2019 මැයි 04 වන සෙනසුරාදා

ආරක්ෂක හමුදාවල සයින්දමරුදු මානුෂික මෙහෙයුම

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 121

අප්‍රේල් මුල හරියේදී කල්මුණේ සයින්දමරුදු සුනාමි ගම්මානයට පැමිණි පිරිමි තිදෙනකු නිවසක් කුලියට ලබාගෙන තිබිණි. ඉකුත් 26 වැනිදා පවුල් දෙකකට පමණ අයත් පිරිසක් එහි තාවකාලික පදිංචියට පැමිණ සිටියහ. මේ පිරිස පිළිබඳ සැකයෙන් පසු වූ ප්‍රදේශවාසීන් ඔවුන්ගේ පදිංචිය පිළිබඳව අකමැත්ත ප්‍රකාශ කිරීමේදී තමන් ඉක්මනින් පිටත්ව යන බව පවසා ඇත. සෑහීමකට පත් නොවූ තරුණ පිරිසක් කාර්තිවු හන්දියේ සිටි පොලිස් හා හමුදා භට පිරිසකට තොරතුරු දන්වා ඔවුන් ඒ වෙත පැමිණීමේදී සැකකරැවෙක් ආරක්ෂක අංශ වෙත වෙඩි තබා තිබිණි. ප්‍රතිප්‍රහාර හමුවේ නිවසේ සිටි පිරිසක් බෝම්බ තුනක් පුපුරවාගෙන තිබුණේ පසුගිය 26 වැනිදා පස්වරු 6.45ත් 7ත් අතර වේලාවේදීය.

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කල්ලිය විසින් ආරක්ෂක හමුදාවන්ට එල්ල කළ වෙඩි හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරැව ලොවක් මවිත කළ ලොව හොඳම මානුෂීය හමුදාව වශයෙන් එම ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙහෙයුම තාවකාලිකව නවතා තිබුණි. ප්‍රහාරය එල්ල වූ ස්ථානය අවට ආරක්ෂාවට භට පිරිස් යොදවා තිබියදී යළිත් වරක් සෝදිස්‍ි මෙහෙයුම ආරම්භ කර තිබුණේ පසුදා (27) අලුයම 5ට පමණය. යුද හමුදාවේ සහාය සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය ද එක්ව තිබුණි. පිරිමින් කාන්තාවන් දරැවන් ඇතුළු මළ සිරුරු 16ක් සමඟ අදාළ ස්ථානයේ තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි කාන්තාවක හා දැරියක ආරක්ෂක හමුදාව විසින් මුදාගනු ලැබුවේ එහිදීය.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කරන්නට මානුෂීය මෙහෙයුම දියත් කළ හා ඒ සම්බන්ධයෙන් අත්දැකීම් සපිරි හමුදාවේ 24 වැනි විජයබා බලඇණිය - අම්පාර කඳවුරේ නිලධාරීන් අලුයම ක්‍රියාන්විතය අරඹන්නට මත්තෙන් පාන්දර 5.00ට පල්ලිය මූලිකත්වයෙන් ප්‍රදේශයේ හදිසි නිවේදනයක් නිකුත් කළේය. ඉන් දන්වා තිබුණේ සියලු ගම්වැසියන්ට හැකි ඉක්මනින් සුනාමි බොලිවියානු ගම්මානයේ එම්. එස්. කාරියප්පර් ක්‍රීඩාංගණයට රැස්වන ලෙසය. අනතුරුව මුළු ගම්මානයම සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ නිවෙස විශේෂ සෝදිසියකට ලක්කොට තිබුණි.

මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ නිවසට අවදානමක් ගෙන ඇතුළු වූ භට පිරිස් අදාළ නිවසේ තුවාල ලබා වැටී සිටි කාන්තාවක හා දැරියක මුදාගෙන කඩිනමින් අම්පාර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්හ.

යුද හමුදා නැගෙනහිර ආඥාපති මේජර් ජනරාල් අරණ ජයසේකරගේ අණ දීම යටතේ 24 වැනි බළ ඇණිනයේ සෙබළුන් සමඟ වෛද්‍ය බළකා නිලධාරීන් ද එක්ව සිට ඇත. මෙහිදී බෝම්බ පිපිරැණු නිවසේ සිට පළමුව පිටතට රැගෙන ආවේ කුඩා දැරියකි. යුද හමුදා සෙබලකුගේ දෑතින් හරහට වඩාගත් දරුවා ලහි ලහියේ එළිමහනට එමින් සිටියදී ඇම්බියුලන්ස් එක කොහේද? අනිත් කෙනත් ඉක්මනට ගේන්න. අපේ දෙන්නෙකුත් එක්කම මෙයාලා යවන්න.. අම්පාරටම ගෙනියන්න. වතුර දෙන්න එපා. පොඩ්ඩක් තොලේ ගාන්න.* ආදී වශයෙන් අසන හා අණදෙන වචන රාශියක් සෙබළුන් අතරින් නැගෙන්නට විය.

අදාළ භූමියෙන් මුදාගත් දැරිය හා කාන්තාවට යුද හමුදා වෛද්‍ය බළකාය ලබාදුන් මූලික ප්‍රතිකාරවලින් අනතුරැව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට යොමු කරවීම සහ ඉදිරි පියවරයන් ගැනීම සඳහා පොලීසියට බාර කිරීම ශ්‍රී ලාංකික යුද හමුදාවේ මානුෂීය ගුණය පිළිඹුබු කළ මෙහෙයකි.

ඉස්ලාම් අන්තවාදීන් වශයෙන් ම්ලේච්ඡ ප්‍රහාර සිදු කරමින් රටම මළගෙයක් කළ ත්‍රස්තයන්ට පමණක් නොව ඔවුන්ගේ හිතවාදීන්ට තම සොයුරියක හා දියණියක වශයෙන් සිතමින් මනා සෙනෙහසක් ලබා දෙමින් ඒ මොහොතේ සිදු කළ මානුෂීය සත්කාරය ලොවට අපරිමිත ආදර්ශයක් එක්කළේය. කොටි ත්‍රස්තවාදයට එරෙහිව සිදු කළ මානුෂීය මෙහෙවර තුළ මෙන්ම යළිත් වරක් උදාර මනුෂ්‍ය ගතිවලින් පෝෂිත රණවිරැවන් පිරිසක් ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින බැව් දකින්නට ලැබුණේය.
ත්‍රස්තවාදයට එරෙහි ලෝකයේ වෙනත් රටවල් යුද මෙහෙයුම් සිදු කළද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සමයේදී මෙන්ම මෙදා සයින්දමරැදු ප්‍රදේශයේදී ද අපේ රණවිරැවන් මානුෂීය ලීලාවෙන් හැසිරීම අගය කළ යුතුය.

මෙරට තිස් වසරක යුද ඉතිහාසයේ අවසන් වසර තුන ගෙවුණේ මාවිල්ආරැ සොරොව්ව වසා දැමූ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කළ මානුෂීය මෙහෙයුමෙන් ත්‍රස්තවාදීන්ට අන්ත පරාජයක් අත්කර දෙමිනි. පළමුව නැගෙනහිර පළාත් කොටි ග්‍රහණයෙන් මුදාගන්නට සමත් වූ හමුදාව දෙවනුව උතුරටත් අනතුරුව මන්නාරම සිලාවතුර ප්‍රදේශ ආරක්ෂිතව මුදාගනු ලැබූහ. ලේ පිපාසිත ත්‍රස්තවාදීන් බොහෝවිට සිවිල් ජනතාව යුද පලිහක් කොට ගනිමින් සිටියදී ආහාර පාන කිසිවක් නොමැතිව අසරණ වූ ජනතාවට රණවිරැවෝ ගමන් මල්ලේ තිබූ ආහාර පැකැට්ටුවත් වතුර බෝතලයත් පරිත්‍යාග කරන්නට මැලි නොවූහ.

ලෝකයේ සිටින හොඳම හමුදාව ශ්‍රී ලංකාව සතු බව කියන්නට තවත් කාරණා තිබේ. මානුෂීය මෙහෙවර අවසානයේ වව්නියාව සුබසාධන කඳවුරක රැඳී සිටි ප්‍රභාකරන්ගේ පියා ආරක්ෂක හමුදාව විසින් හඳුනාගෙන තිබුණි. වීරස්වාමි තිරැවෙන්ගඩම් වේළුපිල්ලේ නැමැති ඔහු 86 හැවිරිදිය. අංශභාග රෝගයෙන් පෙළුණු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කරමින් රුකබලා ගන්නට යුද හමුදාව පියවර ගෙන තිබුණි.

එවැනිම තවත් සිදුවීමක් මානුෂීය මෙහෙයුම අතරතුරදී නාවික හමුදාව විසින් සිදුකර තිබුණි. මුලතිව් වෙල්ලාමුල්ලි වෛක්කාල් යුද මුක්ත කලාපයේ සිට අධිවේගී බෝට්ටුවකින් පලායන පිරිසක් 2009 මැයි 15 වැනිදා කොටුකර ගැණින. එහි සිට තිබුණේ මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිය, දියණිය හා පුත්‍රයාය. මේ තිදෙනාට අමතරව සුසෙයිගේ සහෝදරයාගේ බිරිඳ හා ඇයගේ පුත්‍රයාද එහි සිට තිබුණි. මේ පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුකරැව ආරක්ෂක හමුදාව විසින් ඔවුනට රුකවරණය ලබාදීම සුවිශේෂීය.

කොටි දේශපාලන අංශයේ නායිකාව වූ තමිලිනී හමුදා අත්අඩංගුවට ගැනීමත් අනතුරුව ඇයට රැකවරණය ලබා දී අවසානයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්වන තෙක්ම ඇයට ආරක්ෂක හමුදාවන්හි උපකාරය ලබා දී තිබුණි.

මෙවැනි ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකික යුද හමුදාව පසුගියදා සයින්ද මරුදු ප්‍රදේශයේදී මුදාගනු ලැබුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරැ බව කියන සහ්රාන් නැමැත්තාගේ බිරිය හා දියණිය බවට අනාවරණය වී තිබේ. කාලවකවානු දෙකකදී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට නායකත්වය දුන් ප්‍රධානීන්ගේ සමීපතම ඥාතීන් මුදා ගැනීමෙන් පසුව නිසි රුකවරණය ලබාදීම ලංකා හමුදාවේ මානුෂීය අගය පිළිබිඹු කරන්නකි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00