2019 මැයි 11 වන සෙනසුරාදා

ගුරුවරු පාසල්වල ළමයි ගෙවල්වල

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 259

සිංහල අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් දිවයින පුරා රජයේ පාසල්වලට ලබාදුන් පාසල් නිවාඩුව අවසන් වී නැවත දෙවැනි පාසල්වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස විසි දෙවැනි සඳුදාය. අවුරුදු සැමරීම සඳහා ගම් නියම්ගම් බලා ගිය, විනෝද ගමන් ගිය මාපියෝ දෙවැනි පාසල් වාරය සඳහා පාසලට යාමට තම දරුවන්ව සූදානම් කළෝය. නමුත් අප්‍රේල් මස විසි එක්වෙනිදින උදෑසන දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන් හමුවේ ඒ සියලු බලාපොරොත්තු බිඳ වැටුණි. අවසානයේදී රජය මගින් දිවයිනේ රජයේ පාසල් පසුදින විවෘත නොකිරීමට තීරණය කළේය.

එතැන් පටන් මැයි මස හයවැනි දින දක්වා පාසල් ඇරඹීම කල් ගියේය. කෙසේ වෙතත් දැඩි ආරක්ෂක විධි විධාන මධ්‍යයේ රජයේ පාසල්වල දෙවැනි වාරය මැයි මස 06 වැනි දින ඇරඹුවද සිසුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවතිණි.

ඒ අනුව මැයි මස 06 වැනි දින දිවයින පුරා පැවැති පාසල්වලට පැමිණි සිසුන්ගේ ප්‍රතිශතය වූයේ සියයට පහකි. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ පිහිටා ඇති පාසල්වලට දරුවන්ගේ පැමිණීම ඉතාම අඩුවිය. පාසලටම එක් සිසුවකු හෝ සිසුන් දෙදෙනකු පැමිණීමේ වාර්තා වූ පාසල්ද තිබුණි. සෑම පාසලකටම හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව යොදවා තිබුණි. එපමණක්ම නොව පාසල් දරැවන්ගේ දෙමව්පියන් එක්ව සෑදූ ආරක්ෂක කමිටුවේ දෙමව්පියන් කිහිපදෙනෙකුම පාසල හා දරුවන් ආරක්ෂා කිරීම සඳහා යොදවා තිබුණි.

මැයි මස 06 දින කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේදී දෙමව්පියන්ගේ සැදුම්ලත් ආරක්ෂක කමිටුවක් පාසල් ආරක්ෂා කිරීමට යොදවා තිබුණි. ප්‍රධාන මාර්ගයට යාබදව පාසැල පිහිටා තිබෙනා බැවින් අසල තිබූ බස්නැවතුම්පළද මඳක් ඈත්කොට පාසල ඉදිරිපස ප්ලාස්ටික් පුටුවලින් ආවරණය කර තිබීම දක්නට ලැබුණි. ඉතා දැඩි ආරක්ෂක පිළිවෙතක් හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක කමිටුව දියත්කර ඇති බව දක්නට ලැබුණි.

අද අපේ පාසලට වාර්තාවුණේ දරුවන් බොහෝම අඩුම පිරිසක්. අද පාසලට දරුවන් අට දෙනෙක් තමයි පැමිණියේ. හය වසරේ ඉඳන් ඉහළ පන්තියට වෙනකන් දරුවන්ට පමණයි රජයෙන් පාසල් ආරම්භ කළේ. අපේ පාසලේ දරුවන් එක්දාස් හාරසීයක් පමණ ඉගෙනුම ලබනවා. එයින් අටදෙනෙක්ගේ පැමිණීම කියන්නේ ගොඩාක්ම අවමයි. අපි පාසැලේ ගුරු මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයේ එකසිය දොළහක් පමණ සේවය කරනවා. ගුරු මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයේ පැමිණීම සාර්ථකයි. යැයි බෞද්ධ කාන්තා විද්‍යාලයේ සහකාර පරිපාලන නිලධාරී ඩී. ජයරත්න මහතා දේශයට පැවසීය.

මැයි මස හය වැනි දින දෙවැනි පාසල් වාරය ඇරඹීමට රජය තීරණය කළද එය හයවසරේ සිට ඉහළ වසරවල්වල ඉගෙනුම ලබන දරුවන්ට පමණක් සීමා විය. ජනාකීර්ණ නගරයේ පිහිටා ඇති පාසල් බොහෝමයකද පාසල් දරුවන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවතුණි. කොළඹ ආනන්ද, නාලන්දා, ගෝතමී බාලිකා, ක්ලිෆ්ටන් බාලිකා, සිරිමාවෝ බාලිකා, දේවි බාලිකා, කොළඹ විශාඛා ආරක්ෂක විද්‍යාලය ඇතුළු පාසල් බොහෝමයකම දරුවන් වැඩි වශයෙන් පළමු හා දෙවැනි දිනයේදී පාසලට පැමිණ සිටියේ නැත. දරුවන් හාරදහසකට අධික පිරිසක් ඉගෙනුම ලබන පාසල්වලද පළමු දිනයේ වාර්තාවූයේ සිසුන් පනහකටත් අඩු සංඛ්‍යාවකි.

අප පාසලේ දරුවන් අටසිය විසිතුනක් ඉගෙනුම ලබනවා. ඒ දරුවන් අතරින් පළමු දිනයේ පැමිණියේ ශිෂ්‍යාවන් දෙදෙනෙක් පමණයි. ඒ දරුවන්ගේ මව්පියන් ආරක්ෂක කමිටුවේ සිටිය නිසා දරුවන් දෙන්නා පාසලට පැමිණ තිබුණා. පාසලේ ගුරු මණ්ඩලයේ ගුරුවරුන් හතළිස් හතක් සේවය කරනවා. පළමු දවසේම ඒ ගුරුවරුන්ගේ පැමිණීම සාර්ථකයි. අප පාසලේ බෞද්ධ දරුවන්ට අමතරව අන්‍යාගමික දරුවන්ද ඉගෙනුම ලබනවා. යැයි කොළඹ ක්ලිෆ්ටන් බාලිකා විදුහලේ විදුහල්පතිනිය භවන්ති රුද්‍රිගෝ මහත්මිය දේශයට පැවසුවාය.

මේ සෑම පාසලකම ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබුණි. මීට අමතරව පාසල් දරුවන්ගේ දෙමව්පියන්ද ආරක්ෂක කමිටුවට සම්බන්ධ වී ස්වේච්ඡාවෙන් දරුවන්ගේ ආරක්ෂාවට උදව් ලබාදී තිබිණි.

ඇත්තටම මේක මොනතරම් අපරාධයක්ද? දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න බැහැ. දෙමාපියන්ට හිතේ බයක් නැතිව රාජකාරි කරන්න වෙන්නේ නැහැ. මෙතැන ඉන්න බොහෝ දෙමව්පියන් රස්සාවල් කරන අයයි. ඒ හැම දෙයක්ම පැත්තකට කරලා දරුවන්ගේ ඉස්කෝලේ ළඟ මුර කරන්න සිද්ධ වෙලා තියෙනවා. ගෙදර ගියත් අපට තියෙන්නේ බයක්. මේ දරුවන්ගේ ආරක්ෂාව ගැන ලොකු බයකින් තමයි අපිට දැන් ජීවත් වෙන්න තියෙන්නේ. වගකිවයුත්තන් තම වගකීම් පැහැර හැරිය නිසා අද අපේ රටේ දරුවන් ගැන අපට තියෙන්නේ බයක්. යැයි කොළඹ බාලිකා පාසලක් අසල මුර සේවයේ යෙදෙමින් සිටි පියෙක් දේශයට පැවැසීය.

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසල් මෙල්ම මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ පළමුදින වාර්තා වූ සිසුන් සංඛ්‍යාව සියයක් පමණි. මිට අමතරව, කොළඹින් පිට පළාත්වල පිහිටා ඇති කුරුණෑගල මලියදේව, ගාල්ල රිච්මන්ඩ්, ගාල්ල මහින්ද, මහනුවර උසස් බාලිකා, පුෂ්පදාන වැනි පාසල්වලට පළමු දින සිසු සිසුවියන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවතුණි

මේ සෑම පාසලකම අසල හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක කමිටුව සේවයේ සිටිනා අතර දරැවන්ගේ පොත් බෑග ආදිය පරීක්ෂා කොට බලා දරුවන්ව පාසල තුළට යැවීමට වගබලාගෙන තිබිණි. එමෙන්ම බෙහෝ පාසල්වල ප්‍රධාන ගේට්ටුවට අමතරව අතිරේක ගේට්ටු එකක් හෝ කිහිපයක් තිබුණද පැවැති ආරක්ෂක හේතුන් මත ප්‍රධාන ගෙට්ටුව පමණක් විවෘත කර තිබිණි. අනෙකුත් ගේට්ටු සියල්ල අගුළු දමා තිබුණි.

කොළඹ ආනන්ද විදුහල අසලද හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය එක්ව ආරක්ෂාව තරකර තිබුණද පාසලට පසුගිය සතියේම පැමිණි දරුවන්ගේ සංඛ්‍යාව ඉතා අඩුම ප්‍රතිශතයක පැවැතිණි. නමුත් ගුරුවරුන්ගේ පැමිණීමේ සාර්ථකත්වයක් තිබුණි. ආනන්ද විදුහලට ගොඩගම සිට පැමිණි සිසු සැරිය ලංගම බස් රථයෙන් මැයි මස හයවැනි දින පාසලට පැමිණ ඇත්තේ එක් සිසුවකු හා ගුරුවරියන් දෙදෙනෙකු පමණි.

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව මැයි මස හයවැනි දින බදුල්ල දිස්ත්‍රික්කයේ පාසලට පැමිණි සිසුන්ගේ ප්‍රතිශතය සියයට පහත් දහයත් වූ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ පැමිණීම සියයට විස්සක් විය. මේ අතර දකුණු පළාතේ පාසල් දරුවන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සියයට හතරක් දක්වා අඩු වී ඇත. පාසල් දරැවන්ගේ පැමිණීම මෙසේ අඩුවුවද පොලිස් මූලස්ථානය සඳහන් කරනුයේ දිවයිනපුරා පැවැත්වෙන සැම පාසලකටම පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකාය එක්ව ආරක්ෂාව සපයන බවය. මේ හේතුවෙන් රට තුළ සාමකාමී තත්ත්වයක් ඇතිවී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මාධ්‍යයට පැවසීය.

කෙසේ වුවද මෙවැනි වාතාවරණයක් පැවතියද රට තුළ වරින්වර ඇතිවන තත්ත්වයන් හමුවේ, ආරක්ෂක අංශයන් විසින් දිවයින පුරා කඩු, කිනිසි, බෝම්බ, පිස්තෝල ඇතුළු භාණ්ඩ රැසක් සොයාගැනීම හේතුවෙන් මව්පියෝ දරුවන් පාසල් යැවීමට බියවෙති. එමෙන්ම මේ දිනවල අන්තර්ජාල ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ නැවත සිදුකිරීමට ඉලක්ක කොට ඇති ප්‍රහාරයන් සම්බන්ධව ඇතැමුන් යවන ලිපි හේතුවෙන්ද මෙම බිය දෙගුණ වී ඇත. එපමණක් නොව ඇතැමුන් රට තුළ පවතින වාතාවරණය සමච්චලයකට ලක්කොට මහජනයා බියගැන්වීම සඳහා වෙනත් පාර්සල්, අයිතිකරුවකු නොමැති බෑග ආදිය තැන තැන දමා යති. මෙවැනි ක්‍රියාවන් කිසිදාක සිදු නොකරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

දරුවන් පාසල් එවන ලෙසත් සියලුම පාසල් ආරක්ෂක බවත් මැති ඇමැතිවරැන්, දේශපාලනඥයන් කොතෙක් කීවද ඒ කිසිදු පුද්ගලයකුගේ දරුවන් දෙවැනි වාර ආරම්භක දිනයේදී පාසල් ගොස් නොසිටි බවද වාර්තා විය.

මේ තත්ත්වය හමුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී පවසන ලද්දේ රටේ තත්ත්වය තවමත් ව්‍යාකූලව පවතින බවත් තමා බලධාරියකු වූවානම් මේ කාලය තුළදී පාසල් ආරම්භ නොකරන බවත්ය. ත්‍රස්තවාදය සතියකින් දෙකකින් නැවැත්විය නොහැකි බවත් මේ අවස්ථාවේ රජය සහ විපක්ෂය ඇතුළු සැවොම එකතු වී නිවැරදි තීරණයක් ගතයුතු බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවද නිසි බලධාරීන්ගේ නිවැරදි තීරණ නොගැනීමෙන් අසරණ වන්නේද අනතුරු වන්නේද මේ රටේ අහිංසක ජනතාවට පමණි. අධ්‍යාපනය නිසි කාලයේදී හිතේ සැනසීමෙන් ලබාගත නොහැකි මේ දරුවන්ගේ අනාගතය නැවතත් බියෙන්, සැකෙන් ගෙවෙයි නම් එයින් ඔවුන් මුදාගැනීම රජයේ වගකීමය.

 දිශානි ජයමාලි කරුණාරත්න
     සේයාරූ - සුමුදු හේවාපතිරණ