2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ලංකාවේ තේ පෝච්චියේ කසළ

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

තේ කර්මාන්තයට වසර 150ක් සපිරුණේ පසුගිය 2017 වසරේදීය. මීට වසර 150කට පෙර රටේ ප්‍රධාන ආර්ථික භෝගය වූ කෝපි වගාවට කොළ අංගමාරය රෝගයට ගොදුරැවීමත් සමඟ ඒ වෙනුවට වාණිජ භෝගයක් ලෙස තේ වගා කිරීම 1867 ඇරඹිණි.

ශත වර්ෂයකටත් අධික කාලයක් මුළුල්ලේ සිට තේ කර්මාන්තය මගින් රටේ ආර්ථිකයේ තිරසර පැවැත්ම සඳහා අඛණ්ඩ දායකත්වයක් ලබාදෙනු ලැබීය. මෑත වසරවලදී ආදායම් උපයන මාර්ග එකක් හෝ දෙකක් ඉස්මතු වුවද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ඉක්මවා යමින් රට වෙනුවෙන් වැඩිම විදේශ විනිමය ඉපැයීමේ ක්‍රියාවලියේදී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රටේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 20% ඍජු හා වක්‍ර ආකාරයෙන් තේ කර්මාන්තයේ නියැලී සිටින අතර එය ගබඩා පහසුකම් සැපයීම, ප්‍රවාහන, මුද්‍රණාල ඇසුරුම් ආදී උපයෝගී කර්මාන්ත ගණනාවක් දක්වා විසිරී පවතියි. සිලෝන් ටී යන්න ලෝකයේ ඉහළම පිළිගැනීමක් ඇති තේ වර්ගයක් ලෙස සැලකේ. ඒ නිසාම ශ්‍රී ලංකාව සමඟ සමාන්තර තේ කතා සුන්දරය. එහෙත් මේ වනවිට එම සුන්දර තේ වගාවේ සුන්දරත්වය බිඳ දමන අසුන්දර කතාවක් එක් වී ඇත.

සිලෝන් ටී නාමය යටතේ වෙළෙඳපොළේ ඇති තේවලට විශාල පිළිගැනීමක්ද වටිනාකමක්ද හිමිවන්නේ අද ඊයේ සිට නොවේ. එයට මෙරට යටත් විජිත සමය දක්වා තරම් වූ ඈත අතීතයට දිවයන කතාවකි. එවකට ලංකාව නතු කරගෙන සිටි විදේශිකයෝ තමන්ගේ පරිභෝජන අවශ්‍යතාව සහ වෙළඳපල ඉලක්ක කර ගනිමින් තේ වගාව මෙරටට හඳුන්වා දුන්හ. ලංකාවේ තේ වල පැවති උසස් තත්ත්වය නිසාම ඔවුහු විශාල වෙළඳපළක් ලෝකය පුරාවටම සිලෝන් ටී නාමයට විවෘත කර ගැනීමට කටයුතු කළහ.

අපනයන තත්ත්වය

ලංකාවේ තේවලට ඉහළතම වටිනාකමක් පිහිටන්නේ ලෝක වෙළෙඳපොළට තේ අපනයනය කිරීම නිසාය. ඒ අනුව ලංකාවේ වාර්තාගත ලෙස තේ අපනයනය සිදුවන්නේ 1990 වසරේදීය. එහිදී තේ කිලෝග්‍රෑම් මිලියන 215.6 ප්‍රමාණයක් අපනයන කිරීම සිදුකරයි. එසේම මේ වනවිට ලෝකයේ සිලෝන් ටී මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවන් ලෙස (වසර 2017) වාර්තා වන්නේ රැසියාව, ඉරානය, ඉරාකය, ඩුබායි වැනි රටවල්ය. එම වාර්තාවලට අනුව රුසියාව කිලෝග්‍රෑම් මිලියන 32ක්ද, තුර්කිය කිලෝග්‍රෑම් මිලියන 27ක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මිලියන 18ක්ද, ආනයනය කරයි.

වර්තමානයේ වෙනස

අතීතය එසේ වුවද වර්තමානය අතීතයේ තරම් පූර්වාදර්ශ ලබාගන්නා බවත් පෙනෙන්නට නැත. එනම් වර්තමානයේ තේ කර්මාන්තය අතීතයේ තරමට ශක්තිමත් නැත. මෙලෙස තේ කර්මාන්තය පරිහානියට පත්වීමට මූලිකම කාරණය වනුයේ තේ කර්මාන්තය සඳහා යොමුකරන අවධානය අඩුවීමයි.

සීනි යෙදීම

සීනි තේ පානයේ ප්‍රණීත බව තිව්ර කරයි. ඒ නිසාම තේ සමඟ සීනිවලට බැඳීමක් ඇත. එහෙත් මෙලෙස තේවලට සීනි යෙදීම නිසා ඇතිවන අවුලක් හටගෙන ඇත. තේ දල්ල නෙලීමෙන් පසුව තේ කර්මාන්ත ශාලාවට ගෙනැවිත් ඒවා අවශ්‍ය පරිදි වේලා තේ කොළ නිෂ්පාදනය සිදුකරයි. මේ නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර ඇතැම් කර්මාන්තශාලා හිමියෝ අඹරණ තේ කොළවලට සීනි මිශ්‍ර කිරීමක් සිදු කරති. මේ සීනි මිශ්‍ර කිරීමේ ක්‍රියාවලිය නිසා තේ වල ගුණාත්මක බවට විශාල තර්ජනයක් එල්ල වේ. පසුගියදා තේ වලට මෙසේ සීනි කලවම් කරන කර්මාන්තශාලා හිමියන් විශාල ප්‍රමාණයක් සොයාගැනීම නිසා මේ සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිවුණි.

මෙරට තේ නිෂ්පාදනය කරන ප්‍රදේශ අනුව තේ වර්ග දෙකක් පවතී. උඩරට තේ සහ පහතරට තේ ලෙස එම වර්ග දෙක සැලකේ. මෙහිදී වඩාත් ගුණාත්මක සහ රසවත් තේ ලෙස උඩරට තේ සලකන අතර එහි වර්ණය එතරම් කළු පැහැයක් නොගනී. එහෙත් පහතරට තේ වල වටිනාකම ඉහළ යන්නේ තේ කොළවල කළු පැහැය ඉහළ යන තරමටය. ඒ නිසා පහතරට තේ වල කළු පැහැය ඉතා වැදගත්ය

මේ නිසා කළු පැහැය උදෙසා කර්මාන්තශාලා හිමියෝ, නිෂ්පාදනයේදී තේ කළුපැහැ ගැන්වීමට විවිධ උත්සාහයන් ගනිති.  එහිදී ඔවුන් හඳුනාගෙන ඇති වඩා පහසුම සහ සාර්ථකම ක්‍රියාමාර්ගය නම් තේ නිෂ්පාදන ක්‍රියාවලියේදී සීනි කලවම් කිරීමයි. මෙය සිදුවන්නේ තේ කොළ ඇඹරීමේ ක්‍රියාවලියේදීය. මෙසේ තේවල වර්ණය කළු පැහැ ගැන්වීම සඳහා සීනි යෙදීම පිළිබඳව තේ පර්යේෂණ ආයතනයද මීට කාලයකට පෙර පරීක්ෂණ සිදුකර ඇති අතර එය සාර්ථක ක්‍රමයක් වුවද ඒ නිසා තේ වල ගුණාත්මක බවට තර්ජනයක් එල්ලවන බැවින් එය තහනම් කිරීමට කටයුතු කර ඇත. මෙහිදී තේ වලට අමතර බාහිර ද්‍රවයන් යෙදීම නිසා පිරිසුදු තේ යන කීර්තිනාමයට හානියක් සිදුවනවා සේම ගුණාත්මක නොවන තේ ගුණාත්මක තේ ලෙස සලකා අපනයනය කරන නිසා අපනයන වෙළෙඳපොළේ විශාල අවධානයකට ලක්වී ඇත. එහෙත් ගුණාත්මක තේ සෑදීමට ඇති අපහසුතාව නිසාම බොහෝ තේ නිෂ්පාදකයෝ තේ නිෂ්පාදනය කිරීමේදී සීනි හෝ ග්ලූකෝස් කලවම් කර ඉහළ ගුණාත්මක බවක් පෙන්වා වැඩි මුදලක් උපයා ගැනීමට උත්සාහ ගනිති.

පහතරට තේ කර්මාන්තකරැවන් මෙවැනි ක්‍රියාවකට යොමුවීමට ප්‍රධානතම හේතුව නම් පහතරට තේ කළු වර්ණයෙන් යුතු වනවිට අගය ඉහළ යාමයි. එසේම මෙසේ සීනි යෙදීමේ කාර්යය බහුල වශයෙන් සිදුවන්නේ කුඩා තේ කර්මාන්ත හිමියන් අතිනි. එයටද හේතුවක් පවතී. එනම් කුඩා තේ කර්මාන්ත හිමියන්ගේ තේ කර්මාන්තවල අයිතිය බොහෝවිට එක් පුද්ගලයකු සතු වීමය. ඒ නිසා ඒවායේ තීන්දු තීරණ ගන්නේ ඔවුන් විසිනි. ඒ නිසා ඔවුන් ලාභ අරමුණු කර ගනිමින් මෙවැනි අවදානම් කාර්යයන් සඳහා යොමුවේ.

වෙන්නේ කුමක්ද?

මෙසේ තේ කොළ නිෂ්පාදනයේදී සීනි කලවම් කිරීම හරහා ඇතිවන බරපතළම හානිදායක ප්‍රතිඵලය නම් ලංකාවේ තේවලට හිමිව තිබූ කීර්තිනාමය පලුදු වීමයි. තේවල කළු වර්ණය සීනි යෙදීම හරහා වර්ධනය වුවද එහි සැබෑ රසය සීනි යොදා වර්ණ ගැන්වීම තුළින් නොලැබෙයි. සීනි යෙදීම නිසා තේවල ආයු කාලය අවම වේ. එනම් ඉක්මණින් පුස්බැඳී කල් ඉකුත්වීම සිදුවෙයි. අපනයනකරැවා තේ නිෂ්පාදකයාගෙන් තේ ලබාගත් සැණින් අපනයනය කිරීම සිදු නොකරයි. සාමාන්‍යයෙන් තේ කල් ඉකුත් වීම සඳහා වර්ෂ තුනක පමණ කාලයක් ගතවන නිසා අපනයනකරුවෝ ඇතැම්විට මාස ගණනාවක් තමන් වෙත ඒ තේකොළ තබාගනිති. එහෙත් මෙසේ සීනි යෙදූ තේ කොළ තබාගත හැකි උපරිම කාලය මාසයක් පමණි. ඒ නිසා අපනයනකරැවා මෙරටින් තේ අපනයනය කිරීමට පෙර ඇතැම්විට තේ විනාශ වීම් වාර්තා වී ඇත.

තේ මණ්ඩලය පමා වී හෝ මේ පිළිබඳව කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම වැදගත්ය. එහෙත් දැනට සිදුවන්නේ තේ නිෂ්පාදනය වනවිට තේ කර්මාන්තශාලා වෙතට ගොස් පරීක්ෂණ කිරීම සහ ගබඩාවල පරීක්ෂාකර හඳුනා ගැනීම්ය. තේවලට සීනි මිශ්‍ර කිරීම තේ කර්මාන්තය ආශ්‍රිත සිදුවන එකම ජාවාරම නොවේ. ලංකාවේ තේවලට ඇති ඉහළ පිළිගැනීම උපයෝගී කරගනිමින් බොහෝ දෙනෙක් සිය මඩිය තරකර ගැනීමට උත්සාහ කරති. මෙයින් අපකීර්තියට පත්වන්නේ අප රටට කාලාන්තරයක් මුළුල්ලේ විදේශ විනිමය උපයා දුන් සිලෝන් ටී යන නාමයයි.

 සටහන - හසිත් අංජන