2019 මැයි 04 වන සෙනසුරාදා

බෝම්බෙන් සති දෙකකට පස්සේ කොළඹ

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

මුළු මහත් රටත් ලෝකයත් කම්පා කළ පසුගිය අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වී මේ වනවිට දෙසතියක් පමණ ගතවී ඇත. රටේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මුළු රට පුරාම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලීසිය තවමත් රාජකාරීවල නියැලී සිටිති. වෙනදා මෙන් නොව රට පුරාම නගරබද සැරිසැරෑ ජනතාව තවමත් ඒ ඒ නගරයන්හි අපට දැකගත නොහැකිය.

මෙරටට එල්ල වූ එම මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ සංචාරක කර්මාන්තය කඩාවැටී ඇති අතර රටේ ආර්ථිකය ද තවමත් පෙර පරිදි යථා තත්ත්වයට පැමිණ නැති බව බොහෝ ආර්ථික විද්‍යාඥයෝ ද පවසති. කොළඹ නගරයේ එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යාමට වෙළෙඳාමෙහි යෙදී සිටින බොහෝ දෙනා මෙම ප්‍රහාරයෙන් පසුව සිය ජීවිකාව කරගෙන යාමට අපහසු වීමෙන් කබලෙන් ලිපට වැටී සිටිති.

වෙනදා ජනී ජනයාගෙන් පිරී ඉතිරී තිබෙන කොළඹ නගරය තුළ තවමත් ඇත්තේ පාළු ස්වභාවයකි. බොහෝ වෙළෙන්ඳන් තමන්ගේ වෙළෙඳාම් කර ගැනීමට නොහැකිව ලතවෙමින් සිටින ආකාරය කොළඹ නගරයේ කළ සංචාරයක දී අපට දැකගත හැකි විය. දේශයේ අපි පසුගිය පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප්‍රහාරයත් සමඟ ඔවුන්ගේ වෙළෙඳාම් ගැන කතාබහක නිරත වූයෙමු.

බිස්නස් හොඳටම බැස්සා

මොහොමඩ් නයිසර් - තොටළඟ

මම මේ කොටුවේ බිස්නස් කරන්න පටන් අරගෙන මේ වෙනකොට අවුරුදු 26ක් වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ජාති භේදයක් කිසිම දිනක අප අතර තිබිලා නැහැ. ඒ වුණාට පසුගියදා එල්ල වුණු මෙම බෝම්බයත් එක්ක මේ වෙනකොට අපි සියලු දෙනාගෙම බිස්නස් අඩුවෙලා තියෙනවා. මිනිස්සු බයයි දැන් කොළඹට එන්න. වෙනදාට අපි දවසට රුපියල් දහදාහක් පහළොස් දහසක් පමණ බිස්නස් කරනවා. ඒ වුණාට දැන් මේ ප්‍රහාරයෙන් පස්සෙ අපිට රැපියල් 3000කවත් බිස්නස් එකක් කරගන්න බැරි වුණා. අපි දරුපවුල් නඩත්තු කරන්නෙ මේ බිස්නස් එකෙන්. වෙච්ච දේ නිසා අපිත් බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නෙ. ඇත්තටම මේ ප්‍රහාරය අපි මුස්ලිම් ජනතාව විදියට ඉතා පිළිකුල් කරනවා. මේ ප්‍රහාරය එල්ල කළේ මොවුන් මහමඟ යන කාටවත් නෙවෙයි, දේවමෙහෙයන්වලට සහභාගි වූ අසරණ ජනතාවට. ඒක නිසා අපි ඇත්තටම මේ ප්‍රහාරය හෙළා දකිනවා. කොහොමත් මේ තත්ත්වය හරියනකම් ආයෙම බිස්නස් හරියන එකක් නැහැ.

අතින් පාඩුයි

නිජාබ් - නවගම්පුර

බිස්නස් ගැන කතා කරන්න දෙයක් නැහැ. බිස්නස් ඔක්කොම වැටිලා තියෙන්නෙ. වෙනදා මේ වෙනකොට බිස්නස් පටන් අරගෙන තියෙන්නෙ. ඒ වුණාට දැන් තාම බිස්නස් නැහැ. අවුරුදු කාලේ හොඳට බිස්නස් තිබුණා. අවුරුද්දෙන් පස්සෙ මේ බිස්නස් පටන් ගන්න කලින්ම තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. හරියට බිස්නස් එක පටන් ගන්නවත් කාලයක් තිබුණෙ නැහැ. මේ සති දෙක තුළම ගොඩක් දවස්වලට විකුණන්න ගෙනාපු බඩු ඉතුරු වෙනවා. අතින් පාඩු කරගෙන තමයි මේ දවස් ටිකේම අපි හිටියෙ. ඒ වුණාට බිස්නස් නොකර හිටියොත් එකපාරටම ආයෙම මුල ඉඳන් තමයි පටන් ගන්න වෙන්නෙ.

කොටි කලබල කාලෙවත් මෙහෙම වුණේ නෑ

ශ්‍රිව කුමාර් - කඳාන

බිස්නස්වල තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. ඉස්සර වගේ නෙවෙයි දැන් බොහෝ දෙනා ආවත් වැඩි වෙලාවක් රැඳිලා ඉන්නෙ නැහැ. ඉක්මනට යනවා. මොකද තවමත් හරියට රටේ තියෙන ආරක්ෂක තත්ත්වය ෂුවර් කරන්න බැහැ. ඒ නිසා මිනිස්සු බයයි තාමත් අර ඉස්සර වගේ ඇවිත් බඩු අරගෙන යන්න. උතුරේ එල්.ටී.ටී.ඊ. කලබල තියෙන කාලෙවත් අපිට මෙච්චර ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. බිස්නස්වල වැටීමක් තිබුණේ නැහැ. අනික තමයි මේකෙන් පස්සෙ බොහෝ මාධ්‍යවලිනුත් මිනිසුන්ට කියනවා සමහර ස්ථාන ආරක්ෂිත නැහැ කියලා. එහෙම කිව්වම කොහොමත් ජනතාව එන්නෙ නැහැ. වෙළෙඳාමේ කඩාවැටීමක් තියෙනවා වෙනදාට වඩා. මේ තත්ත්වය හරියටම හරියන දිනයක් අපිටත් කියන්න බැහැ. මිනිස්සු ආවම තමයි බිස්නස් තියෙන්නෙ. මිනිස්සු නැතුව බිස්නස් නැහැ. කොහොමත් අපිත් අසරණ වෙලා ඉන්නෙ.

වෙසක් බඩු ඔක්කොම ඉතුරුයි

ශංකර් - රාගම

මිනිස්සු බයයි දැන් කොළඹට එන්න. මේ පාර වෙසක් එකට ගෙනාපු බඩු තවම එහෙමම තියෙනවා. එක අයිටම් එකක්වත් විකුණගන්න බැරි වුණා. මේ තියෙන තත්ත්වයත් එක්ක මිනිස්සු කොළඹට එන්නෙ නැහැ. ඇත්තටම මේ වගේ දෙයක් වෙයි කියලා අපි හිතුවේ නැහැ. කවුරු වුණත් තමන්ගේ ජීවිතේට ආසාවක් තියෙනවා. මේ ප්‍රහාරය ඇත්තටම අපි හෙළා දකිනවා. අපිට විතරක් නෙවෙයි මුළු ආර්ථිකයම මේ වෙද්දී කඩාවැටිලා ඉවරයි. ආයේ මේ තත්ත්වයෙන් ගොඩ එන්න අවුරැදු දෙකක් විතර යයි කියලා අපි හිතනවා. කොහොම වුණත් අවුරැද්දෙන් පස්සෙ මේ වෙසක් එකට විකුණන්න ගෙනාපු බඩු ඔක්කොම ඉතුරැවෙයි කියලා අපි හිතනවා. අපිත් බොහොම අසීරැවෙන් තමයි කල් ගෙවන්නෙ මේ වෙනකොට. ඒ නිසා මේ තත්ත්වය හරියනකම් බිස්නස් එකක් ෂුවර් කරන්න බැහැ.

කවදා හරියයිද කියන්න බෑ

ප්‍රියන්ත - වැල්ලම්පිටිය

අවුරුද්දට හොඳට බිස්නස් තිබුණා. ඒ වුණාට අපිට අවුරුද්දෙන් පස්සෙ හරියට බිස්නස් එකක් කරගන්න ලැබුණේ නැහැ මේ ක්‍රියාවන් එක්ක. වෙනදාට මේ කොටුවේ ඕන තරම් මිනිස්සු හිටියා. ඒත් දැන් පාළුවට ගිහින් තියෙන්නෙ. ඇත්තටම දැන් බිස්නස්වල අඩුවක් තියෙනවා. ඒක නැවත කවදා හරියයිද කියලා අපිට කියන්න බැහැ. මේ රටේ ආර්ථිකයත් දැන් මේ සිදුවීම් නිසා කඩාවැටිලා තියෙන්නෙ. කොහොමත් මිනිස්සු ආයෙම බයෙන් ජීවත් වෙන්නෙ. කවදා කොහේ මොනවා වෙයිද කියන අවිනිශ්චිත තත්ත්වයත් මිනිස්සු තුළ තියෙනවා.

 සටහන: හසිත් අංජන
සේයාරු: සුමුදු හේවාපතිරණ