2019 මැයි 11 වන සෙනසුරාදා

හිටිහැටියේ නැග්ගූ සතොස බඩු මිල

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 13

අද රටේ දුප්පත් ජනතාව දුෂ්කර ජීවිතයකට වගකියන බව ප්‍රායෝගික වූ යථාර්ථයයි. මාසයේ අන්තිමට පොකැට්ටුවට එකතුවන සල්ලි කොළ ගණන වැඩි නොවුණත් ලුණු කැටයේ ලූනුබිකේ සිට හාල් පොල් තුනපහ, කී නොකී සියල්ලේම පාහේ මිල දෙතුන් ගුණයකින් ගොස් තිබෙන වාතාවරණයක් තුළ යන්තමින් ව්‍යංජනයක් දෙකක් සමඟ බත් ටිකක්, පාන් කාලක් සමඟ පරිප්පුවක්, වතුරේ සාරෙට කිරි පෙන්වූ කිරි වීදුරුවක් හෝ බීම උභතෝටික ගැටලුවක් බවට පත්වී තිබේ.

කශේරුකාව තුදුස්වක ගැසෙන තුරැ ජීවන බර උසුලන ජනතාවට රජයේ කතා බොහොමයක් ඇසීමෙන් එපා වී සිටි සමයක කතරට වැහි බිඳක් සේ දැනුණු පුවතක් වූයේ පාලන මිලට බඩු දෙන්නම් යන පුවතයි. එහෙත් එම පාලන මිලට අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලට ගැනීමට ජනතාවට තිබූ සුපිරි වෙළෙඳසලක් වූ ලක් සතොස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ නියමය පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පසුගිය සතිය වනවිට රුපියල් 155ක්ව පැවති අර්තාපල් කිලෝවක මිල රුපියල් 220ක් දක්වා රුපියල් 65කින් පමණ වැඩිකර ඇත. ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 10කින් පමණ ඉහළ ගොස් තිබේ.

භාණ්ඩ වර්ග කිහිපයකටම පාලන මිලක් හඳුන්වා දී මේ වනවිට වසරකට වැඩි කාලයක් ගත වී ඇත. ලංකා සතොස ඇතුළු තවත් සුපිරි වෙළෙඳසල්වල පමණක් ඒ කාලය තුළදී පාලන මිලට භාණ්ඩ අලෙවි කරනවා යැයි පවසමින් පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් ලක් සතොස ඇතුළු එවැනි වෙළෙඳ සංකීර්ණ වෙත ඇදී ආහ. එහෙත් හිටිහැටියේම ලක් සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ දැමීම නිසා බොහෝ පාරිභෝගිකයන් මේ වනවිට පසුවන්නේ උභතෝටික ප්‍රශ්නයකට මැදිවය.
සතොස මිල එලෙසින් ඉහළ ගිය ද පිටකොටුවේ තොග වෙළෙඳසල්හි එම මිල ගණන්වල වෙනසක් සිදුවී තිබුණේ නැත. එම භාණ්ඩවල මිල ගණන් සහ තොරතුරැ සොයා අපි පිටකොටුවේ වෙළෙඳපොළ සංචාරයක නිරත වූයෙමු.

පත්මනාදන්

බඩු මිලෙහි කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. ඒ වුණාට වෙනදාට වඩා බිස්නස්වල අඩුවක් පේන්න තියෙනවා. සති තුනකට විතර කලින් එල්ල වුණු ප්‍රහාරයෙන් පස්සෙ බිස්නස්වල අඩුවක් තියෙනවා. ඒ වගේම පසුගිය කාලයේ මේ තත්ත්වය සමඟ වරායෙන් බඩු ගෙන්වන එකේ පොඩි ගැටලුවක් තිබුණා. නමුත් එය මේ වනවිට යථා තත්ත්වයට පත්වෙලා තියෙනවා. අපි භාණ්ඩවල මිල වැඩි කිරීමක් සිදුකරලා නැහැ. නමුත් බිස්නස්වල අඩුවක් තියෙනවා. ඒක කොයි කාලය වගේ වනවිට හරියයිද කියන්න අපි දන්නෙ නැහැ. අපි අපේ ගාණට තමයි බඩු දෙන්නෙ.

ඇන්ටන්

බඩුවල මිල වැඩි කරන්න කිසිම වුවමනාවක් අපිට නැහැ. මේ තත්ත්වයෙන් මේ මිල ගණන් තියෙද්දිත් මෙහෙම බිස්නස් නැහැ කියන්නෙ මිල වැඩි කිරීමක් සිදුකළොත් මෙහෙමවත් බිස්නස් එකක් කරන්න බැහැ. සතොසෙ මිල වැඩිද කියන්න අපි දන්නෙ නැහැ. ඒ වුණාට අපේ මිල වැඩි කිරීමක් සිදුවෙලා නැහැ. හැබැයි මේ සිදුවීම්වලින් පස්සෙ බිස්නස් එක හොඳටම බැහැලා තියෙනවා. මේ කවුරුවත් ඉන්න වෙළෙන්දන්ට ගෝල පඩි බේරලා එදිනෙදා කටයුතු කරගන්න තත්ත්වයක් නැහැ. ඒ තරමටම බිස්නස් එක වැටිලා තියෙන්නෙ. එහෙම බිස්නස් වැටිලා තියෙන වෙලාවක මිල වැඩි කරනවා කියන්නෙ මේ තියෙන වෙළෙදාමත් කරගන්න බැහැ. ඒ වගේම මේ තත්ත්වය දැන්ම හරියයි කියලා අපිට විශ්වාසයක් තියන්න බැහැ.

ප්‍රකාශ්

මිල වැඩි කිරීමක් කරන්න තියා හරියට බිස්නස් එක කරගන්නවත් කිසිම විදියක් නැතුව තමයි අපි ඉන්නෙ. තවම හරියට වෙළෙඳාමක් කරගන්න බැරිවෙලා තියෙනවා. ඇතැම් පාරිභෝගික ජනතාව හොඳම මිලක් තියෙන්නෙ ඔය කියන සුපිරි වෙළෙඳසල්වල කියලා ඒවාට තමයි ගියෙ. ඒ වුණාට අද මොකද වෙලා තියෙන්නෙ? ජනතාවට කියන්නෙ නැතුව බඩු මිල වැඩි කරලා. අපි බඩු මිල වැඩි කළත් කිසිම වෙලාවක ඉතා විශාල මුදලකින් වැඩි කරන්නෙ නැහැ. මේ ගෙනාපු බඩු විකුණුනේ නැත්තම් අපි පාඩු කරගෙන හරි අපේ මිලට තමයි බඩු විකුණන්නෙ. තියෙන විශාලම ප්‍රශ්නය තමයි මේ බඩු අලෙවි කරගන්න පාරිභෝගිකයන් පැමිණෙන්නෙ නැති එක. පාරිභෝගිකයන් එනවා නම් බිස්නස්වල ප්‍රශ්නයක් නැහැ.
වීරසිංහ 

සුපිරි වෙළෙඳසල්වල මිල වෙනසක් සිදුවෙලා තියෙනවද කියන්න අපි දන්නෙ නැහැ. නමුත් ඒ වුණාට මිල වැඩි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මේ අවස්ථාවෙ තාම හරියට බිස්නස් එකක් කරගන්න බැහැ. බිස්නස්වල අඩුව තමයි අපිට තියෙන ප්‍රශ්නය. මොකද, මේ බිස්නස් මෙච්චර කාලෙකට වැටිලා තිබුණෙ නැහැ. කොහොම හරි අපි මේ සියල්ල කරගෙන ගියා. නමුත් දැන් බිස්නස් නැති එක තමයි අපිට තියෙන විශාලම ප්‍රශ්නය. එහෙම නැතුව කිසිම ප්‍රශ්නයක් මේ වනවිට අපිට නැහැ. හිතුමතේ බඩුවල ගණන් වැඩි කරලා ජනතාව අපහසුතාවයට පත් කරන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.

තීබන්

අපි අපේ බඩු මිල වැඩි කරලා නැහැ. පෙර පරිදිම තවමත් අපි හැමෝම අලෙවි කළ මිලටම තමයි බඩු විකුණන්නෙ. සතොසෙ මිල වැඩි වීමක් වෙලා තියෙනවද කියන එක අපි හරියටම දන්නෙ නැහැ. ඒ වුණාට අපි භාණ්ඩවල මිල වැඩි කිරීමක් කරලා නැහැ. එහෙම කරන්න බලාපොරොත්තුවක් ඇත්තෙත් නැහැ. බිස්නස් කරන එක තමයි අපිට තියෙන විශාල ප්‍රශ්නය වෙලා තියෙන්නෙ. මේ බිස්නස් හරි ගියා නම් පාරිභෝගිකයන් එනවා නම් අපිට වෙන ප්‍රශ්න නැහැ. කොහොමත් අපි එකපාරටම මිල වැඩි කිරීම් සිදුකරන්නෙ නැහැ.

පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ

&2019 අප්‍රේල් 04 වැනි දින ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකළ අතර මේ වනවිට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිකර තියෙනවා. සතොස ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ජනතාවට සහනදායී ලෙස භාණ්ඩ අලෙවි කිරීමයි. එහෙත් එම අරමුණ ඉවත දමමින් මේ වනවිට ලංකා සතොස කටයුතු කිරීම නිසා රට පුරා පාරිභෝගිකයන් පීඩාවට පත්ව සිටිනවා. රටේ උද්ගත වී ඇති හදිසි තත්ත්වය සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් වැඩි වී තිබියදී ලංකා සතොසත් මිල වැඩි කිරීමෙන් පාරිභෝගිකයන් කබලෙන් ලිපට වැටිලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා රජය මේ වනවිටත් කිසිදු වැඩපිළිවෙළක් ආරම්භ කර නැහැ. පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා ලංකා සතොස ආයතනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා

 සටහන - හසිත් අංජන
      සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30