2019 මැයි 11 වන සෙනසුරාදා

මධූෂ් හෙළිදරව්වකට සැරසෙයි!

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 25

මේ රටේ පහුගිය කාලය පුරාම කියවුණු එකම නමක් වූයේ මධූෂ්ය. ඔහු පසුගියදා හිටිඅඩියේම ලංකාවට සැපත් වුණේය. ඔහු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටීමට අභියාචනා ඉදිරිපත් කරමින් රටේ නැති ක්‍රමවේද භාවිතා කරමින් සිටියත් 9 වැනිදා නඩු වාරයට ප්‍රථම ලංකාවට ආපසු පටවනු ලැබීය.

මේ සඳහා සැබෑවටම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කෙරැණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස දවස් පහක ගනුදෙනුවකින් රහස් පොලීසියට මධූෂ්ව තම භාරයට ගැනීමට හැකිවිය. සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් යුත් කණ්ඩායමක් මීට සහභාගී විය. ඒ අනුව දැන් මධූෂ් ඩුබායිවල නැත. ඩුබායිවල සිටි මධූෂ්ට සිදුවූ දෙය එරට ජනතාවද දන්නේ නැත. එම මෙහෙයුම අප සම්පූර්ණයෙන් දැන සිටියත් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් හෙළි නොකළ යුතු නිසා ඒ පිළිබඳව නොලියා සිටීමට අකමැත්තෙන් වුවද අවනත වන්නට සිදුවනු ඇත. කෙසේ වෙතත් ඔහු ඩුබායි සිට රහස් පොලිස් නිලධාරීන් සමඟ පැමිණියේ සාමාන්‍ය මගියකු ලෙසය. එහෙත් මධූෂ් ඩුබායිවලින් දැන් අතුරුදන්ය.

මධූෂ් රුගත් ගුවන් යානය අලුයම 5ට පමණ කටුනායක ගුවන් තොටුපළට ළඟා විය. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරන ගුවන් යානයෙනි.

කෙසේ වෙතත් මධූෂ් පස්වැනිදා මෙරටට පැමිණෙන බව ඊට පසු දිනයේ සිටම මෙරට ආරක්ෂක අංශ දැන සිටි නිසා ගුවන් තොටුපළ ආරක්ෂාව දැඩිකර තිබුණේය. විශේෂ කාර්ය බලකාය, ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් ඒකකයේ පිරිස් ගුවන් තොටුපළේ රඳවා සිටියේ පවතින ආරක්ෂාවට අමතරව තවත් ආරක්ෂාව වැඩි කරමිනි. මධූෂ් ලංකාවට රැගෙන ආ සැණින් සියලු ආරක්ෂක අංශ ඔහුව සිය ආරක්ෂක වළල්ලට ගත් අතර ඉන් පසුව ඔහු ගුවන් තොටුපළ රහස් පොලිස් ඒකකයට රැගෙන එනු ලැබීය.

එහිදී ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කිරීම සහ මෙරට සිදුවූ දරුණු ගණයේ අපරාධ 28කට එරෙහිව ඔහු අත්අඩංගුවට ගත්තේය. මධූෂ් පෙනී සිටි ව්‍යාජ ගමන් බලපත්‍රයද රහස් පොලිස් බාරයට ගත්තේය. බිරාන්ත වී සිටි මධූෂ්ගේ ඡායාරෑප සහ වීඩියෝ පට රුසක් පිටවන්නේ මේ අවස්ථාවේදීය.

රහස් පොලීසිය පවසන ආකාරයට අහන දෙයට හැර වෙන කිසිදු ලෙසකින් මධූෂ් ප්‍රකාශයක් හෝ වචනයක් එළියට දැම්මේ නැත. තිගැස්සී සිටි මධූෂ් බලාගත් අත බලා සිටි බව නිලධාරීහු සඳහන් කළහ. පසුව එම ස්ථානයෙන් තවත් රහස් පොලීසියේ පොලිස් පරීක්ෂකවරයකුගෙන් යුත් කණ්ඩායමක් මධූෂ් බාරගත් අතර දහවල් මධූෂ් කොළඹ අපරාධ පරීක්ෂණ මූලස්ථානයට රුගෙන එනු ලැබීය. එසේ ගෙනා මධූෂ් එදා සිට මේ ලිපිය කියවන මොහොතේත් ඉන්පසුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගත් රුඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටියි.

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මධූෂ් ඩුබායි රාජ්‍යයේ පෙනී සිටියේ මෙරටදී හදාගත් ව්‍යාජ ගමන් බලපත්‍රයේ නම හරහාය. වර්ණකුලසූරිය අජිත් එරංග යන නමින් පෙනී සිටි මධූෂ් උපන් ස්ථානය ලෙස සඳහන් කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේය. එම ගුවන් බලපත්‍රය 2015 අප්‍රේල් 30 නිකුත් කර තිබිණි. එම බලපත්‍රයට අනුව 790516478 දරණ අංකය හැඳුනුම්පත් අංකය විය. රහස් පොලීසිය මේ වනවිට මෙකී බලපත්‍රය ලබාදුන්නේ කවුද යන්න සොයා බැලීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇත.

රහස් පොලීසිය වෙත රැගෙන ආ මධූෂ්ට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපදෙසක් දුන්නේය. එනම් ඇත්ත කියන ලෙසත් බොරු කියා අමාරුවේ නොවැටෙන ලෙසත්ය. එහිදී මධූෂ් ඔලුව වනා එය පිළිගෙන ඇති අතර ඕනෑම තොරතුරක් ලබාදීමට එකඟ වී ඇතැයි කියති. 

ඒ අනුව රහස් පොලීසිය හමුවේ දැනටමත් සුවච කීකරැ කුඩා දරැවකු ලෙස ඔහු ඇත්ත කියන්න පටන් ගෙන ඇත. කෙසේ වෙතත් මධූෂ් යනු පාවා දෙන්නකු බව පාතාලයේ ප්‍රසිද්ධ රහසකි. ඒ නිසා බොහෝ දෙනෙකුගේ නම් ගම් ඉදිරියේදී හෙළිවනු ඇතැයි ආරක්ෂක අංශයේ මෙන්ම පාතාලයේ අයද බලාපොරොත්තුවෙන් ඉන්නා දෙයකි.

ඒ අනුව මධූෂ්ගෙන් පසුව ඩුබායිහි සිටි සියලුදෙනාම මේ වනවිට මෙරටට පැමිණ සිටිති. ඒ සියලු දෙනාගෙන්ම රහස් පොලීසිය ප්‍රශ්න කර ඇත. එහෙත් මේ සියල්ලේ මොළකාරයා වූ මධූෂ් ආවේ අවසානයේය. ඒ නිසා ඔය කාටත් වඩා මධූෂ්ගේ කතාව වෙනස් වනු ඇත.

මධූෂ් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතර ඉහළින්ම තිබෙන පරීක්ෂණ කීපයකි. එනම් කළුතර එතනමඬල ප්‍රදේශයේදී කඩුවෙල සමයං ඇතුළු බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බස්‍් රථයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය, මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු නිලධාරින් පිරිසකට වෙඩිතබා එක් නිලධාරියකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය, කොස්මල්ලි නැමැති පාතාලයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය, පොලිස් නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම, කෝටි ගණනක දියමන්තිය කොල්ලකෑම, කිලෝ ගණනක හෙරෝයින් මෙරටට රුගෙන ඒම ඇතුළු චෝදනා රුසක් මධූෂ්ට එරෙහිව ගොනු වී ඇත.

රහස් පොලිස් ආරංචි මාර්ගවලට අනුව මධූෂ් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කළ පොලිස් ස්ථාන ඒවා නිසිලෙස සිදුනොකර, ඇති බව සඳහන් වේ. ඇතැම් අපරාධ සඳහා සාක්ෂි මග හැර ඇති බවත් එම නිලධාරීහු පවසති. ඒ ඇතැම් විට මධූෂ්ට සහයෝගය දැක්වීමේ අරමුණෙනි. එසේත් නැතිනම් මධූෂ්ට බියෙනි. ඒ නිසා බොහොමයක් අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ මුලසිට ආරම්භ කිරීමට සිදුවී ඇත.

එසේ පරීක්ෂණ ආරම්භ කිරීමේදී යම් ආකාරයකින් පොලිස් නිලධාරින් සම්බන්ධ වී තිබුණහොත් ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වන බවද රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ අතර මධූෂ් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේද ඇති නිසා ඔහුව ඉදිරියේදී එම පරීක්ෂණ සඳහාද ලබාදෙන බවද රහස් පොලිස් නිලධාරීහු සඳහන් කරති.

මේ අතර මධූෂ් ලංකාවට පැමිණීමත් සමඟ මධූෂ්ගේ ගෝලයන් ආයුධ සඟවා තමන්ද සැඟවී සිටින බව සඳහන් වේ. ඔවුන් මෙලෙස සැඟවී ඇත්තේ එම ආයුධ මධූෂ් විසින් කුලියට ලබදුන් ඒවා නිසා ඒ ගැන හෙළිදරව් වෙතැයි බියෙනි. මේ නිසා ඔවුන් සතු ආයුධ මගහැර වෙනත් ප්‍රදේශයන් වෙත පදිංචියට ගොස් ඇත. ඒ පිළිබඳව බුද්ධි අංශ වෙත පවා තොරතුරැ ලැබී ඇත.

මේ අතර මෙතෙක් මධූෂ් වෙනුවෙන් හෙරොයින් ලබාදුන් පාකිස්ථානය සිය ගනුදෙනු අතහැර දමා අන්නාසි මොරිල් සමඟ ගනුදෙනු ආරම්භ කර ඇත. එහෙත් ඊට වෙලේ සුදා විරැද්ධ වී ඇති අතර සුදා පාකිස්තාන් කුඩු මොරිල්‍ට නොදෙන ලෙසත් දන්වා ඇත. එහෙත් ඉදිරියේදී මොරිල් මෙම හෙරෝයින් ජාලය අතට ගැනීමත් සමඟ මොරිල්ට විරැද්ධව සුදාත් මධූෂුත් අත්අඩංගුවේ සිටිමින් හෝ අවි අමෝරනු ඇත. ඒ එකම ගොඩනැගිල්ලේ දෙපැත්තකට වෙලාය. එපමණක් නොව අද තපස් රකින් මධූෂ් හෙට දිනයේ බන්ධනාගර ගතවුවහොත් බොහෝ දෙනකුට මරණ වරෙන්තු නිකුත් වනු ඇත. ඒ නිසා මධූෂ්ගෙන් සියලු දේ වමාරා ගැනීම පොලීසියේ වගකීමකි. මධූෂ්ගෙ පරම්පරාවම කොටු කරගන්නා තෙක් මධූෂ්ගේ වැඩ අවසන් නොවනු ඇත.

 ගයාන් ගාල්ලගේ

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30