2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

නිදිමතනම් එළවන්න එපා!

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 221

අලුත් අවුරුදු දින කීපය ගෙවා දැමීමට මාරයා විවිධ උපක්‍රය භාවිතා කර තිබුණි. ගෙවුණු දින කීපයේදී ප්‍රධාන උපාය වශයෙන් රිය අනතුර යොදාගෙන තිබූ අතර බීමත්කම සහ ආරවුල් ඒ අතරය. සියල්ලට සහාය වෙමින් ජීවිත හානි වාර්තා කරමින් වූ මගඅනතුරුවලින් පසුව දිවි බේරාගත් බොහෝ රියදුරන් පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබුණේ නින්දයාම නිසා අනතුර සිදුවූ බවකි.

නිදිබර රියදුරන්ගේ මාර්ගයෙන් බොහෝ දෙනෙක් නිකරැනේ මරු වසඟයට ගත්තද මේ අනතුරු සියල්ල වළක්වා ගත හැකිව තිබූ ඒවාය. රියදුරන්ගේ නොසැලකිල්ල නිසා මාරක අනතුරු බහුතරයක් සිදුව ඇති බවට පොලීසිය ප්‍රකාශ කරයි.

නිදිමතේ කුසගින්නේ රිය පැදවීම හෝ නොනවත්වා අධික වේගයෙන් ධාවනය අවශ්‍ය නැත. විවේකයක් ලබාගැනීම, නිදාගැනීම, වෙනත් රියදුරුවරයෙක් යොදාගැනීම හෝ නොකොට අනතුරුවලට මුහුණදී ඇත්තේ නොසැලකිල්ල නිසාය. අපරික්ෂාකාරී රිය ධාවනයෙන් අනතුරක් සිදුකළ පසුව අහිමි වූ ජීවිත යළි ගොඩනැගෙන්නේ නැත. අනතුරුව නිදහසට කාරණා වශයෙන් නින්ද ගිය බව පැවසීය නීතියෙන් ගැලවීමට හේතුවක් නොවේ.

 

මේ සම්බන්ධයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ කියයි.

නිදිමත තෙහෙට්ටුව විඩාව හෝ අසනීප තත්ත්වයන් හේතුවෙන් අනතුරක් සිදුවූයේ නම් වෙනත් රටක නම් එම රියදුරන්ගේ බලපත්‍ර අවලංගු කරනවා. යළිත් රියදුරු බලපත්‍රය ලබාගැනීම ඉතාම අසීරු කාර්යයක් වෙනවා. එවැනි සිදුවීමකදී එම රටවල රියදුරන්ට වෛද්‍ය පරීක්ෂණ රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම නිරතුරුවම රියදුරන් දැනුවත් කිරීම් සිදුකරනවා. නිදිමත වෙලාවට රිය පැදවීමෙන් වළකින ලෙස සමහර නවීන රථවාහනවල තාක්ෂණික උපක්‍රම ක්‍රියාත්මක වෙනවා. රියදුරුට නිදිමත හෝ තෙහෙට්ටුව ඇත්නම් ස්වයංක්‍රීයව වාහනයෙන් ඒ බව දන්වනවා. තවදුරටත් රිය ධාවනය නොකරන ලෙස මතක් කරනවා. මේ විදිහට ලංකාව දියුණු වෙලා නෑ.

ලංකාවේ අපි කරන්න අවශ්‍ය වෙන්නේ මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම. ඕනම වෙලාවකදී ගමන පරක්කු වුණත්, වෙනත් ආර්ථික පාඩුවක් සිදුවුණත් තවදුරටත් ධාවනය නොකර ඉන්න. වෙන මොන පාඩුව වුණත් තමන්ගේත් අනුන්ගේත් ජීවිත ආරක්ෂාවීම සිදුවෙයි. ඒකයි වැදගත් වන්නේ. ඒ තරමටම ආකල්පමය වෙනසක් ඇති කිරීමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි රියදුරු හැර තවත් අය වාහනයේ ඉන්නවා නම් ඔවුන් රියදුරු සමඟ සංවාදශීලී වීම, රියදුරා ඇහැරලා ඉන්නවාද බලන්න ඒ විදිහට අවධානයෙන් ඉන්න. දැනට ලංකාවේ තත්ත්වය අනුව නම් මේ ක්‍රමදෙක අනුගමනය කළ යුතුයි. රියදුරු සහ මගීන් ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.

අවුරුදු සමයේ බොහෝ අනතුරු වෙලා තිබුණා. අපි දිගින් දිගටම කළ දැනුම්වත් කිරීම නිසා බීමත්ව රිය පදවා සිදුකළ අනතුරු අඩුවෙලා තියෙනවා. මේ හේතු නිසා ඉදිරියේදී රියදුරු බලපත්‍ර ලබාදීමේදී කාලය දීර්ඝ කිරීමේදී කාලසීමා පැනවීමට සිදුවෙයි. ඒ අනුව ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයකදී නිසියාකාරව සමත්වන පිරිසකට පමණක් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට සීමා කිරීම සිදුවෙයි. අනතුරක් සිදුකළාට පසුව නින්දයාම, තෙහෙට්ටුව හෝ ඒවාට කිසිදු නිදහසට කාරණයක් නොවේ.

 

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පවසන්නේ මෙයයි

මාර්ග අනතුරු පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා කරනවා. රිය අනතුරු නිසා සෑම පැය තුනකටම වරක් පුද්ගලයෙක් මිය යනවා. මේ විදියට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා කරන්නේ අධික වේගයෙන් රිය පැදවීම වැරදි ලෙස ඉස්සර කිරීම සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතා කර රිය පැදවීම නිසයි. මෙය තමයි ඉහළම මට්ටමේ වාර්තා වෙන්නේ. නමුත් මෑතක සිට ජංගම දුරකථන භාවිතා කිරීම සහ නිදිමත නිසා රිය අනතුරු වාර්තා වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා.

කෙනෙක් වාහනයක් පදවාගන යද්දී ක්ෂණිකවම නිදිමත එන්නේ නෑ. ඊට පෙර ටික වෙලාවක සිට වෙහෙස ගතිය නිදිමත ගතිය පෙන්නුම් කරනවා. ඇඟට දැනෙනවා. ඒ වෙලාවේදී රියදුරුගෙ වගකීම තමයි රථය නවත්වා විවේක ගැනීම, නිදාගැනීම වෙහෙස සහ නිදිමත නොතකා ධාවනය කිරීම නොකළ යුතුයි. එහෙම නොකරන විට තමයි දෑස පියවීමත් සමග රියදුරුගේ පාලනයෙන් රථය ගිලිහිලා අනතුරකට පත්වෙන්නේ. මේක පාලනය කිරීමට නම් අනිවාර්යයෙන් රියදුරන් සහ පුද්ගලයන් තුළ ස්වයං විනයක් ඇතිකර ගත යුතුයි.

මේක අවබෝධයෙන් තොරව රිය පැදවීම තමයි අනතුරුවලට හේතුව. විදෙස් රටවල නම් සාමාන්‍යයෙන් රියදුරකුට පැය 4ක් වගේ උපරිම කාලයක් තමයි රිය පැදවීමට දෙන්නේ. ඊට පසුව විවේකය ලැබෙනවා. නමුත් අපේ රටේ රියදුරන් මුදල් පස්සේ යන්න කාලය වේගය නොබලා ක්‍රියාකරනවා. එහෙම යද්දී නිදිමත හා වෙහෙස ඇතිවෙනවා. ලංකාවේ වෘත්තීය රියදුරන් සඳහාත් මේ විදිහට උපරිම කාලසීමාවක් පැනවීම කළයුතුයි. අවශ්‍ය විවේකය ලබාදිය යුතුයි. අනතුරකට පස්සෙ නිදහසට කාරණාව විදිහට නින්ද ගිය බව කියනවා. නමුත් ඒක අපට පිළිගන්න බෑ. ඒක නිදහසට කාරණාවක් නොවේ. ඒකට වරදකරු ඔහුමයි. දුරගමනක් යනවා නම් රථයේ මගීන්ගේ යුතුකමක් තමයි රියදුරු සමඟ කතා කිරීම සංග්‍රහ කිරීම හා විවේකය ලබාදීම නැත්නම් සහාය සඳහා තවත් රියදුරෙක් යොදාගැනීම කළ යුතුයි.

 

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා

අවුරැදු සමයේ බොහෝ අනතුරුවලට හේතුවෙලා තිබුණේ නිදිමත ගතියෙන් රිය පැදවීමයි. දිනක් දෙකක් එක දිගට රිය පදවන්නේ යනවා නම් පැය කීපයකට වතාවක් විවේක ගත යුතුයි. එම විවේකය මිනිත්තු 20ක්වත් තිබිය යුතුයි. නිදිමරපු රියදුරෙක් නම් ඔහු කිසිසේත්ම වාහන ධාවනයට සුදුසු නෑ. මගීන් කිසිම වෙලාවක රියදුරුට හදිස්සි නොකළ යුතුයි. මගීන් රියදුරුව අධීක්ෂණය කිරීම වැදගත්. ඔහුට පාන වර්ග ලබාදීම, සංවාද කිරීම හා විවේකය ලබාදීම ඔවුන්ගේ යුතුකමක් වෙනවා.

නිදිමත හා වෙහෙස වැඩිනම් ඇස පියවීම ක්ෂණිකව සිදුවෙනවා. නිදිමත වෙහෙස මහන්සිය නිසා කෙනෙකුට හදිසි තීරණයක් ගැනීමේ හැකියාව නැතිවෙනවා. රියදුරුගේ ආහාරපාන පිළිබඳව මගීන් අවබෝධයෙන් සිටිය යුතුයි. ඒ සඳහා වෙලාව හා පහසුකම් සැපයිය යුතුයි. බඩගින්නේ වාහන පැදවීම නොකළ යුතුයි. ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. දුර ගමනක් යනවා නම් සෑම කිලෝමීටර් සීයකටම පැය දෙකක විවේකයක් ගත යුතුයි. නිදිමත නම් මිනිත්තු විස්සක කෙටි නින්දක් ලැබීම වගේම රියැදුරුගේ සෞඛ්‍ය තත්ත්වය මත යම් ඖෂධ වර්ගයක් පානය කර ඇත්නම් ඒ පිළිබඳව මගීන් අවබෝධයෙන් සිටීම වැදගත්. ඇතැම් ඖෂධවලට නින්ද යාම සිදුවෙනවා. ඒ පිළිබඳව මගීන් අසා දැනගැනීම සුදුසුයි.

පළපුරුදු වුණත් රාත්‍රිය පහන්වනතුරු රිය ධාවනය සුදුසු නෑ. රියදුරන්ට සැප පහසු නින්දක් ලබාදිය යුතුමයි. ඔවුන්ට හදිස්සි කිරීම නොකළ යුතුයි. ඒ වගේම යම් කිසි අයකු රිය පදවන බව දැන දැනම ඔහුට දුරකථන ඇමතුම් ගැනීම නොකළ යුතුයි. අවශ්‍ය පරිදි ජලය පානය කළ යුතුයි. ගැලපෙන ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කළ යුතුයි. අධික හිරැ රශ්මිය තිබෙනවා නම් අවු කන්නාඩි පැළඳීම වැදගත් වෙනවා. රියදුරුට හුස්ම ගැනීමට හොඳ වාතාශ්‍රයක් තිබිය යුතුයි. ඒ වගේම රියදුරු අසුන පරිශ්‍රයේ යම් සුවඳක් වහනය වීම වෙහෙස විඩාව මැඩලීමට හේතු වෙනවා.

කෙටිකෑම වර්ග හප හපා යාම සුදුසු නමුත් අපේ රටේ අය බුලත්විට කාලා කෙළ ගැසීමට තැත් කිරීම තවත් අනතුරකට හේතුවෙන බවක් දකිනවා. එය එතරම් සුදුසු එකක් නොවේ. කොහොම නමුත් නිදිබර ගතියෙන් රියදුරු අසුනට නොයාම කළ යුතුයි.

සමන්ත ප්‍රදීප් විල්තෙර