2019 මැයි 11 වන සෙනසුරාදා

ආණ්ඩුවයි විපක්ෂයයි ගහගන්නා ප්‍රති ත්‍රස්ත පනත

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 9

ත්‍රස්ත බියෙන් ඇළලී ගිය රටක ජනතාවට ප්‍රති ත්‍රස්ත පනත උභතෝකෝටියකි. කලක සිට දේශපාලන මඩ ගොහොරුවේ පල්වෙමින් තිබූ තේමාවක් වන ප්‍රති ත්‍රස්ත පනත මෙවර කරළියට ගෙන ආවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තරයට කීවේ මෙරට ත්‍රස්තවාදය මඬින්නට පවතින නීති ප්‍රමාණවත් නැති බවයි. පසුව එම කතාව දේශපාලන කරළිය ගිනියම් කරන විට ඊළඟ පියවර තැබූ අග්‍රාමාත්‍යවරයා ප්‍රති ත්‍රස්ත පනතේ අවශ්‍යතාව පෙන්වා දෙන්නට විය. ඒ අනුව ප්‍රති ත්‍රස්ත පනත මෙරට දේශපාලන පිටියේ හොඳම පන්දුව වී හමාරය. දැන් ඊට වැරෙන් පහර දෙන්නෝ ද තදින් දමා ගසන්නෝද බොහෝ වෙති.

වර්තමාන තත්ත්වය එසේ වනවිට මෙම පනතේ ඉතිහාස කතාවද හාර අවුස්සන ඔබට කීම අපේ යුතුකමය. ප්‍රති ත්‍රස්ත පනත යනු 1978 දී සම්මත කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන පනතකි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තිබෙන්නේ කුප්‍රකට ඉතිහාසයකි. පුද්ගලයන් පැහැර ගැනීම, චෝදනා ඉදිරිපත් නොකොට පුද්ගලයන් දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ තබාගැනීම, වධහිංසා පැමිණවීම සහ ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහි වෙනස්කොට සැලකීම ආදීයට මෙය භාවිත වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එසේම LTTE ත්‍රස්තවාදය මෙරටින් මුලින් උපුටා දැමීමට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සාධනීය ලෙස උපකාරී වූ බවද සත්‍යයකි.

කාලාන්තරයක් පුරාවට මෙම පනත අහෝසි කළ යුතුය යන මතවාදය ලාංකීය දේශපාලනය තුළ විය. වෘත්තීය සමිතිවල, දමිළ සමාජය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද මීට දැඩි ලෙස විරෝධය පෑහ. එම සියලු විරෝධයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන ආණ්ඩුව කරන නොපනත්කම් දුටුවිට අවස්ථානුකූලව මතුව ආ ඒවාය. එහෙත් එම සංවාද ප්‍රබල නොවීමට හේතුවූයේ මෙරට 1979 පටන් 2009 දක්වා පැවති සමාජ දේශපාලන තත්ත්වය හා සන්නද්ධ අරගලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මුල්කාලීනව මීට සාම්ප්‍රදායිකව විරෝධයක් පෑ අතර 1994 බලයට පත්වීමෙන් පසු මෙම පනතේ අවශ්‍යතාව ඔවුන් පෙන්වා දෙන්නට වූයේ කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතු කොටගෙනය.

2009දී යුද්ධ අවසන් වීමත් සමඟ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ජාත්‍යන්තර විරෝධයද එල්ල වන්නට විය. මෙරට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ කිහිපදෙනෙක්ම මෙම පනත හරහා රජය අත්තනෝමතික බලයක් භුක්ති විඳින බවට චෝදනා එල්ල කළහ. 2015 ඇමරිකා එක්සත් ජනපදය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් 30/1 යෝජනාවේදී මෙම පනත අහෝසි කළයුතු බවටත් විකල්ප පනත් ගෙන ආයුතු බවටත් අවධාරණය කෙරිණි. යහපාලන රජය මෙම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම ප්‍රතිඥාවක් දීමක් හා සමාන විය.

ඉතිහාසය එසේ වෙද්දී අපි වර්තමානය දෙසට හැරෙමු. ප්‍රති ත්‍රස්ත පනතට ගෝනිබිල්ලෝ මවන්නන් ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නෝ බවත් නීති රාමුව ශක්තිමත් කරමින් එකමුතුව අත්වැල් බැඳගෙන ත්‍රස්තවාදයට මුහුණ දිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පසුගිය 08දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ පැනයකට පිළිතුරැ දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

පසුගියදා සිදුවූ ප්‍රහාර මාලාවෙන් අනතුරැව කිහිපවාරයක්ම ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවත් ජනතාවත් දැනුවත් කිරීමට මා පියවර ගත්තා. එසේම ඊයේ දිනයේ මේ පිළිබඳව සවිස්තරාත්මක ප්‍රකාශයක් මා පාර්ලිමේන්තුවේදී සිදුකළා. පොලිස්පතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වාර්තා සභාගත කිරීමටත් කටයුතු කළා.

විශේෂයෙන්ම 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පහරදීමත් 2005 ජූලි 07 වැනිදා ලන්ඩන් බෝම්බ සිද්ධියත් ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලපෑවා. 2000 වර්ෂයේ පනවන ලද ත්‍රස්ත පනත පළමුවැනි වතාවට ත්‍රස්තවාදය යන්නට පුළුල් අර්ථකථනයක් ලබාදුන්නා. 2001 සැප්තැම්බර් 11 සිදුවීමෙන් පසුව 2001 වසරේ එක්සත් රාජධානියේ ප්‍රතිත්‍රස්ත, අපරාධ හා ආරක්ෂක පනත සම්මත කළා. 2006 ත්‍රස්තවාදී පනත 2005 ජූලි 07 ලන්ඩන් බෝම්බ සිද්ධියෙන් පසුව ත්‍රස්තවාදී කටයුතු වීරකම් ලෙස හුවා දැක්වීම වරදක් බවට නීති සකස් කළා. ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරෑපණ කිහිප වතාවක් සංශෝධනයන්ට ලක්වී තිබෙනවා.

මෙම ප්‍රකාශ කෙසේ වෙතත් ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමට 2015 සිට දැරෑ උත්සාහය ව්‍යර්ථ වූ බව කිවයුතුමය. මෙම උත්සාහය විපක්ෂය හඳුන්වන්නේ කල දුටු කළ වළ ඉහ ගැනීමේ උත්සාහයක් ලෙසටය. කෙසේ වෙතත් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු නීතිපති හමුදා ප්‍රධානීන් දැනට ත්‍රස්තවාදය මර්දන ප්‍රති ත්‍රස්ත පනත අවශ්‍ය නොවන බව පෙන්වාදී තිබේ. නව පනතේ අන්තර්ගතය සම්බන්ධ වන විවේචන රැසකි. එයින් කිහිපයක් අප සලකා බැලිය යුතුය.

පසුගිය සමයේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ සම්බන්ධ එල්ල කළ චෝදනාව හරහා නව පනත පිළිබඳ ප්‍රබල විවේචනයක් දක්වා තිබේ. ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාවේ ලබාදී ඇති මූලික අයිතිවාසිකම් ඉවත්වන බව ඔහු ප්‍රකාශ කර තිබිණි. එහිදී තවදුරටත් මෙසේ පැහැදිලි කර තිබුණේය.

84 වගන්තිය යටතේ තහනම් ස්ථානවලට නියෝග නිකුත් කිරීමේ බලය දක්වා තිබෙනවා. ඒ අනුව ඇතුළුවීම තහනම් ස්ථාන ඡායාරෑප ගැනීම, වීඩියෝ ගත කිරීම හා දළ සටහන් සකස් කිරීම තහනම් වෙනවා. මේ නිසා ඉදිරියේදී ගවේෂණාත්මක වැඩසටහන් හා ලිපි ලිවීම නවත්වාවි. ^91 වගන්තිය ඉතාමත් භයානකයි. යම් වරදක් පුද්ගල මණ්ඩලයක් විසින් සිදුකළ විට වගකිවයුතු සෑම පුද්ගලයෙක්ම වරදට වගකිවයුතු වෙනවා. ^95 වැනි වගන්තියෙන් කියැවෙන්නේ වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සඳහන් වුවද එය නොතකා මේ පනතේ විධි විධාන බල පැවැත්වෙන බවයි. වෙනත් පනතක් සමග ගැටෙන විටත් මේ පනත ක්‍රියාත්මක වෙනවා. අනිත් පනත් ඉවත්වෙලා මේ පනත බලාත්මක වෙනවා. මේ පනතේ ත්‍රස්තවාදීන්ට පුදුම දයාවක් වරප්‍රසාදයක් ලබා දෙනවා මෙහි උපලේඛණ තුළින්, 2 වැනි උපලේඛණයේ සිරභාරයට ගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට කරනු ලබන දැනුම්දීම. වෙනත් කිසිම පුද්ගලයකුට එහෙම දෙයක් නෑ. වහාම ඒ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මානව හිමිකම් කොමිසමට දැනුම් දෙන්න ඕන.

මේ අතර පසුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධව පුළුල් අධ්‍යයනයක් සහ විමර්ශනයක් කිරීමට ඉඩ සැලසෙන සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා ඇත. එහිදී තවදුරටත් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් ජන සමාජයේ සෑම අංශයකින්ම විරෝධය එල්ල වෙමින් පවතින බවයි.

මෙම සංවාදයේ තවත් බොහෝ පාර්ශවකරැවෝ සිටිති. එනිසාම මෙය තවදුරටත් සංවාදයට ලක්විය යුතුමය. කෙසේ නමුත් අවසානයේදී අපට පෙන්වා දීමට ඇත්තේ ප්‍රති-ත්‍රස්ත පනත දේශපාලන හෝ ජාත්‍යන්තර අවශ්‍යතා මත නොව රටේ අවශ්‍ය මත ගෙන ආ යුතු බවයි. දැන් පවතින පනතේ අත්තනෝමතික බව සැබෑවකි. එහෙත් අප ඉඟුරු දී මිරිස් ගතයුතුද යන්න සැබෑම ප්‍රශ්නයයි.

 චමිඳු නිසල්

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30