2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

දුප්පතුන් කෝටි 50කට නොමිලේ මොබයිල් බෙදූ ආසියාවේ කෝටිපතියා

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 149

ඉන්දියාවේ මුම්බායි නුවර ගමන්ගන්නා අයෙකුට පැය 24පුරා කොමාන්ඩෝ භටයන්  20දෙනෙකු පිරිවරාගත් සිවිල්  පුද්ගලයෙක් දක්නට ලැබේ. ඔහු එරට ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිය. ඉන්දියාවේම මධ්‍යම රජය මගින් Z මට්ටමේ මෙම සුපිරි ආරක්ෂාව ලබන්නෙ අතලොස්සකි. ආරක්ෂකයන් පිරිවරා සිටියත් ඔහු සුපිරි මට්ටමේ නිදහසක් භූක්ති විඳින්නෙකි. ලෝක ප්‍රකට 'රිලයන්ස්'' සමාගමේ හිමිකරුවා වන ඔහු දශකගණනාවක්  පුරාම ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රකටව ඇති අතරම ආසියාවේ ද ධනවත්ම පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකි. 61 වැනි වියෙහි පසුවන ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 54ක් ලෙස සඳහන් වෙයි. ලංකා මුදලින් එය රුපියල් බිලියන 9435.15 ට කිට්ටු ය. ලෝකයේම ධනවතුන් අතර ද අම්බානි 19 වැනි ස්ථානය දිනාගෙන සිටියි.

ඔහුගේ ධනවත්කම කැපීපෙනෙන කාරණා දෙකකි. එකක් ඔහුගේ අමුතු පන්නයේ යෝධ නිවෙසය. අනෙක ලොවපුරා බොහෝ දෙනකුගේ විශේෂ අවධානයක් යොමු වූ මෙම නිවෙසේ පැවැත් වූ ඔහුගේ එකම දියණිය ඊශා අම්බානිගේ විවාහ උත්සවයයි. මෙය ඉන්දියාවේ මෑත කාලයේ පැවැති වඩාත් උත්කර්ෂවත්ම විවාහ මංගල උත්සවයක් ලෙස ද සැලකේ. ඒ සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලෙස ඇතැම් වාර්තාවල දක්වා  තිබිණි.

මුකේෂ් අම්බානි ඇතුළු ඔහුගේ පවුලේ උදවිය ජීවත් වන මේ අමුතු  නිවෙස හැඳින්වෙන්නේ 'ඇන්ටිලියා' යනුවෙනි. එය ජනප්‍රවාදයේ එන එක්තරා මන--කල්පිත දිවයිනක් හැඳින්වෙන  නමකි. මෙම සුපිරි නිවසෙහි මේ වනවිට වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් බව සඳහන් වෙයි. ලංකා මුදලින් එය රුපියල් බිලියන 360කට ආසන්නය. එය බකිංහැම් මාලිගයට දෙවෙනි වන්නේ ඒ වටිනාකම අතින් පමණකි. තට්ටු 27කින් සමන්විත මේ නිවෙස අඩි 570ක් උසය. ලෝකයේ වටිනාකමෙන් වැඩිම පෞද්ගලික නිවාස අතර මෙය පළමු ස්ථානය දිනාගෙන සිටියි. ඇන්ටිලියා නිවහන මුම්බායිහි දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති අතර එහි මුළු බිම් ප්‍රමාණය වර්ග අඩි ලක්ෂ 4කි.

මෙම නිවෙස ඉදිකර ඇති ඉඩමෙහි වර්ගඵලය වර්ග අඩි 50,000කට ආසන්න වෙයි. නිවෙසෙහි නඩත්තු කටයුතු වෙනුවෙන් 600 දෙනකුගෙන් සමන්විත සේවක පිරිසක් මෙහි සිටිති. නිවෙසෙහි වාසය කරන්නවුන්ට මෙන්ම මෙහි එන අමුත්තන්ට ද තට්ටු අතර ගමන් කිරීම සඳහා විදුලි සෝපාන 9ක් සවි කර ඇත.

මෙම අපූරු නිවෙසෙහි සෑම තට්ටුවක්ම එකිනෙකට වෙනස් ආකාරයෙන් සැලසුම් කර තිබීම තවත් විශේෂත්වයකි. මේවා ඒ ආකාරයෙන් සැලසුම් කිරීමේදී මුකේෂ් අම්බානිගේ බිරිය වන නීතා අම්බානිගේ අදහස් අනුවය. 50 දෙනකුට අසුන් ගත හැකි, නවීන තාක්‍ෂණයෙන් යුතු සිනමා ශාලාවක්, රූපලාවණ්‍යාගාරයක්, ස්පා එකක්, බෝල් රූම් නැටුම් ශාලාවක්, පිහිනුම් තටාක කිහිපයක්, යෝගා ව්‍යායාම සඳහා ශාලාවක්, නර්තනාගාර මෙන්ම අයිස්ක්‍රීම් කාමර ද මෙහි තිබෙන බව අනාවරණය වෙයි.මෙම නිවෙස ගැන පැතිර ඇති වඩාත් අපූරු ඕපාදූපය වන්නේ මෙහි තට්ටු හයක්ම වෙන් කර ඇත්තේ අම්බානිගේ මෝටර් රථගාල් වෙනුවෙන්ය යන්නයි. මෙම රථගාල්වල වාහන 170කට ආසන්න සංඛ්‍යාවක් ගාල් කළ හැකි බව සඳහන්ය. මුකේෂ් සැබවින්ම මෝටර් රථ පිස්සෙකි. එහෙයින්ම මේ කතාව ඇත්තකි. මේ තට්ටු 6 පොලොව යටට සාදා තිබේ. මෝටර් රථ 'සර්විස්' කිරීම සඳහාම වෙන්වුණු වෙනම 'සර්විස් ස්ටේෂන්' එකක් පවා මෙහි තිබේ.

අම්බානිගේ කාර් එකතුවේ ඉන්දීය රුපියල් කෝටි 3.85ක් වටිනා Bentley Bentayga රථයක්, Rolls Royce Phantom Drophead Coupe වර්ගයේ ඉන්දීය රුපියල් කෝටි 7.6  ක රියක්,  ඉන්දිය රුපියල් කෝටි 5.15 ක  Mercedes Maybach 62රියක්, ඉන්දීය රුපියල් කෝටි 8.50ක, Armoured BMW 760 Liරියක්, ඉන්දිය රුපියල් කෝටි 3.88 Aston Martin Rapide රථයක් ඉන්දිය රුපියල් කෝටි 4ක තවත් Rolls Royce Phantom රියක්, ඉන්දිය කෝටි 3.69ක Bentley Continental Flying Spurරථයක් මෙන්ම BMW760Li,  Mercedes SL500 සහ Aston Martin Rapide ඇතුළු වාහන 170ක් පවති. ඒ අතරින් මුළුමනින්ම සන්නද්ධ Mercedes S600 Pullman Guard රිය ඔහු නිතර භාවිතයට ගනියි. ඉන්දීය රුපියල් කෝටි 25ක් වටිනා ඔහුගේ  Vanity van රිය මුම්බායිවල ප්‍රසිද්ධය. ඔහුට සූර්ය විදුලි කෝෂ සහිත පියැස්සකින් යුතු මීටර 58ක් දිගැති මිලියන 100ක අපුරු විනෝද මුහුදු යාත්‍රාවක් ද තිබේ.

ඔහුසතු 25කට ගමන්ගත හැකි Airbus 319 Corporate Jet යානය ඩොලර් මිලියන 100ක් වටියි. මගීන් 78ක් ගෙන යා හැකි මිලියන 73ක් වටිනා ගුවන් හෝටයක් ලෙස හැඳින්වෙන  Boeing Business Jet 2 යානයක් ද ඔහු සතුය. ඩොලර් මිලියන 43.3ක් වටිනා Falcon 900EX යානය ඔහුගේ ගුවන් කාර්යාලයයි.

උද්‍යාන කිහිපයක්ම මෙම ඇන්ටිලියා නිවෙස ආශ්‍රිතව තිබෙන නිසා ගොඩනැඟිල්ලෙහි ස්වභාවික සිසිල් බව නිතර රැඳී පවතී. හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා අංගණයන් තුනක් ද ගොඩනැඟිල්ල මුදුනේ පිහිටා තිබේ. මෙහි ඇත්තේ තට්ටු 27ක් වුව ද එය සාමාන්‍ය තට්ටු 45ක ගොඩනැඟිල්ලක් තරම් උසින් යුතු බව කියයි. මෙහි එක් තට්ටුවක් සාමාන්‍ය ගොඩනැඟිල්ලක තිබෙන තට්ටුවක උස මෙන් දෙගුණයක උසින් යුතු වන බැවිනි.

මුකේෂ් අම්බානි මෙම නිවෙස ඉදිකර ඇත්තේ 2010 වසරේය. එය අමුතුම ආකාරයක සැලසුමකට අනුව ඉදිකර තිබෙන්නේ මෙවැනි පහසුකම් රාශියක එකතුවක් ලෙසිනි.  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරුද වන මුකේෂ් අම්බානිගේ එකම දියණිය වූ ඊෂා අම්බානිගේ අතිනත ගත්තේ ධනවත් ව්‍යාපාරික පසුබිමක් ඇති 25 හැවිරිදි ආනන්ද් පිරමාල්ය.

ඊෂා අම්බානිගේ විවාහට පෙර ඇයගේ පවුලේ සහ හිතවත් පිරිස්වලට මහා බාලකට ආරාධනා කර තිබුණි. එය නම් කර තිබුනේ “ අමතක නොවන රාත්‍රියක්” යනුවෙනි. එම සාදය සඳහා සුපිරි බොලිවුඩ් තරු රැසක් සහභාගිව සිටියහ. සැබැවින්ම එය ඊශාට අමතක නොවන රාත්‍රියකි. එදා ඈ සැරසී උන්නේ ඉන්දීය රුපියල් කෝටි 190ක් වූ ස්වර්ණාභරණ කට්ටලයකිනි. ඇගේ නම “Mukesh’s daughter Isha Ambani” යනුවෙන් කාටත් පෙනෙන්නට සරසා තිබුණේ කෝටි 90ක් වටිනා දියමන්තිවලිනි.

එම මංගල සාදයේ තවත් විශේෂත්වයක් වූයේ ලෝක ප්‍රසිද්ධ ගායිකා බියොන්සේ උත්සවයට සහභාගී වීමයි. එය සෑම දෙනාගේ අවධානයට ලක් විය. මෙම විවාහ මංගල උත්සවය සඳහා හිටපු එක්‌සත් ජනපද රාජ්‍ය ලේකම්වරියක මෙන්ම බිල් ක්‌ලින්ටන්ගේ බිරිඳ වන හිලරි ක්‌ලින්ටන් ද සහභාගි විය. සචින් තෙන්දුල්කාර් ලොව ප්‍රධානතම වානේ ව්‍යාපාරිකයකු වන ලක්‍ෂ්මි මිත්තල් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, අතර නවක විවාහක යුවල වූ ප්‍රියන්කා චොප්රා ඇගේ සැමියා සමඟ නළු නිළියන්, ක්‍රීඩකයන් ඇතුළු විවිධ ක්‌ෂේත්‍ර රැසක සම්භාවනීය පුද්ගලයන් ගණනාවක්‌ මෙම විවාහ මංගල උත්සවයට සහභාගී වූහ. අමුත්තන් සදහා මුම්බායි ප්‍රධාන හෝටල් සියල්ල මුකේෂ් මාස ගණනකටම කුලියට ගෙන තිබුණි. ලොව නන්දෙසින් මෙම විවාහ මංගල උත්සවයට පැමිණෙන ආරාධිතයන්ට ඊට පැමිණීම සඳහාත් ආපසු යැම සඳහාත් පමණක්‌ විශේෂ ගුවන් යානා සියයක්‌ යොදවා තිබුණි.

මුකේෂ් අම්බානි ප්‍රධාන කොටස් හිමියා හා සභාපති වන රිලයන්ස් සමාගම ඉන්දියාවේ විශාලම සමාගම් සමූහවලින් එකක්. බොහෝ ප්‍රකෝටිපති ඉන්දියානු සමාගම් මෙන්ම රිලයන්ස් සමාගමත් අම්බානි පවුලේ ව්‍යාපාරයක්. දුගියෙකුව සිට දැවැන්ත රිලයන්ස් සමූහ ව්‍යාපාරය ගොඩනැගූ ශූර ව්‍යාපාරික ධිරුබායි අම්බානිගේ පුතුන් දෙදෙනා වන මුකේෂ් හා අනිල් අතර බෙදී ගිය සමාගම් අතරින් දැන් කරලියට පැමිණ තිබෙන්නේ මුකේෂ් සභාපති හා කළමණාකරණ අධ්‍යක්ෂක දූරය හොබවන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමයි. 2016/2017 මූල්‍ය වසර සඳහා ඩොලර් බිලියන 51ක ආදායමක් ඉපැදවූ මුකේෂ්ගේ රිලයන්ස් සමාගම විටින්විට ඉන්දියානු ව්‍යාපාරික ක්ශේෂ්ත්‍රය වියවුල් කරන අන්දමේ ව්‍යාපාරික උපක්‍රම භාවිතා කරන සමාගමකි.

මුකේෂ් අම්බානිගේ අලුත්ම ව්‍යාපාරික උපක්‍රමය වන්නේ ඉන්දියාවේ එක තැන පල්වෙන ජංගම දුරකථන කර්මාන්තය දැවැන්ත විපර්යාසයකට බඳුන් කිරීමයි. නවතම ඇස්තමේතුවලට අනුව ඉන්දියාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන් මිලියන 780කි. මෙයින් දුරකථන කෝටි 50ක් හෙවත් මිලියන 500ක්ම ෆීචර් ෆෝන් හෙවත් 1G/2G තාක්ෂණයන් භාවිතා කරන පැරණි මාදිලියේ ජංගම දුරකථනය. මුකේෂ් අම්බානිගේ   රියලන්ස් ජියෝ සමාගමේ අරමුණ මේ ඉන්දියානුවන් කෝටි 50ටම, නොමිලයේම වාගේ භාවිතා කළ හැකි 4G තාක්ෂණයේ ෆීචර් ෆෝනයක් ලබාදීමයි. රිලයන්ස් ජියෝ සමාගමට නායකත්වය දෙන මුකේෂ්ගේ නිවුන් දුව හා පුතා - ඊෂා හා ආකාෂ්ය.

ඇත්තෙන්ම, මුකේෂ්ගේ 'රිලයන්ස්'' සමාගම RIL යනු ඉන්දියාව දුවවන සමාගම් අතළොස්ස අතරින් එකකි. එය තෙල්- ස්වභාවික වායු- බොර තෙල් ආශ්‍රිත රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන, ආහාර විකිණුම්හල්- උසස් අධ්‍යාපන ආයතන- ජීව විද්‍යා පර්යේෂණාගාර- විශේෂ ආර්ථික කලාප හිමි ආයතනයකි. RIL, මෑතකදී ඉන්ෆොටෙල් රූපවාහිනී සමූහායතනයේ කොටස්වලින් 95%ක් මිලට ගත්තේය. ඉන්ෆොටෙල් යනු රූපවාහිනී පුවත් සහ විනෝදාත්මක නාලිකා විසි හතක් අයත් (CNN-IBN, IBNLive, CNBC, IBNLokmatසහ ETV ද ඇතුළත්) ආයතනයකි. 4G Broadband අධිවේගී තොරතුරු මග සඳහා ජාතික මට්ටමේ බලපත්‍රය හිමිව ඇත්තේ ද ඉන්ෆොටෙල් ආයතනයටයි.

 මෙමආතනයේ ක්‍රියාකාරීත්වය යුරෝපය, මධ්‍යම ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව දක්වාත් පතුරවා  තිබේ. ඔවුන්ගේ ජාලය බෙහෙවින් පළල්ය. ඒවා දෘශ්‍යමානව ද අදෘශ්‍යමානව ද, පොළව මතුපිට සහ පාතාලයේ ද විසිරී තිබේ.  ලුණු කැටයේ සිට තෙල් නැව් දක්වා සියල්ල  ඔවුන්ගේය. මේ නිසා ඔහුගේ ආයතනයට  වෙළඳ ප්‍රචාරණ පාඨය ලෙස “ඔබට අපෙන් තොර ජීවිතයක් නැත” යන්න පහසුවෙන්ම යෙදිය හෑකි බව එරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පවතින  රස කතාවකි. ඔහුගේ ව්‍යාපාරික ජාලය ඒතරම්ම පුළුල්ය.

- සුගත් පී.කුලතුංගආරච්චි