2019 මැයි 04 වන සෙනසුරාදා

මොනවද මේ මද්‍රසා පාසල්?

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

අප්‍රේල් 21 ප්‍රහාරයත් සමඟ දිගින් දිගටම ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත තොරතුරු හා ක්‍රියාකාරකම් අසන්නට ලැබේ. මෙරට සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අන්තවාදයක් අවශ්‍ය නැති බව බහුතර හැඟීමය. විවිධ ජාතීන්ට එකිනෙක වෙනස් නීති ක්‍රම මෙරට තුළ අවශ්‍ය නැත. එහෙත් ඇතැම් ඉස්ලාම් අන්තවාදී දේශපාලනඥයන් එවැනි පටු අදහස් මුස්ලිම් ජනතාව පිට පටවා ඇති බව දකින්නට ලැබේ. අරාබි පාසල් හෙවත් මද්‍රසා පාසල් සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව තිබෙන්නේ එවැනි සමහර පාසල් අන්තවාදය ව්‍යාප්ත කිරීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වීමත් සමඟය.

කුරැණෑගල, මාවතගම, පරගහදෙණිය පිහිටි මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ පත්‍රිකා සහ ත්‍රස්ත දර්ශන අඩංගු පෙන් ඩ්‍රයිව් සමඟ කොටු වී තිබුණේ ද මේ තත්ත්වය තුළය. එවැනි සිදුවීම් දිවයින පුරා වාර්තා වෙද්දී ඉකුත් දාක විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ භයානක ඉස්ලාම් අන්තවාදයක් ක්‍රියාත්මක වන පසුබිමක මද්‍රසා පාසල්වල කුඩා දරැවන් පවා අන්තවාදයට යොමුකරන බවකි. මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෝදනා කර තිබුණේ මද්‍රසා පාසල් සම්බන්ධයෙන් කිසිදු රජයක් පියවර නොගත් බවය.

අරාබි පාසල් හෙවත් මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නොවන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ නියාමනයක් සිදුනොවන බවත් වාර්තා වේ. ඒ අනුව මද්‍රසා පාසල්වල වගකීම මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින බවට පැවසේ. වැඩිදුරටත් සඳහන් වන්නේ එම මද්‍රසා පාසල් විෂය භාර අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් යටතේ පවතින මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලියාපදිංචිය ලබා ඇති බවය. අදාළ පාසල්වලින් නීති විරෝධී කටයුතු සිදුවන්නේ නම් එහි වගකීම මුස්ලිම් කටයුතු අමාත්‍යංශය භාරගත යුතු බවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කර තිබේ.

%මද්‍රසා^ යනු අරාබි වචනයකි. එහි සිංහල තේරුම පාසල යන්නයි. වාර්තා වන පරිදි මේ වනවිට දිවයින පුරා මද්‍රසා මධ්‍යස්ථාන 250ක් පමණ ක්‍රියාත්මකය. ඒවායෙන් පිරිමි පුද්ගලයන් අධ්‍යාපනය ලබන පාසල් 200ක් පමණ ඇති බවත් සෙසු මධ්‍යස්ථානයන්හි කාන්තාවන් අධ්‍යාපනය ලබන බවට පැවසේ.

ඉස්ලාම් ධර්මය අදහන මුස්ලිම් දරැ දැරියන් අධ්‍යාපනය ලබන රජයේ පාසල් ක්‍රියාත්මකය. ඒවායේ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමත විෂය නිර්දේශ මත ඉගැන්වීම සහ විභාග ආදිය පැවැත්වේ. මද්‍රසා මධ්‍යස්ථාන වෙත දරු දැරියන්  යොමුවන්නේ පාසලෙන් අස්වීමේ සහතිකය ලබාගෙනය. මෙම පාසල්වල ක්‍රියාත්මක විෂය මාලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එය හිස්ල් හා කිතාබ් වශයෙන් නම්කර ඇත. හිස්ල් විෂය මාලාවේ කටපාඩම් කිරීම බහුලය. අල්කුරාණය තුළ ඇති පරිච්ඡේද 114 මෙම දරු දැරියන් විසින් කටපාඩමින් ඉදිරිපත් කළ යුතුය. පාසල්වල 5 වසර ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ දරුවන් 6 වසරට ඇතුළු වීමත් සමඟ ඉස්ලාම් දහම හදාරන දරැවන් මෙකී මද්‍රසා පාසල් වෙත ඇතුළත් කිරීම සිදුකරයි. එහිදී පළමුව හිස්ල් පාඨමාලාවට ඇතුළත් වන දරු දැරියෝ ආසන්න වශයෙන් වසර 3-4 අතර කාලයක් එම පාඨමාලාව හදාරති.

වැඩිදුර ඉස්ලාම් ආගම හැදෑරීමට කැමති පිරිස් මද්‍රසා විද්‍යාලයේ කිතාබ් පාඨමාලාව සඳහා ඇතුළත් වෙති. එම බඳවා ගැනීමට සුදුසුකම් ඇත්තේ පාසල්වල 9 වසරවල අධ්‍යාපනය ලබන දරැවන්ටය. කිතාබ් පාඨමාලාව අවසන් කිරීමට එම දරැවන් එහි අවුරුදු 7ක් අධ්‍යාපනය ලැබිය යුතුය. පාඨමාලාව සාර්ථකව නිමකරන පිරිස් මව්ලවී නාමයට සුදුසුකම් ලබති.

මද්‍රසා පාසල්වල උගන්වන පාඨමාලා දෙකම හෝ එකක් හැදෑරීමට අවස්ථාව ඇත. හිස්ල් පාඨමාලාව හාෆිල් නමින් ද හඳුන්වයි. මේ සඳහා ඇතුළත් වන දරුවෝ මද්‍රසා පාසලේ නේවාසිකව සිටිය යුතු වෙති. අරාබි ක්‍රමයට හඳුන්වන හතරවැනි මාසය රබීයුල් අවුවල් වේ. ඒ සමය මෙහි දරැවන්ට නිවාඩු සමයක් වන අතර නෝම්බි සහ හජ්ජි දින ප්‍රධාන නිවාඩු සමයන්ය. සාමාන්‍යයෙන් මෙකී පාසලක පන්තියක ළමයින් 5-15ත් අතර සිටින බව පැවසේ. මද්‍රසා විද්‍යාලවල කිතාබ් පාඨමාලාව තුළ ප්‍රධාන වශයෙන් අරාබි භාෂාව, කුරාන අර්ථය, නබිතුමාගේ දේශනා, ඉස්ලාම් නීති හා ආගමික කලාවන් උගන්වනු ලබයි. ඊට අමතරව අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන් සඳහා අධ්‍යාපනය හැදෑරිය හැකිය. ඒ අතර තාරකා ශාස්ත්‍රය ඉගැන්වීම ද සිදුකරයි.

මෙහි අධ්‍යාපනය ලබන දරැවන් හිස මුඩු කළ යුතුය. කොණ්ඩය වැවීම සිදු නොකරයි. හිස්ල් පාඨමාලාවේ දරැවෝ හිස ජටාව බඳිති. එම පාඨමාලාව හදාරන දරැවන් මෙන්ම කිතාබ් පාඨමාලාව හදාරන පිරිස් ජුබ්බා නැමැති වස්ත්‍රය ඇඳිය යුතුය. එය මුස්ලිම් ජාතික සම්ප්‍රදායික ඇඳුමකි. මද්‍රසා සිට උසස් පෙළ අධ්‍යාපනය ලැබූවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ඇත. මෙකී පාසල්හි උර්දු භාෂාව හා අරාබි භාෂාව ඉගැන්වීම ප්‍රධානය. නේවාසිකව සිටින දරැවන් බැලීම සඳහා මව්පියන්ට බ්‍රහස්පතින්දා සවස සහ සිකුරාදා අවස්ථාව ඇත. සිකුරාදා දිනය ළමුන්ට නිවාඩු දවසකි.

ලංකාවේ පළමු මද්‍රසා පාසල කාසිනිය්යා නමින් පුත්තලම ප්‍රදේශයේ ආරම්භ කර ඇත. මෙරට වැඩිදුර අධ්‍යාපනය සඳහා විශේෂ මද්‍රසා පාසලක් පානදුර ප්‍රදේශයේ පිහිටුවා තිබේ. මෙයට අමතරව නලීනියා, ඉස්ලාහියා, ඉරුසානියා නමින් පිරිමි පාසල් මෙන්ම ආසියා සිද්ධිකා සහ ඉස්ලාහියා නමින් කාන්තා පාසල් ද වේ. මේ අතර සිංහල භාෂාවෙන් උගන්වන ලංකාවේ එකම මද්‍රසා පාසල සත්වීර් ඇකඩමි නමින් තිහාරියේ පිහිටුවා ඇත. මද්‍රසා නිවාඩු දිනයන් වන සිකුරාදා හා ඉරිදා දවස් දරුවන්ට සාමාන්‍ය පාසල් විෂය මාලාව උගන්වනු ලබයි. ඒ සඳහා පිටස්තර ගුරුවරුන්ට මුදල් ගෙවා ගෙන්වා ගනු ලබයි. මෙම පාසල්වල කාලසටහන අනුව හිස්ල් පාඨමාලාවේ දරුවන් අලුයම 3.30ට පිබිදිය යුතුය. එහිදී ආවේණික කාලසටහනකට දිනය ක්‍රියාත්මක කෙරේ.

කිතාබ් පාඨමාලාව සාර්ථකව හදාරා මව්ලවී තනතුර ලබන පිරිසට පල්ලියේ සිකුරාදා දේශන පැවැත්වීමට අවස්ථාව ලැබේ. එවැනි අය දිනකට පස් වතාවක් පල්ලියට යාම සහ එම මෙහෙයන් සඳහා සහභාගි විය යුතුය. කෙසේ වෙතත් උද්ගතව ඇති ත්‍රස්ත තර්ජනය හමුවේ ඇතැම් මද්‍රසා පාසල්වලට හා ඒවායේ උගන්වන ගුරැවරැන්ට චෝදනා එල්ල වී තිබේ. මද්‍රසා පාසල්වල වගකීම මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ පවතී නම් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිසි පිළිතුරැ ලබාදිය යුත්තේ ද එම අමාත්‍යංශයයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30