2019 මැයි 04 වන සෙනසුරාදා

VPN ජාලයෙන් අනාථ වූ ආණ්ඩුවේ සමාජජාල තහනම!

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 104

ශ්‍රී ලංකාවේ කළු ඉරිදා ලෙස ඉතිහාසයට එක්වන 2019 මෙම වසරේ 4/21 පාස්කු ඉරිදා සිදුවූ ම්ලේච්ඡ අන්තවාදී ප්‍රහාරයත් සමඟ ආණ්ඩුව අමුතු පියවරක් ගත්තේය. ඒ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තාවකාලිකව අවහිර කිරීමයි. ආණ්ඩුව එබඳු  පියවරක් ගත්තේ මේ දෙවෙනි වතාවටය. මීට කලින් අම්පාර සහ මහනුවර ආශ්‍රිතව හටගත් කළබැගෑනිවලදී පසුගිය වසරේ මෙවන් බාධාවක් මුල්වරට කළඑළි බැස්සේය. මෙවර  සතියක පමණ කාලයක් ක්‍රියාත්මක වූ බාධාව ඇතැමුන්ට නම් සැබෑ බාධාවක් නොවුණි. ඒ VPN බඳු නවීන තාක්ෂණික ජිමික් ඔස්සේ සිය සමාජජාල වැඩකටයුතු වෙත පිවිසෙන උප්පරවැට්ටිය මේ වනවිට රටේ පතළව ඇති නිසාය. එසේ වුවද මේ තාවකාලික තහනම දැඩි සමාජ කථිකාවකටද මුලපිරුවේය. වඩාත් අපුරැව වන්නේ ඒ කතාබහද වැඩියෙන්ම සිදුව ඇත්තේ එකී අවහිරයට ලක්වූ සමාජ ජාල ඔස්සේම වීමය.

වාර්තාවන්ට අනුව ලංකාවේ ෆේස් බුක්, වයිබර්, වට්ස්අප්, මැසෙන්ජර් වැනි සමාජ ජාලා භාවිත කරන මුළු සංඛ්‍යාව ලක්ෂ 68 කට වැඩිය. ලංකාව තම ජනගහනයටත් වැඩි දුරකතන ප්‍ර‍මාණයක් සහිත රටකි. ෆේස් බුකීකාරයෝ වැහිවැහැලාය. ඒ අතර ලංකාවේ ජනප්‍රියම ඇප්එක වයිබර්ය. ලංකාව ලෝකයේ වයිබර් ස්ටිකර් නිෂ්පාදනය සිදුකරන ප්‍ර‍මුඛ රාජ්‍යයන් 5 න්ද එකකි! සමාජ මාධ්‍ය තහනම හදිසියේ කඩා වැටෙන්නෙ එවන් රටකටය. ඉතින්, මේ තහනම නිසා මතු වූ ආන්දෝලනයේ නියම සොබාව දැනගන්නට සමාජ මාධ්‍ය තුළම ප්‍රචාරය වූ පහත සංවාද උපකාරයකි. මේ විවිධ මතධාරීන්ගෙ විවේචනයන් කිහිපයකි. 

suranga says:
April 29, 2019 at 10:33 am
ඒක ‍ගොඩක් හොඳ දෙයක්. මුහුණු පොත කියන්නේ කාලය කා දමන කිසි කමකට නැති සමාජ ජාලයක්. අධ්‍යාපනය, ආර්ථිකමය, ආධ්‍යාත්මික, සමාජීය හා දේශපාලනික වශයෙන් මුහුණු පොත වර්තමානයේ පිළිලයක් වෙලා තියෙන්නේ. ඉතින් කිය කියා ඉන්නේ අරන් ගියා නම් ගොඩාක් ලොකු දෙයක්. එහෙම කරන්න බොහොම පිං.

Asanga says:
April 29, 2019 at 12:15 am
FB එක නම් නැතිවෙන එකමයි හොඳ. බිස්නස්වලට ටික දෙනෙක් පාවිච්චි කළත්, ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ කාලය නාස්ති කරන්ටයි. ගැහැණු ළමයි කොච්චර අමාරැවේ වැටෙනවද? මේවා පාසල්වල උගන්නලා හදාගන්න පුළුවන් ඒවා නොවේ. අරක්කු බොන්න එපා කියා ඉගැන්නුවත් අපි බොනවනේ, ඒ වගේ තමයි. දැන් අම්මල තාත්තල ළමයි බලනවට වැඩිය FB එකයි බලන්නේ. සිගරුට්වලට ඇබ්බැහි වෙනවට වඩා දරුණුයි.

Reply
Tomy says:
April 29, 2019 at 8:11 am
සමාජ ජාල පාවිච්චිය ගැන නොදන්නා සියලුදෙනාම මේවාට විරුද්ධයි. ගොඩක් වෙලාවට මේ විරුද්ධ වෙන අය SMS එකක්වත් පාවිච්චි කරන්න දන්නේ නැහැ. පිහියක් වුණත් වැරදියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් පිහි තහනම් කරනවාද? මේවා ප්‍රයෝජනයට අරගෙන කරන නරක වැඩවලට වඩා හොඳ වැඩ අනන්තයි. ව්‍යාපාර සහ සමාජ සේවා කටයුතු මූලිකයි.

Reply
Asanga says:
April 29, 2019 at 1:39 pm
ඔය පිහියේ කතාවට වඩා ඉස්සරහට ගිහින් හිතන්න. ලංකාවේ දිනකට ඇති විශාල ප්‍රමාණයක් පිහි භාවිතා කර හොඳ දේවල් (කෑම) කරනවා. ඉතා ස්වල්පයක් නරකට භාවිතා කරනවා. ඒවත් නීතිය නිසා අඩුවෙනවා. ඒකයි පිහිය තහනම් නැත්තේ. නමුත්, FB කියන්නේ අති බහුතරයක් දෙනා කාලය සහ පවුල් සහජීවනය විනාශ කිරීමට පාවිච්චි කරන දෙයක්. සුළු පිරිසක් විතරයි බිස්නස් කිරීමට හෝ ජාතික ප්‍රශ්නයකට වැනි වැදගත් දෙයකට පාවිච්චි කරන්නේ. ඒකයි මේක පිහියෙන් වෙනස් වෙන්නේ. FB එකේ කාලය නාස්ති කිරීමයි මඩ ගැසීමයි නීතියෙන් පාලනය කරන්න පුළුවන් දෙයක් නොවේ. තව උදාහරණයක්, තුවක්කුවත් හොඳ දේවල්වලට අපට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමයි කියල තුවක්කුවත් ජනතාවට නීතිගත කරනවද? නැහැ. එකෙන් වෙන හොඳ දේට වඩා නරක දේ වැඩියි.

ගවේශක says:
April 29, 2019 at 10:32 am
සමාජ ජාලා තුළින් බොහෝ පණිවුඩ හුවමාරු වෙනව. මේ තහනම් කිරීමෙන්ම පේනවා ජනතාවගෙන් සඟවන ඇත්ත කොයිතරම්ද කියලා දැනුම්වත් අය වගේම බුද්ධිමතුන් මෙයින් දුරස් වීමෙන් මේවා අයාලේ යා හැකියි. මේ තුළින් ධර්ම සාකච්ඡා පවා කෙරෙනවා. ඒ තුළින් ඉතා යහපත් සේවයකුත් වෙනවා. මේවාට බොහෝවිට විරැද්ධ වන්නේ ලෝකය සමග යාවත්කාලීන විය නොහැකි නිර්මාණාත්මක නොවන පිරිසක්.

මේ අතර පිරිසක් මෙම තහනම තොරතුරැ දැන ගැනීමේ ජනතා අයිතිය උල්ලංඝනයක් ලෙස දුටුවෝය. තවත් අය රජයේ මාධ්‍ය වාරණයේම අලුත් මුහුණුවරක් ලෙස අර්ථ දැක්වූහ. තවත් පිරිසක් මේ සමාජ ජාල තහනම ඇති කළ ජංජාලය උපහාසාත්මකව දැක තිබුණි.

සමාජ ජාලවලට ඇබ්බැහිවීම පිළිබඳව අද බොහෝදෙනා මැසිවිලි නගන බව නොරහසකි. ඇතැම්විට පවුල්වල අන්‍යෝන්‍ය සම්බන්ධතා දුර්වල වන්නට තරම්ම දැඩි හේතුවක්ව ඇත්තේ, පවුලේ සාමාජිකයන්  එකිනෙකාගෙන් ඈත්වී අන්තර්ජාලය හරහා තනි තනි සමාජ සබඳතාවලට යොමුවීමය. ඇතැමුන්ට මෙය දැන් නැතිවම බැරි  ඇබ්බැහියකි. මේ ඇබ්බැහිය කොතරම්ද යන්න ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍යවලම  පළවූ ඇතැම් උපහාස ප්‍රකාශන මගින් ඉතා අපූරැවට විස්තර කර තිබුණි.

ෆේස්බුක් නැති නිසා මට පවුලක් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. අම්මට හුඩු දරැවොත් ඉන්නවා! ඉන් එක් පළකිරීමක් එබඳු විය. එබඳු තවත් පළකිරීමක් නම් ෆේස්බුක් නැති නිසා මගේ පවුලේ උදවිය එක්ක කතා කරන්න ලැබුණා. ඒ ගොල්ලො හරි හොඳ කට්ටියක්” යන්නයි. උපහාසයෙන් වුව ඔවුන් මේ කියන්නේ පවුල් සංස්ථාව බිඳදැමීමටත් සමත් මෙම සමාජ ජාලවලට තිබෙන ඇබ්බැහියේ තරමයි.

ඇත්තෙන්ම මෙම තහනම දැඩිව බලපෑවේ එබදු ඇබ්බැහියන් හටය. ඊට අමතරව ඩිජිටල් ව්‍යපාර කටයුතුවලටද එය දැඩිව බලපෑවේය. මැදපෙරදිග සහ ලෝකයේ විවිධ රටවල්වල වෙසෙන තම ඥාතීන්, හිතවතුන් සමඟ කතාබහට නොමිලේ ලැබෙන පහසුම සන්නිවේදන මාර්ගයක් ලෙස WHATSAPP, VIBER වැනි මාධ්‍ය යොදාගත් මිලියන 3ක් පමණ වන පිරිසට වැඩි මිලක් ගෙවා සෘජු විදෙස් දුරකතන පහසුකම් ලබන්නට සිදුවිය. VPN වැනි තාක්ෂණික උප්පරවැට්ටි භාවිතයට දැඩිව යොමුව තිබුණේ එබඳු පිරිසය. නමුත් මෙවර තහනමේදී එකී පිරිස පමණක් නොව සාමාන්‍ය ජනතාව බොහෝමයක්ද   VPN භාවිතයට යොමුව තිබූ අතර එම නිසා රජයේ සමාජ මාධ්‍ය තහනම නිෂ්පල ක්‍රියාවක් බවට පත්ව තිබුණි.

අසත්‍ය ප්‍රචාර පැතිරයාමත්, එමගින් ජාතිවාදී ගැටුම් පැතිරයාමත්, මැඩලීමේ පියවරක් වශයෙන් රජය මෙම තහනම ක්‍රියාත්මක කළ බව කියයි. නමුත් ඇත්තටම දැන් නවීන තාක්ෂණය හමුවේ එම තහනම පුස්සක් බවට පත්ව තිබේ.

සමාජ මාධ්‍ය නියාමනය කිරීමට තැත් කිරීමේදී මෙබඳු තවත් බොහෝ ප්‍රායෝගික දුෂ්කරතා මතුව ඇත. ප්‍රවීන මාධ්‍යවේදී විද්වත් ලේඛක නාලක ගුණවර්ධන වරෙක ඔහුගේ සටහනක පෙන්වාදී ඇති පරිදි ගෝලීය වේදිකාවලට බලපෑම් කිරීමේ හෝ තැරුව් කිරීමේ හැකියාවක් නැති අපේ වැනි රටවල සමාජ මාධ්‍ය නියාමනය ගැන ලොකුවට කතාකළත් සැබැවින්ම ගතහැකි පියවර ඉතා සීමිතය. මේ නිසා නීතිමය හෙවත් නියාමන ප්‍රවේශය වෙනුවට ආචාර ධර්මීය (ethical) ප්‍රවේශයක් ගැනීම මෙහිදී වඩා සාර්ථක විය හැකිය.

මේ නිසාම රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍යජාල සහ වෙබ් අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම බව මේ නව අලකලංචිය අපට නැවත අවධාරණය කර සිටියි. සැබවින්ම කුඩා දරුවාගේ පටන් මෙම දැනුවත් කිරීම් සිදුකළ යුතු අතර පාසල් ICT විෂය නිර්දේශයට සමාජ මාධ්‍ය පරිහරණය පිළිබඳ විෂය කරුණු එක් කළ යුතු කාලය පැමිණ තිබේ.

 සුගත් පී. කුලතුංගආරච්චි