2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ඩුබායි ඉඳන් මධූෂ් හොල්ලන ලංකාවේ කුඩු පාතාලය

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

පාතාලයේ කතා දැන් ගෙතී ඇත්තේ මධූෂ් හරහාය. එහෙත් මධූෂ් පමණක් මේ රටේ පාතාලය වන්නේ නැත. මේ රටේ පාතාලය දික්වන්නේ දේශපාලන පාතාලයත් සමඟය. එකී පාතාලයේ නිෂ්පාදන මධූෂ්ලා වැනි තරුණයන්ය. ඒ නිසා මධූෂ්ලාට ගල් සියයක් ගැසුවොත් ඉන් 90ක්ම වැදිය යුත්තේ මධූෂ්ලා මේ තැනට ගෙනා සෙසු බලපුළුවන්කාරයන් වෙතය.

කෙසේ වෙතත් මධූෂ් ගැන කතා කළහොත් මධූෂ්ගේ සාදයේදී අත්අඩංගුවට ගත් අයගෙන් 31 දෙනකු මේ වනවිට මෙරටට එවා අවසන්ව ඇත. ඒ අතර දරුණුම පාතාල සමාජිකයෙක් වන කංජිපානි ඉම්රාන් ඇතූළු පාතාලයන් කිහිප දෙනෙක්ද වෙති. එහෙත් මේ කතාවේ කතා නායකයා වූ මධූෂ් තවමත් සිටින්නේ ඩුබායිවලය. ඔහු පුළුවන් තරම් උත්සාහ ගන්නේ කෙසේ හෝ මෙරටට පිටුවහල්‍ කිරීම නවතා දමා ගැනීමටය. එහි තීන්දුව ඩුබායි අධිකරණ මගින් ලබන 02 වැනිදා ලබා ගැනීමට නියමිතව ඇත. ඒ අනුව මධූෂ් මෙරටට එනවාද නැද්ද යන වග තීරණය වන්නේ එදාටය.

කෙසේ වෙතත් මධූෂ්ගේ කතාවත් සමඟ මෙරට පාකිස්ථාන හෙරොයින් ජාලයේ කතා රැසක් හෙළිදරව් වීමත් සමඟ පාකිස්ථානයෙන් මෙරටට හෙරොයින් ලබාදීම වෙලේ සුදාටත් මොහොමඩ් සිද්ධික්ටත් පමණක් සීමා කර ඇත. එසේම එයද සීමාවී ඇති අතර එයට හේතුව වී ඇත්තේ වෙලේ සුදා පොලීසියට ඔත්තු සපයන්නකු ලෙස අනාවරණය වීම නිසාය. මේ නිසා පාකිස්ථානය යම් ආකාරයකින් මෙරටට හෙරොයින් පැටවීම අඩුකර ඇත. එසේම පාකිස්ථානයේ සිට සියලු රටවලට හෙරොයින් ප්‍රවාහනය කිරීම ඉරානයට පැවරී ඇති බව කියති. එහෙත් මධූෂ්ගේ සිද්ධියෙන් පසුව මුහුදු ආරක්ෂාව වැඩිකිරීම නිසා ජාවාරම්කරුවන් දන්වා ඇත්තේ යම් ආකාරයකින් ආරක්ෂක අංශවලට කොටු වුවහොත් අදාළ බෝට්ටුව ගිනිබත් කරන ලෙසය. ඒ අනුව දැන් අලුත්ම ක්‍රමය වන්නේ ආරක්ෂක අංශවලට කොටුවූ සැණින් බෝට්ටුවට පෙට්‍රල් දමා ගිනි තැබීමය.

කෙසේ වෙතත් මේ සියලු අලකලංචි මැද නැවතත් ඉන්දියාවේ හෙරොයින් ජාවාරම්කරැවන් ශ්‍රී ලංකාව සමඟ සිය හෙරොයින් ජාලය උතුරු මුහුදේදී සිදුකිරීමට සුදානම්න් සිටිනා බව පාතාලයෙන් වාර්තාවේ. මේ සඳහා මඩකලපුවේ සිට ක්‍රියාත්මක එක්තරා කල්ලියක් මීට එකතු වී ඇති බවත් වාර්තාවේ. හොරොයින්වලින් අපිරිසුදුම හෙරොයින් නිෂ්පාදනය කරන ඉන්දියාව සමඟ බොහොමයක් ජාවාරම්කරුවන් ගනුදෙනු කිරීමට මැදිහත් වන්නේ නැත. මේ නිසා ඉන්දියාවේ ශ්‍රී ලංකා මාර්කට් එක පාකිස්ථානය හමුවේ කඩා වැටුණේය. ඒ වෙලේ සුදාලා නිසා‍ය. කෙසේ වෙතත් නැවතත් ඉන්දියාවේ ජාවාරම්කරුවන් සූදානම් වන්නේ ඊට මැදිහත් වීම සඳහාය.

මේ අතර පසුගියදා අත්අඩංගුවට ගත් පාකිස්ථාන හෙරොයින් නැවේ තිබී සොයාගත් සැටලයිට් දුරකථන තුන ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයකින් පැමිණ රැගෙන ගොස් ඇත. ඒ මේ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහාය. ඒ අනුව ඉදිරියෙදී එහි වාර්තා ද ලැබීමට නියමිතව ඇත.

මේ අතර මධූෂ් සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලදී මධූෂ් ජනාධිපති ඝාතනයට සම්බන්ධ බවට ආරක්ෂක අංශ වලින් අධිකරණයට දන්වා ඇත. එසේනම් මධූෂුත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතරත් විශේෂ මිත්‍රකමක් තිබෙන්නට ඇතැයි සැකයක් ඇත. එසේ නොමැතිව මේ කුමන්ත්‍රණය මධූෂ්ට තනිව සිදුකළ නොහැක. එසේ ඇති නම් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්නෙ නැත්තේ ඇයිද යන්න ගැනත් සැකයක් පැන නඟී. එසේ නැතිනම් වෙනත් අයවලුන්ගේ අරමුණක් මධූෂ්ගේ පිටින් තියනවා විය නොහැකිද? ඒ මධූෂ්ට මේ අවස්ථාවේ හඬක් නොමැතිකම නිසාය. ඒ නිසා සියලු කුණු මධූෂ් වෙත බැරකරනවා විය නොහැකිද?

මේ අතර පාතලය තුළ කිරුළ සම්බන්ධයෙන් මත ගැටුමක් පටන් ගෙන ඇත. බොහෝ දෙනෙකු පවසන්නේ මධූෂ් කෙතරම් නිදහස් වුවත් මධූෂ්ගේ ඉරණම ඉදිරියේ විසඳෙන බවය. ඒ නිසා මධූෂ්ගේ කල්ලියට නායකත්වය දෙන්නට විවිධ පුද්ගලයන් උත්සහ දරණ බව සඳහන් වේ. ඒ අතර මධූෂ් හා සමානවම අපරාධ රැසකට වගකිව යුතු අංගොඩ ලොක්කා මධූෂ්ගේ කණ්ඩයම හසුරුවන බව වාර්තාවේ. ඒ නිසා ඉදිරියේදි මධූෂ්ට එරෙහිව සිටින බොහෝ දෙනෙකුට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

මේ අතර කංජිපානි ඉම්රාන් විසින් මධූෂ්ගේ ජාවාරම් සම්බන්ධ රහස් රැසක් පොලීසිය හමුවේ වමාරා ඇති බවට තොරතුරු ලැබී තිබේ. මධූෂ් සහ අන්නාසි මොරිල් හෙරොයින් මෙරටට ආනයනය කළ ආකාරය ඒ සඳහා කංජිපානි සහභාගි වුණු අයුරුත් එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. මේ අතර කොළඹ අවට කෙසෙල්වත්තේ දිනුකලාගේ කණ්ඩායම සමඟ ඇති කරගත් මත ගැටුම් ගැනද ඔහු වමාරා ඇත. කෙසේ වෙතත් මධූෂ් පිළිබඳවත් ඔහුගේ ජාවාරම් ගැනත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් කංජිපානි ඉම්රාන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

මේ අතර දකුණේ පාතාලය විසින්ද කුඩු ව්‍යාපාරය තරමක් ඉහළින් සිදුකරගෙන යාම ආරම්භ කර ඇත. ඒ කොස්ගොඩ සුජීගේ හා රත්ගම විදුරගේ කල්ලිය විසිනි. ඔවුහු දකුණේ සංචාරක කලාපය කේන්ද්‍ර කරගනිමින් හෙරොයින් කිලෝ 5ත් 10ත් අතර ප්‍රමාණයක් දවසට විකුණන තැනට පත්ව සිටිති. ඔවුන් මේ දිනවල කප්පම් ගැනීමෙන් ඈත් වී සිටින අතර එයට හේතු වී ඇත්තේ විශේෂ කාර්ය බලකාය සෑමතැනම පීරා පාතාලයන් අත්අඩංගුවට ගන්නා නිසාය. 

මීට අමතරව සේල්වසන්ත ඇතුළු පිරිසක්ද සුපුරුදු ජාවාරමේ නිරත වන බව වාර්තාවේ. ඔහුට අමතරව තවත් කිහිප දෙනෙකු මීට සහාය වී සිටින බවද සඳහන්ය.

කෙසේ වෙතත් මේ වනවිට සියලු ආරක්ෂක අංශ තීරණය කර ඇත්තේ කුඩු ජාවාරමුන්ට අදාළව ඔවුන් සතු සියලු දේපළ රාජසන්තක කිරීම සඳහා අධිකරණයට යොමුකිරීමටය. මීට පෙර වෙලේ සුදා, සේල් වසන්ත යන අයගේ දේපළ රජසන්තක කළ අතර වර්තමානයේ මධූෂ්ගේ දේපළ රාජසන්තක කිරීමට තීරණය කර ඇත. ඒ සඳහ මධූෂ් සහ ඔහුගේ ඥාතීන් සතු සියලුම දේපළ වල වාර්තාවක් ලබා ගනිමින් සිටින බව සඳහන් වේ. ඒ අනුව නුදුරැ දිනකදීම එම දේපළ අධිකරණයට වාර්තා වනු ඇත.

මේ වනවිට සියලුදෙනාම බලා සිටින්නේ මධූෂ්ගේ ආගමනය ගැනය. ඒ සඳහා ගුවන් තොටුපළ පවා සීරැවෙන් තබා ඇතැයි කියයි. එහෙත් ඇතැම් දේශපාලඥයන් මධූෂ් එනවාට විරැද්ධය. ඒ මධූෂ් ආපසු ඔවුන්ගේ සියලු රහස් හෙළිවන නිසාය. ඒ නිසා මධූෂ්ගේ පැමිණීම බොහෝ දෙනෙකුගේ වෙස් මුහුණු ගැලවෙන දිනයක් වනු ඇත.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00