2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ගින්නට බිලි වූ ප්‍රංශයේ අප ස්වාමි දුවගේ දෙව්මැඳුර නොත්‍රිදාම්

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

එය සියලු ගොතික් කලා ඒකරාශී කළ නිර්මාණ කේන්ද්‍රය විය. ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේත්, ගොතික් ප්‍රතිමා කලාවේත් නොතිදාම් සංගීත ගුරැකුලයේත් උල්පත එතැන විය. එය බැතිමතුන්ගේ සිතට දහම් සිසිල බෙදෙන තැනක් පමණක් නොවූයේය. එය කලාකරැවන්ගේ නිර්මාණ වේශය පුබුදුවාලන සකළ ගොතික් කලා එක්තැන් කළ කෞතුකාගාරයක් හා කලාගාරයක් වූයේය. එක් වසරක් තුළදී මිලියන දහතුනක ජනකායක් එය නරඹන්නට හෝ වන්දනාමාන කරගන්නට ආහ.

එක් යුගයක බටහිර ආර්ථිකයේත්, බුද්ධි ප්‍රභාවේත්, අධ්‍යාපනයේත් මධ්‍යස්ථානය ලෙස සැළකුණු ප්‍රංශයේ පැරිස් නුවර සැබෑ (භූගෝලීය) නිල මාධ්‍ය ලක්ෂය ලෙස ගැනුණේ ද මෙම දේවස්ථානයයි. Point zero යනුවෙන් (ශුන්‍ය ලක්ෂය) සටහන් ඵලකයක් එහි ප්‍රදර්ශනය වේ. පැරිසියේ සිට හැම පැත්තටම දුර මනිනු ලැබුවේ මෙම ශුන්‍ය ලක්ෂයේ සිටයි.

පැය කිහිපයක් තුළ මුදුන් කොත ගින්නෙන් දැවී වැටුණ ද ප්‍රංශ බසින් Notridame යනුවෙන් හඳුන්වන අප ස්වාමි දුවගේ දේවස්ථානය ගොඩ නගන්නට ප්‍රංශයේ කැපේටියන් රජ පරපුරට සියවස් දෙකක් කල් ගතවිය. (Capetian Dynasty) කැපේටියන් රජ පරපුර ප්‍රංශය පාලනය කළේ ක්‍රි.ව. 987 සිට ක්‍රි.ව 1328 දක්වාය.

1163 රජකම් කළ VII වැනි ලුවී (Louis VII) රජතුමාගේ කාලයේ තුන්වැනි ඇලෙක්සැන්ඩර් පාප්තුමාගේ ඉදිරියේ මෙම දේවස්ථානයට මුල්ගල තැබුණේය. ෆිලිප් ඕගස්ට් (1180 – 1223) IX වැනි ලුවී (1226 – 1270) ෆිලිප් ලේ බෙල් (1285 – 1314) රජවරුන්ගේ රාජ්‍ය කාල පසුකොට එය සාදා නිමවූයේ 1345 අවුරුද්දේය. මෙම වසර දෙසියයක කාලයක් පුරා වර්ධනය වුණු සියලු මධ්‍යකාලීන ගොතික් කලා සහ විචිත්‍ර කලා මෙම අසහාය නිර්මාණය මත කුළුගැන්වී තිබේ. යුරෝපා මහද්වීපයේ ආර්ථික දේශපාලන බලය පැරිසියට කේන්ද්‍ර ගත වන්නේ මේ අවධියේය. සෝබෝන් සරසවිය ආරම්භ වන්නේ ද මේ අවධියේය.

ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිවුණු පල්ලිවල මූලික ලක්ෂණය වූයේ උස් මුදුනක් කරා විහිදෙන ආකාරයට ගොඩනැගිල්ල නිර්මාණය කිරීමයි. උසට විහිදුණු බිත්තිවලින් පහළ තෙරපෙන බර උසුලාගෙන ඉන්නට හැකිවෙන සේ පහත බිත්තිවලින් පිටතට විහිදී පොළොව බදාගන්නා රුකුල් බැමි (කයියෝරු) වලින් ඒවා සමන්විත වේ. නොත්‍රිදාම් දේවස්ථානයේ දිග අඩි 420කි. පළල අඩි 157 කි. එහි ඉහළට විහිදුණු අඩි 226ක් උසැති කුලුනු 2කි. ගින්නෙන් වඩාත් විනාශ වූයේ අඩි 300ක් ඉහළට විහිදී තිබුණු පල්ලියේ මුදුන් කොත සහ වහළයයි. එහි සීනු දහයකි. යුනෙස්කෝ ලෝක උරැමයක් ලෙස එය නම් කරනු ලැබුවේ 1991දීය.

මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ ප්‍රචලිත වූ මෙම ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය රෝමානු ගෘහ නිර්මාණ ශිල්පයේ වර්ධනයකි. (පරිනාමයකි). විචිත්‍ර ලෙස සැරසිලි කිරීමේ ෆ්ලැමිබොයන්ට් (Flamiboyant) ප්‍රවණතාව ඊට පසුකාලීනව එක් වූයේය. නොත්‍රිදාම් දෙව් මැඳුරේ සුප්‍රසිද්ධ රවුම් හැඩැති rose කවුළු මෙම කලා ප්‍රවණතාව අනුව නිර්මාණය වූවකි. පල්ලියේ මෙම රෝස කවුළු ආරක්ෂා වී ඇති බවට නිවේදනයක් මේ වනවිට නිකුත් වී තිබේ. පල්ලියේ අනෙකුත් වටිනා නිර්මාණවල ඉරණම පැහැදිලි නැතැයි ද එම නිවේදනයේම සඳහන් වේ.

ජේසුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තියේදී හිස ලූ කටු ඔටුන්න යැයි විශ්වාස කෙරෙන මෙම පල්ලියේ තැන්පත් කර තිබූ කටු ඔටුන්න හානියකින් තොරව ඉවත් කරගත් බව 16 වැනිදා නිවේදනය කෙරැණේය. පල්ලිය තුළ තිබූ අගනා පිළිම බොහෝමයක් ගිනි ගන්නට දිනකට පෙර අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඉවත් කර තිබුණේය. අපෝස්තළුවරැන් දොළොස්දෙනාගේ (Twelve Apostles) පිළිමත් නව තෙස්තෙම්න්තුවේ කතුවරුන් හතරදෙනාගේ පිළිමත් දොඹකර යොදා දින දෙකකට පෙර ඉවත් කරගත් ආකාරය දැන් අන්තර්ජාලයේ දිස් වේ. සුප්‍රසිද්ධ සැවුල් පිළිමය ද ගින්නට පෙර දිනක ඉවත් කොට තිබිණි. IX වැනි ලුවී රජු  අභිෂේකයේදී පැළඳ සිටි ටියුනික් කබාය ද දේවස්ථානයේ ප්‍රදර්ශනය වූවකි.

නූතන බටහිර සංගීතය බිජුවටයෙන් පුපුරා උපත ලැබූයේ මෙම මාහැඟි දේවස්ථාන ගෘහය තුළදීය. එම නිසා නූතන බටහිර සංගීතයේ කැදැල්ල ලෙස සැලකෙන්නේ ද නොත්‍රිදාමයයි. 

13 වැනි සියවසේ පැරිසියේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක් පැරිස් නුවර සංගීත දිවිය ගැන න්‍යායාත්මක ශාස්ත්‍රීය නිබන්ධනයක් කළේය. මෙම නිබන්ධනය නම් කළේ Anonymous IV ලෙසය. (එහි අරැත IV වැනි නිර්ණාමිකයා යන්නයි.) නොත්‍රිදාම් දේවස්ථානයේ ක්‍රියාකාරීව සංගීත කටයුතුවල නිරත වුණු ලියොනින් (Leonin) සහ ඔහුගේ ගෝල පෙරොටින් (Perotin) ගැන එන නිබන්ධනයේ සඳහන් වූයේය. විවිධ ස්වර එක්කොට ප්‍රතිසංවාදය (Poly Phony) කිරීමෙන් නිර්මාණය වන සංගීත ආර එම ග්‍රන්ථයේ ඕගනුම් වශයෙන් අර්ථ දක්වා තිබිණි. ජෝර්ජියානු මන්ත්‍රයකින් එන තනුවක් වැඩිදියුණු කොට අමතර කටහඬ කිහිපයක් ඒහා මුසුකොට ගායනය එතට ස්වර සංගත වන ආකාරයෙන් එය නිර්මාණය කර තිබුණේය. මෙම සංගීත ආර ලියොන් අතින් වඩාත් ස්වාමියා හා ඔහුට ආවේණික ආකාරයට වර්ධනය වූයේය. සංගීතය රචනා කළ හැකි අයුරැ දැක්වෙන ස්වර ප්‍රස්තාර හා රිද්මය සටහන් කරන ආකාරය ලියොන් ලියූ මහා ග්‍රන්ථකයක මුලින්ම සඳහන් විය. වඩාත් විචාරශීලී විෂයක් ලෙස බටහිර සංගීත විකාෂණය වන්නේ එතැන සිටයි.

නොත්‍රිදාමයේ කුදා නම් හඬ කැවූ චිත්‍රපටයේ එම කුදු මිනිසා නිරන්තරයෙන්ම කියූ දෙබස් ඛණ්ඩයක් ඇත. එය නම් ඈ මට වතුර දුන්නා යන්නයි. ගිනි නිවන භටයන්  හාරසීයක් දෙනා නොත්‍රිදාමයේ ඇවිලුණු ගිනි නිවන්නට වතුර දුන්නෝය. සිත් තුළ ඇවිලුණු ගිනි නිවන්නට දැන් ධනවතුන්, රසවතුන්, බැතිමතුන් හා විවිධ ආයතන යූරෝ මිලියන 600කට වඩා අදවන විට පරිත්‍යාග කර ඇති බව සැලවේ.

වසර පහක් තුළ සම්පූර්ණයෙන් මෙම කලාවේ දේවස්ථානය යළි ගොඩනගා හමාර කරන බවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පොරොන්දු වී තිබේ. හදන්නට සියවස් දෙකක් ගතවුණු නොත්‍රිදාමය වසර පහකින් අලුත්වැඩියා කොට හමාර කිරීම අරැමයක් නොවේ. දේවස්ථානයේ ඇවිලී ගිය ගින්න සිතට සොව දනවන්නක් වුවද එයින් සකල කලාවන්ට වසර 850ක් තිස්සේ ඇවුලූ දීප්තිය සිත් සතන් සනහාලන්නක් විය.

 සමන් පුෂ්ප ලියනගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00