2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

බෙහෙතක් නැති පළාත් සභා ඡන්ද අජීර්ණය

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

ඉතිහාසයේ ප්‍රථම වතාවට පළාත් සභා මැතිවරණය දැවැන්ත අවුලක් වී ඇත. පළාත් සභා මැතිවරණය එන්න එන්නම කල් ගොස් ඇති නිසා පක්ෂවල මෙන්ම සමාජය තුළද විවිධ කතාබස් ඇතිව තිබේ. විශේෂයෙන් පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන ආයතන සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ප්‍රමාද වී ඇතුවා සේම එකී පාලන ව්‍යුහය පවා දියාරු මට්ටමකට පැමිණ ඇත. විශේෂයෙන් මේ වනවිට පළාත් සභා හතක පාලනය සිදුවන්නේ ආණ්ඩුකාරවරයා හරහාය. මේ නිසා පක්ෂ විපක්ෂ බොහොමයක් දෙනා සිටින්නේ ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය යන මතය තුළය.

එහෙත් පුදුමය නම් ආණ්ඩුව තවමත් ඊට සුදානම් බවක් නොපෙන්වීමයි. පළාත් සභා මැතිවරණය කල්මරමින් ආණ්ඩුව සේම විපක්ෂයද දැන් බලාපොරොත්තුවෙන් සිටින්නේ ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයකි. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා පවසා සිටියේ තමන් මැතිවරණය ලබාගැනීමේ අරමුණින් අධිකරණයට යන බවය. එහෙත් ඒ මහතා මීට පෙර කියා සිටියේ පළාත් සභා ඡන්දය මේ වසරේ නොපැවැත්වුවහොත් තමන් කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවය. කෙසේ වෙතත් එතුමාට මෙම තනතුරෙන් ගෙදර යාමට සිදුවුව ද පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අරමුණක් ගැන ආණ්ඩුව සිහි කල්පනාවක නැත.

මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ ජනාධිපතිවරයා පවා කියා සිටියේ පළාත් සභා මැතිවරණය කල්යාම ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැති බවය. ඒ ගැන කතා කරන්නට එන්.ජී.ඕ. අයවත් නැති බව ජනාධිපතිවරයා කීය. එය ඇත්තය. අද වනවිට එන්.ජී.ඕ පමණක් නොව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ද නිහඬය. එයට හේතුව එම නිරීක්ෂණ කණ්ඩායම්වල ඇතැම් ප්‍රධානීන් අද පළාත් සභාවේ ආණ්ඩුකාර පුටුවේ වැජඹීමයි. ඒ නිසා කටක් ඇර ඔවුන්ට මේ මැතිවරණය ගැන කතා කිරීමට හැකියාවක් නැත.

අපි පළාත් නවයේ ධූර කාලය සම්බන්ධයෙන් මෙසේ සොයා බැලීමක් කළෙමු.

01. උතුරුමැද පළාත් සභාව - නිල කාලය අවසන් වී වසරයි මාස පහක් පසුවී ඇත.

02. සබරගමුව පළාත් සභාව - නිල කාලය අවසන් වී වසරයි මාස පහක් පසුවී ඇත.

03. නැගෙනහිර පළාත් සභාව - නිල කාලය අවසන් වී වසරයි මාස පහක් පසුවී ඇත.

04. මධ්‍යම පළාත් සභාව - නිල කාලය අවසන් වී මාස පහක් ඉක්මවා ඇත.

05. වයඹ පළාත් සභාව - නිල කාලය අවසන් වී මාස පහක් ඉක්මවා ඇත.

06. උතුරු පළාත් සභාව - නිල කාලය අවසන්ව මාස පහක් ඉක්මවා ඇත.

07. බස්නාහිර පළාත් සභාව - නිල කාලය මේ මස අවසන් වේ.

08. දකුණු පළාත් සභාව - නිල කාලය අවසන් වී සතියයි.

09. ඌව පළාත් සභාව - නිල කාලය අවසන් වීමට තව මාස හයක් ඇත.

මේ ආකාරයෙන් පළාත් සභා ධුර කාලය පෙළගැස්වෙන අතර ඉන් හයකම මැතිවරණ අවුරුදු, මාස ගණනකින් කල්දමා ඇත.

කෙසේ වෙතත් මේ මැතිවරණය කල් යාමට හේතු වූයේ 2017 ඔක්තෝබර් මාසයේ දී මිශ්‍ර - සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුවේ දී පනතක් සම්මත කර ගැනීමයි. එම පනත සම්මත වීමෙන් පසුව මැතිවරණ සීමා නිර්ණය සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කෙරිණි. එම කමිටුව 2018 පෙබරවාරි මාසයේ දී සිය වාර්තා ලබා දෙනු ලැබීය.

එම වාර්තාවට 2/3ක බලයක් ලබාගත යුතුව තිබූ අතර එය 2018 අගෝස්තු මාසයේ දී එවකට විෂය භාර අමාත්‍යවරයා වූ ෆයිසර් මුස්තාෆා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අවසානයේ එය පරාජයට පත් විය. එක් මන්ත්‍රීවරයකු මේ සඳහා සහාය නොදැක්වූ අතර 139ක් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළහ.

එය පරාජය වූ නිසා කතානායකවරයා විසින් එම වාර්තාවේ අඩුපාඩු සැකසීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ වාර්තාව මාස දෙකක් ඇතුළත ලබාදීමට නියමිත විය. ඒ හරියටම 2018 ඔක්තෝබර් 28 වැනිදාටය. එහෙත් 26 වැනිදා හදිසි ආණ්ඩු පෙරැළියත් සමඟ වැඩේ කනපිට පෙරැළිණි. දැන් මේ වනවිට වැඩේ ඇදි ඇදී යන අතර මැතිවරණය ගැන පක්ෂ විපක්ෂ අයගේ විවිධ මත පළවෙයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් පවසා සිටියේ සීමානිර්ණය සම්බන්ධයෙන් වූ වාර්තාව හැකි ඉක්මණින් ජනාධිපතිවරයාට ලබාදෙන ලෙස කියාය. ඉන් අනතුරුව එය ගැසට් කිරීමෙන් පසුව මැතිවරණයට යා හැකි බව ඔහු දන්වා ඇත. එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් තවම ප්‍රතිචාර නැත.

මේ අතර එජාපයත්, පොහොට්ටුවත් ඉල්ලන්නේ මොන ක්‍රමයකට හෝ ඡන්දයට යමු කියාය. එහෙත් ශ්‍රිලනිපය ඊට විරුද්ධ අතර ඔවුන් පවසන්නේ මිශ්‍ර ක්‍රමයට ඉක්මනින් මැතිවරණයකට යමු කියාය. මෙලෙසින් වැඩේ ඇදි ඇදී යාම නිසා මේ මාසය අවසන් වනවිට පළාත් සභා අටක මැතිවරණය පැවැත්වීම නියමිතය.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ තමන් අධිකරණයට හෝ යාමට සූදානම් බවය. මීට පෙර මැතිවරණ නිරීක්ෂකයෝ ද ඒ මතය දැරූහ. එහෙත් ඒ සියල්ල හුදු ප්‍රකාශ පමණි. එහි වගකීම ආණ්ඩු පක්ෂය ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ 225ටම පැවරී ඇත. එහෙත් ඔවුහු ද තවමත් නිවැරදි ස්ථාවරයක නොසිටිති.

ඔවුන් සියලු දෙනාම උත්සාහ ගන්නේ කෙසේ හෝ ජනාධිපතිවරණයකට ගොස් තමන්ගේ අයකු රටේ නායකයා කිරීමටය. අනෙක් පැත්තෙන් ඔවුහු තමන්ගේ කුලකයට බලය ලබාගනිමින් ආණ්ඩුවක් ගොඩනැගීමේ සිහින දකිති. එහෙත් මේ කිසිවකු පළාත් සභාවට වැදී ඇති හෙණය ගැන සොයා බැලීමක් නොකරයි. විශේෂයෙන් පළාත් සභා යටතේ ක්‍රියාත්මක පාසල්, රෝහල් වැනි රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවයක් ඉදිරියේ දී බලාගත හැකි වේද?

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තමන්‍ට හිතවත් අය ආණ්ඩුකාර ධුරයේ හිඳුවා පාලනය කිරීමට උත්සාහ ගන්නේ මේ අවුලෙන් මිදෙන්නට යැයි එක් පැත්තකින් සිතිය හැක. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතා නියෝජනයක් නොමැති ආණ්ඩුකාරවරයකුට පළාතේ සියලු තීන්දු තීරණ ගැනීම එක් පැත්තකින් විධායකයේ බලය පෙන්වීමක් විය හැක. ඒ නිසා මහජන නියෝජිතයන් උත්සාහ කළ යුත්තේ ඉක්මනින් ජනතා පරමාධිපත්‍යයට ඉඩ හසර ලබාදී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම නොවේද? එය අමතක කර කල්මැරීම හරහා රාජ්‍ය පාලනයේ එක් වගකීමක් මග හැරෙනු ඇත. එය සුළුපටු ක්‍රියාවක් නොව, අනාගත අවුලකට අත වැනීමකි. එසේ නම් අධිකරණයට ගොස් ඡන්ද අයිතිය ඉල්ලීමට වඩා තියෙන ක්‍රමයෙන් හෝ සැනසීම ලබාගැනීම සුදුසු ක්‍රමය නොවේදැයි අපට ප්‍රශ්නයකි.

(ගයාන් ගාල්ලගේ)

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00