2019 මැයි 11 වන සෙනසුරාදා

දුම්රියට-බස්වලට සලසන විශේෂ ආරක්ෂාව

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

මහජනතාවගේ එදිනෙදා ප්‍රවාහන කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත වේ. බස් රථ සහ දුම්රිය පොදු ප්‍රවාහන සේවයේ ප්‍රමුඛතම මාධ්‍යයයි. මෙම ප්‍රවාහන මාධ්‍ය තුළින්ද දෛනිකව පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන බොහෝ දෙනා දුම්රිය භාවිතා කරන්නේ ගමනාගමනයේ පහසුව තකාය.

මෙයට දශකයකට පමණ පෙර දෛනිකව රාජකාරියේ යෙදී සිටි බොහෝ ජනතාව දුම්රිය සහ බස්රථවල ගමන්ගත්තේ මහත් බයකිනි. කොයි මොහොතක හෝ බස්රියක, දුම්රියක බෝම්බයක් පුපුරා ගොස් ජීවිත අහිමි වේදෝ යන සැකයෙන් එකම පවුලේ මව, පියා මෙම පොදු ප්‍රවාහන සේවාවේ දෙකට බෙදී සිය ගමනාන්තයන් වෙත ගිය ආකාරයන් ද එම කාලය පුරාවටම අපට අසන්නට දකින්නට ලැබිණි.

දුම්රිය තුළ, බස්රථ තුළ අයිතිකරැවකු නොමැති පාර්සල් දුටුවිට වහාම බස්රථයේ රියදුරැට, කොන්දොස්තරවරයාට හෝ ළඟම තිබෙනා පොලිස් ස්ථානයට දැනුවත් කරන අඳුරු යුගයක් අපට තිබිණි. එහෙත් ත්‍රස්තවාදය නිමවීමෙන් අනතුරුව බොහෝ මගී ජනතාව නිදහසේ සිය ගමනාගමන කටයුතුවල යෙදුණහ. එලෙසින් අනතුරක සේයාවක්වත් නොතිබුණ මොහොතක පසුගිය අප්‍රේල් මස 21 වැනිදා පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ සමඟ නැවත පොදු ප්‍රවාහන සේවයේ ගමනාගමන කටයුතුවල යෙදීමට ජනතාව මහත් බියක් දක්වන බවත් පෙනෙන්නට ඇත. මේ නිසා පොදු ප්‍රවාහනයේ ගමනාගමන කටයුතුවල යෙදෙන ජනතාව වෙනුවෙන් මගී ආරක්ෂාව සඳහා පියවර කිහිපයක්ම ගෙන ඇත.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රකාශකයකු දේශයට පැවසුවේ බස් නැවතුම්පළවල්වල, ස්ථාන පාලකවරැන්, ප්‍රධාන නිලධාරීන්, දෛනික කටයුතු කරන නිලධාරීන් සියලු දෙනා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට යොදවා ඇති බවයි.
එමෙන්ම කොටුව හා මරදාන ඇතුළු දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන සියලුම දුම්රිය මගීන් දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් කෙරෙන අතර මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් ද යොදවා ඇත.
මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙරට බස්රථ සංගම් සහ දුම්රිය නිලධාරීන් ගෙන ඇති පියවර පිළිබඳ අපි විමසීමක් කළෙමු.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

අපි මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි බස්රථවල රාක්කයන්හි පාර්සල් තැබීම ගැන අපි රියැදුරන්, කොන්දොස්තරවරුන් දැනුවත් කරලා තියෙනවා. මොකද අපේ මේ කර්මාන්තය රඳාපවතින්නේ මගී ජනතාව නිසා. ඒ නිසා තමයි මගී ජනතාවගේ ආරක්ෂාව ගැන බැලීම අපේ යුතුකමක්. ඒ වගේම අපගේ පෞද්ගලික බස්රථවල ගමන්ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ හඳුනාගැනීම සඳහා සන්නිවේදන උපකරණයක් බස්රථවල පසුපස සවි කිරීමට කටයුතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රජයේ සහයෝගය ලබා ගැනීමටත් අපි අපේක්ෂා කරනවා. උපකරණ සවි කිරීමෙන් පසුව බස්රථවලට මගීන් නංවා ගැනීම සිදු කරන්නේ පසුපස දොරෙන්. මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අරුණ ප්‍රියන්ත

අප්‍රේල් මස 21 වැනිදා එල්ල වුණ ප්‍රහාරයෙන් පස්සේ නැවත වතාවක් මගී ජනතාව මේ බස්රථවල ගමන් ගැනීමට බය වෙලා තියෙනවා. අවුරැදු දහයකට පස්සේ තමයි මේ වගේ සිදුවීමක් වෙලා මගී ජනතාවගේ හිතේ වුණත් මේ විදිහට බයක් ඇතිවෙලා තියෙන්නේ. කොහොම වුණත් මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට අප කටයුතු යොදා තියෙනවා. ඒ වගේම තමයි අපි අපගේ බස්රථවල රියදුරන්ට, කොන්දොස්තරවරැන්ට නිරතුරැව දැනුවත් කරලා තියෙනවා මගියාගේ ආරක්ෂාව පළමුවෙන් බැලිය යුතුයි කියලා. මොකද අපේ කර්මාන්තයේ ඉන්න ප්‍රධාන ප්‍රරිභෝගිකයා තමයි මගී ජනතාව මගී ජනතාව අඩු වුණොත් කර්මාන්තය කඩා වැටෙනවා. ඒ නිසා අපි පළමුව මගී ජනාතාව ගැන තමයි සැලකිලිමත් වන්නේ.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ

විශාල මගී ප්‍රමාණයක් ගමන්ගන්නා ප්‍රවාහන මාධ්‍ය තමයි දුම්රිය. දෛනිකව විශාල පිරිසක් රටේ විවිධ ප්‍රදේශවලින් කොළඹට එනවා මේ ප්‍රහාරයෙන් පසුව සතියක් යනතුරැ මගී ජනතාව දුම්රිය  තුළ දක්නට ලැබුණේ නැහැ. ඒ වගේම තමයි තවමත් ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් දුම්රිය පාර්සල් බාර ගැනීම සඳහා තාවකාලිකව අත්හිටුවා තියෙනවා. මගී ජනතාවගේ ආරක්ෂාව ගැන පළමුව සැලකිලිමත් වියයුතුයි. ඒ වගේම තමයි පවතින තත්ත්වය සමඟ රජය විසින් බුර්කාව තහනම් කිරීමේ යෝජනාව අපත් අනුමත කරනවා. ඒ වගේම තමයි දුම්රියේ ගමන් කිරීමේදී බුර්කාව ඉවත් කර ගන්නා ලෙස මුස්ලිම් කාන්තාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

  හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00