2019 මැයි 11 වන සෙනසුරාදා

ජාතික ආරක්ෂක දේශපාලන පක්ෂයකට අයත් නැත!

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 15

පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සමාජයේ සෑම තරාතිරමක අය ප්‍රශ්න කරති. ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇත්තේ විශ්වාසයට වඩා අවිශ්වාසයේ සළකුණුය. රජයේ ඇතැමුන් සහ ආරක්ෂක අංශ එකිනෙකට පටහැනිව නිකුත් කරන මාධ්‍ය වාර්තා සහ අසන්නට ලැබෙන විවිධ ප්‍රවෘත්ති නිසා සමාජය සිටින්නේ අන්දමන්ද වූ තැනකය. ඊට ආසන්නතම හා සරල උදාහරණය වශයෙන් පසුගිය සඳුදා (6) පාසල් වාරය ආරම්භ කිරීම සැලකිය හැකිය.

රජය ප්‍රකාශ කර තිබුණේ විධිමත් ආරක්ෂාවක් ඇති බැවින් දරුවන් පාසල් වෙත යොමුකරන ලෙසය. එහෙත් අස්ගිරි සහ මල්වතු මහානායක හිමිවරුන් හා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් රජයට දන්වා තිබුණේ රටේ ප්‍රමාණවත් ආරක්ෂාවක් ඇතිවන තුරු පාසල් වාරය ඇරුඹිය යුතු නැති බවය.

මෙහිදී අධ්‍යාපන ඇමතිවරයා කියා සිටියේ පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බවය. එමෙන්ම සුරක්ෂා රක්ෂණ ක්‍රමය මගින් ලබාදුන් රුපියල් ලක්ෂයේ මුදල ලක්ෂ දෙක දක්වා ඉහළ දමා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අනාරක්ෂිත තත්ත්වය තුළ මව්පියවරු රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. සිය දරු දැරියන් පාසල් නොයවා සිටීමට ඔවුහු පියවර ගෙන සිටියහ. රටේ අනාරක්ෂිත බව පිළිබඳව සමාජයේ ගොඩනැගී තිබෙන අවිශ්වාසය ඉන් පෙනී යයි. ජාති ආගම් භේදයකින් තොරව කවුරුත් බලාපොරොත්තු වන්නේ සාමකාමී නිදහස් වටපිටාවක් සහ එකට එක්වී සැකෙන් බියෙන් තොරව ජීවත් වීමට රටකි. නමුත් වත්මනෙහි එවැනි තත්ත්වයක් තිබේද යන්න ගැටලුවකි.

මෙවැනි වටපිටාවක හිටපු ජනාධිපති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ප්‍රධානීන් එක්ව රටේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක් රජයට ඉදිරිපත් කර තිබේ. මේ සඳහා හිටපු ආරක්ෂක ලේකම්, යුද, ගුවන්, නාවික සහ පොලිසියේ මෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වය ලැබී තිබුණි. මේ සඳහා මූලික සාකච්ඡා දින තුනක් පුරා සිදුකර ලබාගෙන ඇති අත්දැකීම් ඇසුරින් වත්මන් අර්බුදයට විසඳුම් යෝජනා කර තිබේ.

ප්‍රධාන වශයෙන් රටේ පවතින ජාතික ආරක්ෂාව පිළිබඳව ආකල්පය සම්පූර්ණයෙන් වෙනස් කිරීම හා ඒ සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ සංස්කෘතියක් බිහිකිරීම පළමු යෝජනාවය. මෑත කාලීනව ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ප්‍රමුඛත්වයක් ලබානොදුන් තරමය. බලාපොරොත්තු රහිත ප්‍රහාරයක් සිදුවීමට ප්‍රධාන හේතුව එයයි. ජාතික ආරක්ෂක සංස්කෘතියක් පැවතියේ නම් එවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට අවස්ථාවක් නැත.

මෙකී ත්‍රස්තයෝ නිල ඇඳුමකින් හෝ මුහුණට මුහුණ සටනට එන පිරිසක් නොවෙති. ඔවුන් නැති බැරි හෝ නූගත් පිරිසක් නොව ආර්ථික වශයෙන් පොහොසත් හා අධ්‍යාපන වශයෙන් වුණත් වැදගත් පවුල් පසුබිමින් පැමිණි පිරිසකි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ අරමුණ දේශපාලනික එකක් වූ බැව් පැහැදිලිය. ඔවුහු වෙනම ඊළාම් දේශයක් ලබාගැනීමට ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළහ. එහෙත් වර්තමාන ත්‍රස්තවාදය කුමක් අරභයා ද යන්න තවමත් අපැහැදිලිය. ආගමික අන්තවාදයක් හෝ මරණින් පසුව අපේක්ෂා කරන දෙයක් අරභයා සටන් කරන බව පළවන වාර්තාවලින් හැඳිනිය හැකිය.

වර්තමාන ත්‍රස්තවාදය සහමුලින්ම වෙනස් එකකි. ප්‍රහාරයත් සමඟ හමුදාව පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය අතිශය ප්‍රසංසනීයය. එහෙත් ඉදිරි ආරක්ෂක පියවර වඩාත් විධිමත් විය යුතුය. පවතින ත්‍රස්තවාදය බුද්ධි තොරතුරු හා ක්‍රියාත්මක වෙමින් මැඩලිය යුතුය. ඒ සඳහා මද්‍රසා මධ්‍යස්ථාන, මුස්ලිම් පාසල්, මුස්ලිම් සංවිධාන, සමිති සමාගම් ඇතුළු එම පරිසරය මෙන්ම ඊට සමගාමීව එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවීම අවශ්‍යය. එහිදී ලැබෙන තොරතුරු මෙන්ම බුද්ධි තොරතුරුද ඉතා වැදගත් වේ.

ලංකාවේ ක්‍රියාත්මක බුදිධි අංශ අතරින් ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ ප්‍රධානය. ඉකුත් සමයේ එය රටේ බුද්ධි කටයුතුවලින් සහමුලින්ම ඉවත්කළ බව දකින්නට ලැබිණ. එම බුද්ධි අංශය රටේ බුද්ධි ජාලයෙන් ඉවත් කිරීම ගැටලුවකි. ඉන්පසුව රටේ ක්‍රියාත්මක වූයේ පොලීසිය ප්‍රධානව ක්‍රියාත්මක බුද්ධි අංශ පමණි. තිස් වසරක යුද්ධය අවසන් අදියර වෙද්දී යුද හමුදා බුද්ධි අංශ සෑම අංශයන් තුළින්ම ඉහළම අගයකට පැමිණ තිබුණි. යුද සමය අවසානයේ කොළඹ ඇතුළු දකුණේ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු වූයේ ඉහත කී බුද්ධි අංශවල සාර්ථකත්වය නිසාය.

මේ නිසා යුද හමුදා බුද්ධි අංශවල සේවය යළිත් ලබාගත යුතු බව යෝජනාවලියේ ඇතුළත්ය. එය ඒකාබද්ධ බුද්ධි අංශයත් බවට පත්කර එක් ප්‍රධානියකු යටතේ ක්‍රියාත්මක වීමද අවශ්‍යය. සියලු බුද්ධි අංශ ඒකාබද්ධ වීමේදී තොරතුරක සැඟවුණු අරුත සෙවීම පහසුය. ක්‍රියාවට නැංවිය හැකි බුද්ධි තොරතුරු ඇතිවන්නේ එහිදීය.

ත්‍රස්ත සිදුවීමට අත්අඩංගුවට පත් පිරිස සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීමට පොලිසිය ප්‍රමාණවත් නැත. පොලීසිය සතුව පවතින වෙනත් වැඩ රාජකාරින් බහුලය. එබැවින් මෙකී විමර්ශන ත්‍රස්තවාදී විමර්ශන ඒකකයක් වෙත බාරදිය යුතුය. එමගින් පරීක්ෂණවල ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිය.

මේ අවස්ථාවේ මුස්ලිම් ජනතාව ප්‍රධානව පූජකවරුන්, සමිති සංගම්, ආගමික ස්ථානවල සහාය ලබාගත යුතු බවද යෝජනාවලියේ ඇතුළත්ය. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ අවසන් කටයුතු නිමා වී තිබේ. තුවාල ලැබූවෝ සුවවෙමින් සිටිති. සිත් වේදනාව හා මතකය රදා තිබෙනු ඇත. එහෙත් ජනකොට්ඨාසයක් වශයෙන් බහුතරය සැකෙන් බලන්නේ මුස්ලිම් ප්‍රජාව දෙසය. ආර්ථික වශයෙන් කඩාවැටී ඇත්තේද මුස්ලිම් පිරිසය. එබැවින් ත්‍රස්ත කටයුතු මර්දනය සඳහා මුස්ලිම් ජනතාවගේ සහාය ලැබීම අත්‍යාවශ්‍යය. ඒ සඳහා ලංකාවේ තිබිය යුතු හා නොතිබිය යුතු මුස්ලිම් පල්ලි හඳුනාගත යුතුය. රටට ඉගැන්විය යුතු හා අනවශ්‍ය ඉස්ලාම් දහම කුමක් ද යන්න තෝරාගත යුතුය. විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් දැනුවත් කිරීමට විශේෂ තැනක් ලබාදිය යුතුය. මව්වරුන් වශයෙන් දරුවන්ට යහපත් අවබෝධය ලබාදීම ඔවුන්ගේ යුතුකමය. ඒ සඳහා එම කාන්තාවන්ට අවස්ථාව පහසුකම් සැලසිය යුතුය. එසේම මුස්ලිම් නායකයන් හා ඉස්ලාම් ආගමික නායකයන් එක්ව කුරාණය ප්‍රධාන දහමේ මිථ්‍යා මත සහ නියම ධර්මය ජනතාවට අවබෝධ කොට දීමද අවශ්‍යය.

ආගමික අන්තවාදයෙන් දූෂණය වූ සෙසු තරුණ පිරිස් හඳුනාගැනීම ද අවශ්‍යය. සන්ධානයට සම්බන්ධ වුවත් තවත් සිටින්නට අවස්ථාව තිබේ. ඔවුන් හඳුනාගෙන සමාජයට වැඩදායි ලෙස අන්තවාදයෙන් මුදවාගත යුතුය. ඒ සඳහා ක්‍රමවත් වැඩසටහනක් අවශ්‍ය වන අතර ඒ සඳහාත් මුස්ලිම් ප්‍රජාවගේ සහාය හිමිවිය යුතුය. තිස්වසරක් පැවති යුද්ධයට දායක වූ පිරිස අතුරින් 13000ක් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීම හා අදටත් ඔවුන් යහපත්ව ජීවත්වීම පුනරුත්ථාපන කාර්යයේ සාර්ථක බව පෙන්වා දී තිබේ. මේ නිසා හඳුනාගන්නා ත්‍රස්තවාදයට දායක වූ පිරිස් පුනරුත්ථාපනය කිරීම කඩිනමින් කළ යුතුය. ආරක්ෂක අංශ ප්‍රධානීන් සකස් කළ වාර්තාවේ මෙකී කරුණු හතර ප්‍රධානය.

තිස්වසරක ත්‍රස්තවාදයට හේතුව පැහැදිලිය. එම තත්ත්වය අවසන් කර වසර දහයක් ගෙවුණු පසුව ආරම්භ වූ අන්තවාදය වෙනස්ය. හදිසියේ මතුවූ ත්‍රස්ත කටයුතු වළක්වාලීමට නොහැකි වූ ප්‍රධාන හේතුව බුද්ධි අංශ අඩපණ වීම බවට චෝදනා එල්ල විය. දක්ෂ බුද්ධි අංශයත් ක්‍රියාත්මක වූයේ නම් ප්‍රහාරයට පෙර ඒ බව අනාවරණය වී තිබිය යුතු බව කියැවිණි.

දිගන සිදුවීම, මාවනැල්ල බුදුපිළිම සිද්ධිය, වානාතවිල්ලුව ත්‍රස්ත කඳවුර සිද්ධිය, වව්නතිවු පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය පිළිබඳ නිසි විමර්ශනයක් හා බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූයේ නම් මේ පිළිබඳව කරුණු හෙළිවනු ඇත. එසේනම් මෙය හදිසි ප්‍රහාරයක් නොවනු ඇත. විදෙස් රටක බුද්ධි අංශ මගින් ලබාදුන් තොරතුරට හෝ ප්‍රතිචාර නොදැක්වීම ජාතික ආරක්ෂාව පිළිබඳ සංස්කෘතියක් මෙරට නොතිබීම පිළිබඳ උදාහරණයකි. මේ නිසා නිදහස් සහ විශේෂ ආරක්ෂිත වටපිටාවකින් තොර ප්‍රදේශයක්. ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වීම සාමාන්‍ය කරුණකි. ඔවුන් සොයන්නේ ප්‍රහාරයක් සඳහා පහසු හා නිදහස් වටපිටාවකි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය පරාද කිරීම සහ ආගමික අන්තවාදී කල්ලියක ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම වෙනස්ය. කෙසේ වෙතත් එහි අවසාන ප්‍රතිඵලය සහ විනාශය සමානය. ත්‍රස්ත කල්ලියක තොරතුරු දැනගෙන ක්‍රියාත්මක වෙමින් තිබෙන පසුබිමක ඔවුන් මර්දනය පහසුය. ත්‍රස්තවාදය වළක්වන්නට නොහැකි වුවද ඒ සඳහා වන සැලසුම් වළක්වාලීමට හැකිය.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ වෙතින් ගත් පියවර ප්‍රසංශනීය බව කිව යුතුය. එම තත්ත්වය පාලනය වූයේ පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශවල ඒකාබද්ධ වීම නිසාය. මෙහිදී එවැන්නක් ඇතිවීමට හේතුව අවධාරණය කරගත යුතුය. යළිත් ඇතිවීමට ඉඩක් නොතැබීමට ආරක්ෂක අංශ සමඟ සියලු පුරවැසියන් එක්විය යුතුය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික හා ආගමික වශයෙන් එල්ල කළ ප්‍රහාරයක් බවට ඇතැම්හු අර්ථකථනය කළහ. එය දේශපාලනික වශයෙන් අර්ථදක්වන්නට සමහරු උත්සාහ ගත්හ. එබැවින් මෙම ප්‍රහාරය මෙතැනින් අමතක කිරීම සුදුසු නැත. තවත් මෙවැනි ප්‍රහාරයක් හෝ වෙනත් ත්‍රස්ත නැගීසීටීමක් රටේ ඇති නොවේ යැයිද කිව නොහැකිය. දේශපාලන අරමුණු හා ප්‍රමුඛතාව කලින් කලට වෙනස් වුවද මෙය උදාහරණයකට ගෙන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංස්කෘතියක් ඇතිකළ යුතුය. එමගින් බුද්ධි අංශ වෙත නිසි බලය ලබාදිය යුතුය.

රාජකාරිය නිසිලෙස ඉටුවන්නේ එවිටය. එය දේශපාලන වශයෙන් පක්ෂයකට අයත් නැත. රටක් වශයෙන් පොදු අවශ්‍යතාවයක් රටේ ආණ්ඩු වෙනස් වූ පමණින් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රතිපත්ති වෙනස් නොකළ යුතුය. ඒ සඳහා ආරක්ෂක කටයුතු ආයතන ගත කිරීම ද අත්‍යාවශ්‍යය. රටේ ඇති අනාරක්ෂිත බව දේශපාලනික වශයෙන් නොබලා ශ්‍රී ලාංකික ජාතික වශයෙන් සලකා ජාතික වශයෙන් ක්‍රියාමාර්ග ගැනීම මූලික විය යුතුය. ඒ සඳහා රටේ සියලු ජාති, ආගම් ඒකරාශී වීමත් පැහැදිලි නායකත්වයක් ලැබීමත් අත්‍යාවශය.

►සමන්ත ප්‍රදීප් විල්තෙර

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30