2019 මැයි 04 වන සෙනසුරාදා

විපක්ෂයෙන් ගෝඨාභය සූදානම්ලු!

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ යුද්ධය අවසන් අදියරේ ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලසොහොයුරෙකි. ඔහු වර්තමාන ලාංකික දේශපාලනයේ තීරණාත්මක චරිතයකි. ඒ අන් කිසිවක් නිසා නොව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය පිළිබඳ සංවාදය හේතුවෙන්ය. එම නිසාම ගෝඨාභය රාජපක්ෂ නම් සාධකයේ හැසිරීම සහ බලපෑම් සහගත බව අපි සාකච්ඡා කරමු. මෙය වූ කලි අතීතය වර්තමානය සහ අනාගතය යන ත්‍රෛකාලයම  සසඳා ගොඩනැගෙන සංවාදයකි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයකු ලෙසින් 1949 වසරේ උපන් ගෝඨාභය රාජපක්ෂ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ශිල්ප උගත්තෙකි. කැඩෙට් නිලධාරියකු වශයෙන් 1971 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු ගෝඨාභය දෙවන ලුතිතන්වරයකු ලෙස සිය රාජකාරි ඇරඹීය. එතැන් පටන් පළමු දෙවැනි තෙවැනි හා සිව්වැනි ඊළාම් යුද්ධයන් හී දී ඔහු යුධ හමුදා නිලධාරියකු ලෙස සටන් වැද තිබේ. 1990 වසරේදී Strike Hard සහ ත්‍රිවිධ බලය යන මෙහෙයුම්හී අඥාපති වශයෙන් කටයුතු කිරීම ඔහුගේ හමුදා ජීවිතයේ විශේෂිත අවස්ථා ලෙස සැලකිය හැක. 1992 හමුදා සේවයෙන් විශ්‍රාම ලබන ඔහු අමෙරිකා එක්සත් ජනපදය සංක්‍රමණය වූ අත‍ර එහිදී පද්ධති අනුකූලකරණය කරන්නකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයකු වශයෙන් රැකියාවක නිරත වූ බව කියැවේ.

2005 වසර වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මෙරට දේශපාලනයට ඈඳුණු චරිතයක් නොවීය. ඔහු පිළිබඳ දැන සිටියේ මෙරට ප්‍රභූ සමාජයේ ඇතැමුන් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් පමණි. එයද ගෝඨාභය මහතාගේ යුද හමුදා සේවාව හේතුවෙන් සිදුවූවකි. මෙම කාලය වනවිට මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන ඔහුගේ සහෝදරන් මෙරට දේශපාලනයේ ප්‍රබලයන් වී සිටියහ. බැසිල් රාජපක්ෂටද දේශපාලන පසුබිමක් තිබුණි.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පැමිණියේය. එය ඔහුගේ දේශපාලන ගමනේ ආරම්භය ද විය. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් 2005 වසරේ නොවැම්බරයේදී ගෝ‍ඨාභය මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබීය. පසුව ඔහු 2006 දෙසැම්බරයේදී ත්‍රස්ත ඉලක්කයක් වූ අතර වාසනාවට දිවි ගලවා ගත්තේය. ඒ සමඟින්ම යුද්ධයේ අවසන් සමයේ ලබාදුන් නායකත්වය හේතුවෙන් ඔහු මහජනතාව අතට ජනප්‍රිය චරිතයක් විය. 2009දී යුද්ධය අවසන් වනවිට එහි ගෞරවයේ සෘජු කොටස්කරුවකු වූ ඔහු 2015 වසර දක්වා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය. එම කාලය තුළදී ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීත්වයක් ඔහු පෙන්නුම් කළේ 2010 වසරේ ජනාධිපතිවරණය සමයේ සරත් ෆොන්සේකා මහතාට විරුද්ධවය. ඒ සමගින් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයෙක් වූ ඔහු නාගරික සංවර්ධනය කෙරෙහි වගකීම් දරන්නා බවය පත්විය. කොළඹ නගරය සංවර්ධනය කිරීමේ පුරෝගාමියකු වීම හරහා එකල විශාල මහජන ප්‍රසාදයක් ගෝඨාභය රාජපක්ෂ හට ලැබිණි.

රාජපක්ෂ පාලන සමයේ විපක්ෂය විසිනුත් පසුව යහපාලන ආණ්ඩුව විසිනුත් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සැලකිය යුතු චෝදනා රැසක් එල්ල කෙරුණි. මිග් යානා ගනුදෙනු, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රාජපක්ෂ කෞතුකාගාර, සුදු වෑන්, සුරතල් මිනී මෝරැන් ආදීය එයින් කිහිපයක් පමණි. යුධ අපරාධ සම්බන්ධයෙන්ද ජාත්‍යන්තරයෙන් ඔහුට චෝදනා එල්ල විය. මෙම පසුබිම සමඟින්ම ගෝඨාභය සාධකයේ වර්තමාන සමාජ දේශපාලන කථිකාවට අපි අවධානය යොමු කරමු.
2015 දී මහින්ද රාජපක්ෂ මහතා තෙවැනිවරට ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනවිටත් ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුය යන සංවාද එම පාර්ශ්වයේ යටිපෙළ වූයේය. එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ලද පරාජය සමඟ පිරිසක් ගෝඨාභය වටා කඳවුරැ බඳින්නට වූහ. එය ක්‍රමිකව සිදුවූ අතර එළිය, වියත්මග වැනි සංවිධාන විසින් ගෝඨාභය ප්‍රවර්ධනය කිරීම සිදුකෙරැණි. මෙහි යම් අවදානමක් ආණ්ඩු පාර්ශ්වයට වැටහී තිබිණි. ඒ අනුව 2015 වේ දීම ගෝඨාභය ඉලක්ක කරගත් ප්‍රතිගාමී දේශපාලන ව්‍යාපාරයක් ඔවුහු ඇරුඹූහ. ඊට සමගාමීව නඩු කිහිපයක්ද ගොනුකරන ලදී. ඒ වනවිටත් විභාග වන නඩු කිහිපයක්ද විය. මීට අමතරව ඇමරිකානු පුරවැසිභාවය ජනපති අපේක්ෂකයාට නොසුදුසුකමක් ලෙස දිගින් දිගටම අවධාරණය කෙරුණි. එම නඩුවලින් සහ චෝදනාවලින් ගෝඨාභය රාජපක්ෂට සැලකිය යුතු පීඩනයක් එල්ල වූ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඔහු ලබාගත්තේ ඒ නිසාවෙනි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කරගෙන ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ රාජපක්ෂ පාර්ශ්වයේ ඇතැමුන්ට ගැටලුවක් විය. එම නිසා පසුගිය දෙවසර තුළ විවිධ මත ගැටුම් ඇතිවූ අතර එවා රට හමුවේ විද්‍යාමාන වූහ. මෙය රාජපක්ෂ පවුලේ සාකච්ඡා දක්වා දීර්ඝව ඇදී ගියේය. එහි සඳහන් වූයේ පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා විසින් නිසි වෙලාවේදී තීරණය කරනු ඇති බවයි. එය එසේ වුවද ගෝඨාභයවාදී පිරිස් දිගින් දිගටම ගෝඨාභය ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හඳුන්වනු ලැබීය.

ගෝඨාභය ජනාධිපතිවරණ කතාවේ තීරණාත්මක සිදුවීමක් පසුගිය මාර්තු මාසයේදී සිදුවිය. මෙහිදී පළමුවරට ගෝඨාභය රාජපක්ෂ යම් ඉඟියක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ලබාදුණි. රටේ ජනතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා ඉල්ලන්නේ රට ගොඩගත හැකි එකම පුද්ගලයා තමා බව රටේ සියලු ජනතාව හොඳින් දන්නා නිසා වග ඔහු පැවසීය. එය ඉතා ප්‍රබල දේශපාලන ප්‍රකාශයක් වූ අතර අභ්‍යන්තර ගින්න තවත් තීව්‍ර කළේය.

මේ අතර ඔක්තෝබර් 26 බල පෙරළිය හේතු කොටගෙන තවත් දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබිණි. මෙතෙක් මෛත්‍රී සාධකය විපක්ෂයේ ලා සැලකූ රාජපක්ෂ පාර්ශ්වයට ඔහු තම පාර්ශ්වයට බාර ගැනීමට සිදුවිය. එයින් මෙතෙක් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ මතුව තිබූ ගෝඨාභය රාජපක්ෂ නම් තනි විකල්පයට අභියෝගයක් එල්ල කෙරිණි. මෛත්‍රීද ගෝඨාද යන ගැටලුවේදී පැහැදිලිවම ගෝඨාභය ශක්තිමත් බව පෙනී ගියද, මෛත්‍රී ඉදිරිපත් වුවහොත් ජනාධිපතිවරණය ජයග්‍රහණය පහසු නොවන බව කාහටත් අවබෝධ වී තිබිණි. නමුත් මෛත්‍රී තරගකරැවකු වුවත් සෑහෙන දේශපාලනඥයන් පිරිසක් ගෝඨාභය හට ප්‍රසිද්ධියේ සහාය පළකළෝය. කෙසේ වෙතත් එය ඔහුට වාසිසහගත තත්ත්වයක් විය. නමුත් ශ්‍රීලනිප - පොහොට්ටුව ජනාධිපතිවරණ අපේක්ෂත්ව අර්බුදය විසඳුමකින් තොරව ඉදිරියට යන්නට විය.

එම අර්බුදය දික් ඇදෙමින් පවතින අතර පාස්කු පිපිරීම මෙරට දේශපාලන උඩු යටිකුරැ කළේය. එයද ගෝඨාභය ජනාධිපතිවරණ ගමනේ තීරණාත්මක සිදුවීමක්ද වූයේය. දැන් ඊට අදාළ ආසන්තම සිදුවීම් කිහිපයක් විග්‍රහ කරගමු. පසුගිය සතියේදී &මේ වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමන් තරග කරන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ බව කියැවුණි. ඒ බව කියා තිබුණේ රොයිටර් සම්මුඛ සාකච්ඡාවක් හරහාය. එහි අරමුණු ලෙස ඔහු පවසා තිබුණේ ඉස්ලාම් අන්තවාදය පැතිරීම වැළැක්වීම හා බුද්ධි අංශ යළි ශක්තිමත් කිරීමයි. කෙසේ නමුත් මෙය මෙතෙක් ගෝඨාභය දේශපාලයේ ප්‍රබලම ප්‍රකාශය විය.

මේ සමඟම මාධ්‍ය සාකච්ඡාවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ගෝඨාභය රාජපක්ෂ සිටින බවට චෝදනා එල්ල කළේය. තවුහිද් ජමාත් සංවිධානයට රාජපක්ෂ පාලන සමයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් උපකාර කර ඇති බව ඔහු පැවසීය. එයද ගෝඨාභය රාජපක්ෂ එල්ලකළ තීරණාත්මක ප්‍රහාරයක් විය. යම් පමණට පෝෂණය කරමින් එම මතවාද සමාජ ගත වුවහොත් ගෝඨාභය හට විශාල අභියෝගයක් වීමට ඉඩ තිබේ. එය රාජිතගේ ප්‍රකාශයේ අරමුණ ඒ බව පෙනී යයි.

මීට දින කිහිපයකට ඉහතදී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකදී තමන් තවදුරටත් ඇමෙරිකානු පුරවැසියකු නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එය මෙතෙක් ප්‍රබලව නැගුණු ගැටලුවකට පිළිතුරක් විය. මේ අතර සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මාධ්‍ය මගින් නැගූ පැනයකට පිළිතුරු දී තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බව තමන් නොසිතන බවයි. එම ප්‍රකාශය රටේ අවධානය දිනා ගත්තේය.

මේ අතර එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුද යන්න තවම පැහැදිලි නැත. අමාත්‍ය සජිත් ප්‍රේමදාස පිළිබඳ කතාවක්ද තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ දැනට පෙරමුණේ සිටී. එහෙත් විපක්ෂය තරම් ආණ්ඩුවේ එම සංවාද ප්‍රබල නැත. ඇතැම් තැනකදී කියැවෙන පරිදි ගෝඨාභයට අභියෝගයක් දීමට ඔවුන් දේශපාලන පසුබිමක් නැති අපේක්ෂකයකු ගැන කල්පනා කරමින් සිටින බවද කියැවේ. කෙසේ නමුත් ආණ්ඩුව විසින් ගෝඨාභය විරෝධය ඉදිරියට මෙහෙයවමින් සිටී. එය ප්‍රචාරක ව්‍යාපාරයක් මට්ටමට පත්ව ඇත.

ආණ්ඩුවේ ප්‍රතිරෝධ කුමක් වුවත් දැන් රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සිතා බැලුවහොත් අවබෝධ වන්නේ මෙයයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරා පෙර නොවූ විරූ ලෙස ළංවී ඇත. අපේක්ෂකත්වය යනු ජයග්‍රහණය නොවේ. ජයග්‍රහණය පිළිබඳ සාකච්ඡා කිරීමට නම් නියත වශයෙන්ම අනෙක් අපේක්ෂකයා කවුරුන්ද යන්න දැන සිටිය යුතුය. ඉදිරි සති කිහිපය තුළ ඊට පැහැදිලි ඉඟියක් ලැබීමට ඉඩ තිබේ. එදිනට අපි ගෝඨාභය හා ඔහු සසඳමු.

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00