2019 මැයි 11 වන සෙනසුරාදා

සහ්රාන් තවමත් ජීවතුන් අතර?

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

අප්‍රේල් 21 ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු හා මහමොළකරු වශයෙන් සැලකෙන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහ්රාන් නොහොත් සහ්රාන් කාසිම් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ ජීවිතක්ෂයට පත්වූවේද නැතිනම් තවමත් රහසේ ජීවත්වන්නේද ගැටලුවකි. ජාතික තව්හිද් ජමාත් (NTJ) සංවිධානයේ දේශීය නායකයා බව පැවසෙන සැකකරු සිය ත්‍රස්ත සංවිධානයේ පළමු ප්‍රහාරයේදීම මියයන්නට ඇතැයි විශ්වාස කිරීම අපහසු බව ඇතැම් ආරක්ෂක නිලධාරීන්ගේ මතයයි.

ජාතික තව්හිද් ජමාත් නැමැති ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ නායක සහ්රාන් ජීවිතක්ෂයට පත්වූයේ නම් නිසැක වශයෙන්ම සංවිධානය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙනත් නායකයකු නම්කොට තිබිය යුතුය. සහ්රාන්ගේ අනුගාමිකයන් රුසක් සොයාගෙන සිටියද මේ වනතෙක් එවැනි තොරතුරක් අනාවරණය වී නොමැත.

කෙසේ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරැව සිදුකෙරැණු විමර්ශනවලින් සහ්රාන් නැමැත්තා මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයිද කියයි. එහෙත් ඒ බව අනාවරණය කෙරෙන නිශ්චිත සඳහනක් නැත. මේ නිසා සහ්රාන් පිළිබඳ දෙගිඩියාව නිශ්චිතවම තහවුරැ කරගත හැක්කේ ඩී.එන්.ඒ. පරීක්ෂාවකින් අනතුරැවය. ඒ සඳහා අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂාවකට යොමුකරන ලෙස උසාවි නියෝගයක් පසුගියදා ලබාදී තිබුණි.

සමන්තුරේ සයින්දමරැදු නිවසේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරැවා ගැනීමෙන් පසුව තුවාල සහිතව අම්පාර රෝහලට ඇතුළත් කෙරැණු දැරියගේ පියා සහ්රාන් බවට අනාවරණය විය. එබැවින් එම දැරියගේ ඩී.එන්.ඒ. සහ්රාන්ගේ ඩී.එන්.ඒ. සමග සැසඳීමට නියමිතය. එමෙන්ම සහ්රාන්ගේ සහෝදරිය බව කියන කාන්තාවකද අත්අඩංගුවට පත්ව සිටී. ඇයගේ ඩී.එන්.ඒ. මෙන්ම පෙරකී නිවසේදී මියගිය සහ්රාන්ගේ සොහොයුරන් දෙන්නාගේ ඩී.එන්.ඒ. දියණියගේ ඩී.එන්.ඒ. හා එකිනෙක සසඳා බැලීමෙන් අනතුරැව සහ්රාන් මියගොස් ඇතිද යන්න නිශ්චිතව අනාවරණය කරගත හැකිය.

පොලිස් විමර්ශනවලදී සහ්රාන් මියගොස් ඇතැයි අනාවරණය වන බවට ප්‍රකාශ කර ඇතත් බුද්ධි අංශ තවමත් සැකපහළ කරන්නේ සැකකාර සහ්රාන් බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් නැති බවය. බුද්ධි අංශ වාර්තාවලට අනුව සඳහන් වන්නේ මොහොමඩ් සහ්රාන් නැමැත්තා ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයට සහභාගී වන්නට ඇති බවය. එහෙත් ඔවුන්ගේ උපකල්පනය වන්නේ සැකකරැ බෝම්බයත් සමඟ දිවි නසා නොගන්නට ඇති බවය. එසේ වී නම් බුද්ධි අංශ සැකකරන්නේ සැකකරැ කාල බෝම්බයක් රුගෙන එන්නට ඇති බව සහ ඒ සඳහා දුරස්ථ පාලකයක් භාවිත කරන්නට ඇති බවටය.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ දේශීය නායකයා මෙන්ම නිර්මාතෘ බවට හඳුනාගෙන තිබෙන සැකකරු අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සහයෝගය ලබාගෙන තිබෙන බව පැහැදිලිය. එතැනින් නොනැවතුණු සහ්රාන් ඔහුගේ කණ්ඩායමට අනුගාමිකයන් රුස් කිරීම, අරමුදල් එකතු කිරීම, දේපල සහ ඉඩම් මිලට ගැනීම, අනුගාමිකයන් සඳහා දේශන පැවැත්වීම අවි පුහුණුව හා යුද පුහුණුව ලබාදීම මෙන්ම මරාගෙන මැරෙන බෝම්බකරැවන් පුහුණු කිරීම සාර්ථකව සිදුකර ඇති බවට සාධක තිබේ. 

ඉස්ලාම් ආගමික ත්‍රස්ත සංවිධානයක් බිහිකරගෙන ඒ සඳහා කැපවී සිටි සහ්රාන් මියගියේ නම් සංවිධානයේ අනාගතය පිළිබඳව ගැටලුවක් මතුවේ. පවතින අර්බුදය හමුවේ සහ්රාන් හෂීම්ගේ ඡායාරූපවල මුල් පිටපත් සහ ෂැන්ග්‍රිලා හෝටලයේ ප්‍රහාරයට පැමිණි බව කියන සැකකරැ අතර පවතින සමාන අසමානකම් හඳුනා ගැනීමට බුද්ධි අංශ වෙහෙසෙමින් සිටී. කෙසේ වෙතත් රහසිගතව හා උපක්‍රමශීලීව ගොඩනගාගෙන ඇති ත්‍රස්ත සංවිධානයේ දෙවැනි පෙළ නායකත්වයක්ද නම්කර ඇති බවට තොරතුරැ ඇත. එවැනි තත්ත්වයක මෙකී ත්‍රස්ත සංවිධානය අතරමැද නවත්වා සහ්රාන් සියදිවි නසා ගත් බව විශ්වාස කරන්නට ආරක්ෂක අංශ ඉක්මන් වන්නේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව තුළදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට සහ කිංස්බරි හෝටලයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් හඳුනාගෙන අවසන්ය. සහ්රාන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂාව සිදුකිරීමට අමතරව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරයට පැමිණි මියගිය මොහොමඩ් ඉන්සාෆ් අහමඩ්ගේ ඩී.එන්.ඒ. ඔහුගේ මවගේ රැධිරය හා සැසඳීමටත් කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසම් නැමැත්තාගේ ඩී.එන්.ඒ. ඔහුගේ දියණියගේ ඩී.එන්.ඒ. හා සැසඳීමටත් අධිකරණය නියෝග කර ඇත.

තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රධානියා බවට සැකකරන සහ්රාන්ගේ බිරියත් අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන්නීය. ඇය ප්‍රකාශ කර ඇත්තේ සෞදි අරාබියේ සිට පැමිණි නවුෆර් මව්ලවී නැමැත්තා විසින් සහ්රාන් සංවිධානයට බඳවාගත් බවය. ඔහු අරාබියේ සිට වරින්වරට ලංකාවට පැමිණ ඇති බවත් ඔහුගේ උපදෙස් අනුව සහ්රාන් ක්‍රියාකර ඇති බවත් ඇය ප්‍රකාශ කර තිබේ. මේ අනුව සහ්රාන් නැමැත්තා දේශීය වශයෙන් නායකත්වය දරන්නට ඇති බවත් නවුෆර් මව්ලවී ත්‍රස්ත සංවිධානයේ නායක හෝ ප්‍රබල සංවිධානයක ඒජන්තවරයකු බවටත් සැකකළ හැකිය.

සහ්රාන් පිළිබඳ විවිධ මාධ්‍ය වාර්තා පළවී ඇතත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ කරුණු හා ලද විවිධ තොරතුරු සී.සී.ටී.වී. දර්ශන අනුව සිදුකළ විමර්ශන වලින් සහ්රාන් මියගොස් ඇති බවට අනාවරණය වන බව පොලීසියේ අදහසයි.
ඩී.එන්.ඒ. පරීක්ෂාව සිදුකිරීමෙන් අනතුරුව අදාළ දෙගිඩියාව විසඳෙනු ඇති බවත් යම් හෙයකින් ඩී.එන්.ඒ. පරීක්ෂණය අසාර්ථක නම් සහ්රාන් පිළිබඳ විමර්ශන නවතම මාර්ගයකට හැරෙනු ඇත.

 සමන්ත ප්‍රදීප් විල්තෙර