා මෙය දැන සිටි එකම පිරිස ලෙස අපි අපටම චෝදනා එල්ල කර ගනිමු. එහෙත් මීට අමතරව තවත් පිරිසක් දැන සිටි බව ඊශ්‍රායල බුද්ධි අංශයක් මාර්ගයෙන් පසුගියදා හෙළිදරව් කෙරිණි. ඒ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි රජය දැන සිටි බවය. ඒ සඳහා ඔවුන් යොදාගෙන තිබුණේ සෞදි විදේශ අමාත්‍යවරයා විසින් මෙරට තානාපති කාර්යාලය වෙත යොමු කළ ලිපියකි.

එම ලිපිය ආරම්භයේම සඳහන් කර ඇත්තේ ඒ ලිපියේ තොරතුරු ලබාගෙන එය සම්පූර්ණයෙන්ම මකා දමන ලෙසය. එසේ මැකීමේදී සියලු දත්ත ගබඩාවලින් එය විනාශ කර දමන ලෙසය. එම පණිවිඩයෙන් පසුව අදාළ ලිපියේ දැනුම් දී ඇත්තේ ඉදිරි දින කිහිපයේදී සෞදි තානාපති කාර්යාලයේ නිලධාරීන් සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයා යුතු බවත් ආරක්ෂාකාරීව සිටින ලෙසත්ය. එසේම අවශ්‍ය නම් තානාපති කාර්යාලය තුළ ඇඳිරි නීතිය පනවන ලෙසද දන්වා ඇත. විශේෂයෙන් සෙනඟ ගැවසෙන ස්ථාන වෙත නොයන ලෙස එම ලිපිය මගින් දන්වා තිබුණි.

අයි.එස්. සංවිධානයේ බිට්කොයින්ස් ගිණුම සෞදියේ පවත්වාගෙන යන අතර ඒ ගිණුමට ඩොලර් මිලියන 4.5ක මුදල් එදින වනවිට වැටුණු බවත් ඔවුන් හෙළිදරව් කර ඇත. එසේනම් සෞදි රජය මෙවැනි ලිපියක් යොමු කළේ ඇයිද? යන්න කාටත් ගැටලුවක් වී ඇත. එහෙත් මේ සියල්ල සිදුවී හමාර වීමෙන් පසුව සෞදි රජය එය ප්‍රතික්ෂේප කර ඇත. එය සම්බන්ධයෙන් සිදුකරන්නේ අසත්‍ය ප්‍රචාරයක් බවද දන්වා ඇත.

පාස්කු ප්‍රහාරය සහ කඩු හමුවීමේ සම්බන්ධය

පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ විසින් සිදුකරන ලබන පරීක්ෂණවලට අනුව එකදිගට කඩු රැසක් විවිධ ස්ථානවලින් සොයාගනු ලැබීය. කොල්ලුපිටිය ප්‍රදේශයේ පල්ලියකින් කඩු 38ක්ද පසුගියදා මාලිගාවත්තා ප්‍රදේශයේ පල්ලියක ළිඳේ තිබී කඩු 58ක්ද, තවත් පල්ලි රැසක තිබී කඩු කිණිසි පිහි රාශියක්ද සොයා ගැනීමට හැකිවිය. මේ පිහි සහ කඩු අයි.එස්. එකේම තවත් කොටසක් යැයි බොහෝදෙනා සිතුහ. එහෙත් පසුව සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වුණේ මහනුවර දිගන ප්‍රදේශයේදී ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුමට පසුව ඔවුන් එම ප්‍රහාර තම පල්ලිවලටත් එල්ලවනු ඇතැයි සැකයෙන් සූදානම් වී ඇති බවයි. විසි කැති ගෙන්වන මුවාවෙන් මෙම කඩු මෙරටට ආනයනය කර ඇති බවත් කියති. ඒ චීනයේ සිටය. එලෙස එකම වර්ගයෙන් ගෙනා කඩු සියල්ල තෝරාගත් මුස්ලිම් පල්ලි සඳහා ලබාදී ඇත. මීට අමතරව තවත් පිරිස් පිහි කිණිසි තබාගෙන ඇති අතර ඒ යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට බව සඳහන්ය.

ප්‍රහාරයට සූදානම් වූවන් සියල්ල අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සඳහා සූදානම් වූ පිරිස 12ක් බව සඳහන් වේ. එහි නායකයා සහරාන් ලෙස සඳහන් වූ අතර 21 වැනිදා සහරාන් සමඟ නවදෙනෙක් මරාගෙන මැරුණාහ. එම අටදෙනාට අමතරව තවත් හතර දෙනෙකු සිටි අතර ඔවුන් සිව් දෙනාගෙන් තිදෙනෙක්ද රහස් පොලීසිය මගින් කොටුකර ගනු ලැබූහ. එහෙත් වව්නියාවේ සෙට්ටිකුලමේ පදිංචි පට්ටානිචූර් පල්ලියේ භාරකරු මව්ලවිවරයා වන නවුමාන් නැමැත්තා පැනගත්තේය. ඔහු පැනගත්තේ මක්කම වන්දනාවේ යන බව දන්වාය. එසේ පැනගත් ඔහු එරට සිට වීඩියෝවකින් මේ ප්‍රහාරය ගැන හොඳ කියා තිබිණි. කෙසේ වෙතත් දැන් මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙන අතර ඔහු ඉස්ලාමීය රටකින් දේශපාලන ආරක්ෂාව ලබා ගැනීමට සූදානම් වන බව සඳහන් වේ.

සහරාන්ගෙන් පසුව නායකත්වය ගන්න සිටි පුද්ගලයාත් කොටුවෙයි

සහරාන් පාස්කු ප්‍රහාරයට පෙර මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමේදී ඔහුගේ මරණයෙන් පසුව දෙවැනි නායකයකුද බිහි කළේය. ඔහු රියැදුරකු වූ අතර සහරාන් ඔහුට පවසා ඇත්තේ තමන් මියගිය පසුව මෙම සටන ඉදිරියට රැගෙන යන ලෙසය. ඒ අනුව ඔහු සූදානම්ව සිට ඇත්තේ සහරාන් මියයාමෙන් පසුව නායකත්වය ගෙන දෙවැනි මෙහෙයුමට සූදානම් වන්නටය. එහෙත් ඔහුව සයින්දමර්දු ප්‍රදේශයේදී රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මේ වනවිට සියල්ල හෙළිකරමින් සිටින අතර ඒ තොරතුරු අනුව මේ වනවිට සියලු සැලසුම් කනපිට පෙරළී ඇත.

හම්බන්තොටින් පුහුණුව ලබයි

මරාගෙන මැරීම සඳහා දෙවැනි කණ්ඩායමක් සහ සන්නද්ධ හමුදාවක් සැකසීම සහරාන්ගේ හීනය වී ඇත. ඔහු ඒ සඳහා තෝරාගත්තේ හම්බන්තොට ප්‍රදේශයයි. ඒ සඳහා අවි පුහුණුව ලබාදී ඇත්තේ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නැමැති මඩකලපුව සියොන් දේවස්ථානයට ගොස් මරාගෙන මැරුණු පුද්ගලයාය. එසේම බෝම්බ සකස් කරන ආකාරය පිළිබඳව කියාදී ඇත්තේ කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ තැබූ මොහොමඩ් හස්තූන්ය. ඔහු මරාගෙන මැරෙන සියලු ඇඳුම් නිර්මාණය කර ඇති අතර ඒ සියල්ල පානදුර කෙසෙල්වත්ත නිවසේ සිදුකර ඇත. කෙසේ වෙතත් අදාළ බෝම්බ පරීක්ෂා කර ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ එම සංවිධානයට අයත් නිවසකදීය. ඒ අනුව එම නිවෙසද පොලිසිය සොයා ගත්තේය. එසේම පිරිස ලැගුම්ගත් නිවෙස ද වත්තල එඬේරමුල්ල ප්‍රදේශයෙන් සොයාගත් අතර එම නිවෙස දේශපාලඥයකුගේ සහෝදරියකගේ බව හෙළිවිය.

එකවර පළාත් නමයක ප්‍රහාර සැලසුමක්

මෙම පිරිස ප්‍රථමයෙන්ම සුදානම් වී ඇත්තේ එකවර පළාත් නවයක බෝම්බ පුපුරවා හැරීමට බවට තොරතුරු ඇත. එහෙත් ඊට විරුද්ධව එම සංවිධානයේම පිරිසක් කතාකර ඇත. එය අවසානයේ අදහස් ගැටුමකට ගොස් මාවනැල්ලේ බුදු පිළිම කඩාදැමූ පිරිස ඊට විරුද්ධව වී ඇත. පසුව එම පිරිස පවසා ඇත්තේ දෙවැනි ප්‍රහාරයකට සූදානමක් ගැනය. එහෙත් අවසානයේ සියලු දෙනා කොටුවූහ.

අබුබක්තාර් සහ අබු බරාගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවයි

මේ සියල්ල මෙහෙයවා ඇත්තේ අබුබක්තාර් සහ අබු බරා බව මේ වනවිට හෙළිවී ඇත. ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අනුව අබුබක්තාර් වන්නේ එහි නායක අෂෙයික්හ් සහ්රාන් හසීම්ය, අබු බරා වන්නේ මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්ය. ඔවුන් දෙදෙනා මිතුරන් වූ අතර දෙදෙනාම මෙම ප්‍රහාරයට සූදනම්ව සිට ඇත. ඔවුන් නිවාස හයක් කුලියට ලබාගෙන ඇත. ත්‍රීරෝද රථ දෙකක් සහ මෝටර් රථයක් දෙදෙනාගේ ගමන් සඳහා යොදාගෙන ඇත. සැලැස්ම සකස්කළ දෙදෙනා අවසානයේ ෂැංග්‍රිලා හෝටලයේදී මියගියහ. කෙසේ වෙතත් දෙදෙනා ගැන තහවුරු කර ගැනීම සඳහා වහාම දෙදෙනාගේ හිසෙන් ඩී.එන්.ඒ. වාර්තාවක් අධිකරණය විසින් කැඳවා ඇත. එසේම මොවුන් දෙදෙනාට ෂැංග්‍රිලා හෝටලයේ කාමරය ලබාගෙන ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ තැබූ වැඩිමහල් ඊබ්‍රහිම් බව හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත් මේ වනවිට මේ ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනා රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගියදා සතියේ මැද සහරාන්ගේ බිරිඳත් දියණියත් කොළඹ රැගෙන එනු ලැබූහ. සහරාන් කෙතරම් මානසික ලෙඩෙක්ද නැතහොත් තිරිසනෙකුටත් එහා ගිය අයකුද යන්න හෙළිවන්නේ ඔහුගේ දරුවාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේය. ඇයගෙන් පියා ගැන ඇසූ පසුව ඇය පවසා ඇත්තේ පියාගේ නම කීවොත් කනයි කටයි කපන බවට තම පියා වන සහරාන් විසින්ම කී බවය. ඒ නිසා ඇය තවමත් සිටින්නේ තම පියා වන සහරාන් නැමති ම්ලේච්ඡයාට බියෙන්ය.

මේ වනවිට හතරවටින්ම අත්අඩංගුවට ගැනෙන ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ බොහෝ දෙනා සිටින්නේ මුස්ලිම් සමාජය ගැන සැකයෙන්ය. එහෙත් ඒ සැකය කෙතරම් සාධාරණද යන්න කිව නොහැක. ඒ නිසා දැන් කළයුතු වන්නේ සියලුදෙනාගේම හිත් පිරිසිදු වන්නට මේ සැකය මකන්නට ඉස්ලාම් සියලුදෙනා එක්ව විවෘත වීමය. මෙතෙක් තම ආගමට නොගැලපෙන ව්‍යාජ ජීවිත වැළඳගත් අය ඉන් මුදවාලීමය. ඔවුන්ට යහමග පෙන්වීමය. එය කළ හැක්කේ අපට නොව මුස්ලිම් සමාජයම එක් වීමෙන් පමණි.

►ගයාන් ගාල්ලගේ