2019 මැයි 11 වන සෙනසුරාදා

සහ්රාන්ගේ කඳවුරු අල්ලාගත් මෙහෙයුම

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 339

තවුහිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරැවන් ඇතුළු ප්‍රබලයන් රැසක් කොටුකර ගැනීමට ආරක්ෂක අංශ මේ වනවිට සමත්ව සිටී. ආරක්ෂක අංශවල සූක්ෂම මෙහෙයුම් මගින් අන්තවාදීන්ගේ යුද පුහුණුව ඇතුළු විවිධ ක්‍රියාකාරම් සඳහා යොදාගත් බවට විශ්වාස කරන ස්ථාන ගණනාවක් හඳුනාගෙන සෝදිසි කිරීමේදී යුද උපකරණ, අවි ආයුධ, මුදල් ඇතුළු දේපොළ රැසක් අත්අඩංගුවට ගනු ලැබීය. තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බව කියන ස්ථානය හා පුහුණු කඳවුරක් බව කියන ස්ථානයක් මෙන්ම බෝම්බ තිප්පොළක් කොටුකර ගැනුණේ ඉකුත් සති අන්තයේදීය.

ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වශයෙන් පවත්වාගෙන යන්නට ඇතැයි විශ්වාස කරන සිව්මහල් ගොඩනැගිල්ලක් සහිත අක්කර 25ක පමණ විශාල ඉඩමක් වාලච්චේන, රිදීතැන්න, ඕමිනියාමඩු ප්‍රදේශයෙන් සොයාගන්නට සමත්ව තිබූ අතර ත්‍රස්තවාදී පුහුණු කඳවුරක් වශයෙන් යොදාගත් බවට සැකපිට නුවරඑළිය බ්ලැක්පුල් ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හළක් සහ පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ කැලෑවක රහසිගතව පවත්වාගෙන ගිය බෝම්බ නිෂ්පාදන ස්ථානයක් වැටලීමට ද ආරක්ෂක අංශ සමත් විය. 

පසුගිය 5-6 දෙදින සිදුකළ වැටලීම්වලදී මෙකී ස්ථාන හඳුනාගෙන තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වාලච්චේන පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමක් අතරතුර වාලච්චේන, රිදීතැන්න සුවිසල් ඉඩම හඳුනාගෙන තිබුණි. ත්‍රස්ත කණ්ඩායම විසින් මෙම ඉඩම විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම් පුහුණුව සඳහා යොදාගන්නට ඇතැයි ආරක්ෂක හමුදා අනුමාන කරයි. විශාල භූමි ප්‍රමාණයක් වූ මෙම පරිශ්‍රය තැනිතලා බිමකි. එහි තහඩුවලින් වටකරන ලද විශාල ප්‍රමාණයේ හරි හතරුස් සහ ඍජුකෝණාස්‍ර වැනි බිම්කොටස් රාශියක් මෙහි තිබී සොයාගෙන ඇත. එහි සඟවා තිබූ ජෙලග්නයිට් කූරු 231ක්, බෝම්බ සෑදීම සඳහා යොදාගන්නා නයිට්‍රේට් ඇසිඩ් ලීටර් 45ක් අඩංගු බූලියක්, යතුරුපැදියක් ඇතුළු භාණ්ඩ රාශියක් අතර බෝම්බ සැකසීම සඳහා යොදාගත් පී.වී.සී. බට කිහිපයක් ද අත්අඩංගුවට ගනු ලැබීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට දිනකට පසුව වාලච්චේන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සහ්රාන් හසීම් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් බව කියන කාදර් නැමැත්තෙකි. ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ලද අවසරයෙන් ඔහුගෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබූ අතර මෙම සුවිසල් ඉඩම පිළිබඳ තොරතුරු හෙළිකර තිබුණේ එහිදීය.

සහ්රාන් හසීම්ගේ ගෝලයා වන කාදර්ගේ ආරක්ෂාව යටතේ පැවති මෙම ඉඩම බදු පදනම යටතේ ලබාගෙන ඇති අතර එය මහවැලි අධිකාරියට අයත් එකකි. වගා බිමක් පවත්වාගෙන යන මුවාවෙන් ප්‍රදේශවාසීන් රවටා යුද පුහුණුව ලබාදීමට භාවිත කරන තිබූ ඉඩම පොලීසිය මැදිහත් වීමෙන් බැකෝ යන්ත්‍රයක් යොදා ස්ථාන කිහිපයක කැණීම් සිදුකරමින් පරීක්ෂා කළ අතර ඇසිඩ්, ජෙලට්නයිට් කූරු ඇතුළු භාණ්ඩ තොගය සොයාගෙන තිබුණේ ඒ අවස්ථාවේදීය. මහල් හතරකින් සමන්විත ගොඩනැගිල්ලක් එහි ඉදිකරමින් පැවතුණු අතර ඒ සඳහා රැගෙන ආ ගොඩනැගිලි ද්‍රව්‍ය භූමියේ තිබියදී හමුව තිබේ.

සැකකටයුතු ඉඩම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙළිකළ තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සෝදිසිය ආරම්භ කොට තිබුණි. එහිදී අනාවරණය වී තිබුණේ එම භූමිය ත්‍රස්ත පුහුණු කඳවුරක් වශයෙන් භාවිතයට ගැනීමේ සූදානමක් පැවති බවත් භූගත බංකර් සැකසීමේ සූදානමින් සිට ඇති බවත්ය.

පසුගිය දිනෙක අම්පාර කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අබ්දුල් හසීස් මොහොමදු රියසාන් නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට හමුදාව සමත් විය. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී නුවරඑළිය ප්‍රදේශයේ වයිට් හවුස් නැමැති ලැඟුම්හළක් සම්බන්ධයෙන් හෙළි කර ඇත. වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ තමා එම ස්ථානයට ගිය බවත් සහ්රාන් හසීම් නැමැත්තා විසින් පැවැත්වූ රහසිගත පන්තියකට එතැනදී සහභාගි වූ බවත්ය.

දින කිහිපයකට පෙර නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ දී ඩෙටනේටර් 198ක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබුණි. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා අම්පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අබ්දුල් හසීස් නුවරඑළියට කැඳවාගෙන එනු ලැබීය. පසුගිය 5 වැනිදා දිනය පුරාම සැකකරු සඳහන් කළ වයිට් හවුස් නැමැති ස්ථානයේ සෙවීම් කළද කිසිවක් හමුවී නොතිබිණි. නිලධාරීන් අනුමාන කළ ස්ථාන කිහිපයකට ගොස් එම ස්ථාන සැකකරුට පෙන්වමින් සිටියදී නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ කළුකැලේ ආසන්නයේ දී එම ස්ථානය හඳුනාගෙන ඇත. එය නුවරඑළිය, රුවන්එළිය, පල්ලිය පාරේ පිහිටි ස්ථානයකි.

දෙමහල් නිවසක් වූ එහි ඇතුළු වූ නිලධාරීහු නිවෙස සෝදිසියට ලක් කිරීමේ නිරත වූහ. සහ්රාන් හසීම් නැමැත්තා විසින් සැකකාර අබ්දුල් හසීස් ඇතුළු 35 දෙනකුට පමණ එම ස්ථානයේ දී දෙදින පුහුණුවක් ලබා දී තිබේ. එම දින දෙකේ දී නිවෙසේ ජනෙල් දොරවල් හා තිරරෙදි වසා දමා දේශන පවත්වා ඇති බවත් ටී-56 ගිනිඅවියක් ගලවා කොටස් කිරීම හා නැවත සවිකිරීම පුරැදු කළ බවද පවසා ඇත. පන්තියට සහභාගි වූවන් එකිනෙකා නාඳුනන බවත් එකිනෙකා සමඟ කතා කිරීම පවා සහ්රාන් විසින් තහනම් කර තිබූ බවත් සැකකරැ ප්‍රකාශ කර ඇත.

මෙම ලැඟුම්හළ Blur eye inn නමින් පැවති එකකි. එය නුවරඑළිය පදිංචි කාන්තාවක මගින් ගම්පොළ උඩහීන්තැන්න පදිංචි සුනිල් කුලරත්න නැමැත්තකු විසින් බදු පදනම මත ලබාගෙන තිබූ එකකි. අදාළ ලැඟුම්හල බදු පදනමට ගත් පුද්ගලයා රැඳවුම් නියෝග යටතේ තබාගෙන ප්‍රශ්න කිරීම සිදු කරයි. සැකකරුගේ ප්‍රකාශ හා විමර්ශන අනුව හෙළි වී ඇත්තේ එම ස්ථානයේ පුහුණුව ලද පිරිසෙන් කිහිප දෙනකු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. එමෙන්ම තව්හිද් ජමාත් සංවිධානයේ සැකකරැවන් පිරිසකගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිකළ තොරතුරුවලට අනුව පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ කැලෑ භූමියක් පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී දේශීය වශයෙන් නිෂ්පාදනය කළ බෝම්බ 150ක් පමණ සොයාගැනීමට සමත්ව ඇති අතර ඒවා පී.වී.සී. බට ආශ්‍රයෙන් නිපදවා තිබුණි. මේවාට සමාන බෝම්බයක් පසුගියදා කටුනායක ගුවන් තොටුපොළ මාර්ගයෙන් සහ අම්පාර රිදීතැන්න ප්‍රදේශයේ ත්‍රස්ත පුහුණු කඳවුරැ භූමියෙන් ද සොයාගැනිණ.
ආගමික අන්තවාදී ත්‍රස්ත සංවිධානයට එරෙහිව ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකරන වැටලීම්වලින් මෙම ඉඩම්, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් පවතී.

 සමන්ත ප්‍රදීප් විල්තෙර