2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

ආර්. එම්. වී. එක හොාර ගුහාවක්ද?

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් උත්තර දෙයි

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මැතිඇමැතිවරු රැසකගේ විවේචනයට ලක්විය. එහිදී මෙම ආයතනය හොර ගුහාවක් බවට චෝදනා නැගිණි. මේ චෝදනා සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා සමඟ සිදුකළ සංවාදයකි.

අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ අයවැය විවාදය දවසේ මොකද වුණේ?

නිසි කරුණු වාර්තා කිරීමකින් තොරව වෙච්චි දෙයක්. ඒ මන්ත්‍රීවරිය පිළිබඳව වරදක් කියන්න බෑ. ඇයට ලැබුණු කරුණු මතයි ඇය අදහස් දක්වන්න ඇත්තේ. මේ ආයතනයෙන් ප්‍රධාන සේවාවන් හයක් සිදුකරනවා. සියල්ලම කරන්නේ නීතියේ තිබෙන විධි විධාන අනුවයි. මම මේ ආයතනයේ වැඩ බාරගන්නේ 2015 වසරේදී. මේ කියන කාරණා සියල්ලම මා එන්නට පෙර කැබිනට් මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මගින් තෝරාගත් කොන්ත්‍රාත්. තීරණය කර තිබූ දේ ක්‍රියාත්මක කිරීම පමණයි මගෙන් සිදුවෙන්නේ. එදා කියපු චෝදනා මට අදාළ නෑ.

කුමාර වෙල්ගම මහතා කියනවා මෙතන හොර ගුහාවක් කියලා. එහෙම කියන්න පදනමක් තිබෙනවාද?

අපිට පාලනය කරන්න බැරි හේතු තියනවා. රියදුරු බලපත්‍රයක් ලබාගනිද්දී ක්‍රමවේදයක් තිබෙනවා. එක් අවස්ථාවක චෝදනා නැති කරන්න අපි ටච් ස්ක්‍රීන් ක්‍රමය හඳුන්වා දුන්නා. එය තාක්ෂණික වශයෙන් කරන එකක්. ඉතා පහසු ක්‍රමයක්. මේක නිසා ඇතැම් නිලධාරීන්ට බඩට වැදිලා තියෙනවා. එයාලා දැන් වියරු වැටිලා. මේ සිදුවීම් කාලයක පටන් වාර්තා වෙලා තියෙනවා. හිටපු ඇමතිතුමාටත් වැරදි අවබෝධයක් ලබාදීමට එම පිරිස් කටයුතු කර තිබෙනවා.

හිරුණිකා මන්ත්‍රීතුමිය කියනවා ආයතන ප්‍රධානියා අඩු වැඩි වශයෙන් මුදල් එකතු කරනවා. ඒවායෙන් කොටසක් හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල මහතාට දෙනවා කියලා?

මේක ලොකු චෝදනාවක්. ඇත්ත වශයෙන්ම ඒ පිළිබඳව කනගාටු වෙනවා. ආයතනයේ මුදල් අයකිරීම් පිළිබඳව පුවරු දක්වා තිබෙනවා. පාරිභෝගිකයන් ගෙවිය යුත්තේ අදාළ මුදල පමණයි. මුදල් බැංකුවට ගෙවූ අවස්ථාවේම කෙටි පණිවුඩයක් මගින් ඔවුන්ගේ ජංගම දුරකතනයට ලබාදෙනවා. කීපදෙනෙක් යම් විදිහකට මුදල් උපයනවා වෙන්න පුළුවන්. එහෙම වාර්තා වන අවස්ථාවලදී අපි මෙවැනි නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දෙනවා. ඊමෝටරින් ක්‍රමය එහි දිගුවක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. 

අර්ජුන රණතුංග ඇමැතිවරයා අමාත්‍යාංශය බාරගත්තාට පසුව ඔබට තනතුරින් ඉල්ලා අස්වෙන්න කීවාද? නැත්නම් ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා අවස්ථාව නොදුන්නාද?

මම නම් එහෙම දෙයක් දන්නේ නෑ. නමුත් සමහර වෙබ් අඩවි මගින් ප්‍රචාරණය කරනවා එවැනි තොරතුරු. ඒවායේ සත්‍යයක් නෑ. මම එහෙම දෙයක් විශ්වාස කරන්නේ නෑ.

පාර්ලිමේන්තුවේදී මේ ආයතනය පමණක් මෙතරම් දූෂිතයි කියලා විවේචනය කරන්න හේතුව මොකක්ද?

එහෙම හේතු තිබෙනවා. ප්‍රධානම කාරණය අපේ ආයතනය තමා සීඝ්‍රයෙන් අලුත් වෙනස්කම්වලට ලක්කරන ආයතනය. සද්ද බද්ද නැතුව කරන වැඩ අතර ඉ.මෝටරින් ක්‍රමය සහ ටච් ස්ක්‍රීන් ක්‍රමය විශේෂිතයි. ටච් ස්ක්‍රීන් ක්‍රමය නිසා රියදුරු බලපත්‍රය ලබාගන්න විභාග ලියන්න අවශ්‍ය නෑ. සම්ප්‍රදායික ප්‍රායෝගික රියදුරු පරීක්ෂණය වෙනස් කිරීම, පෙරහුරු පරීක්ෂණය සඳහා ධාවන පථ සකස් කිරීම ඒ සඳහා මෙහෙයුම් මැදිරියක් නිර්මාණය විශේෂයි. ඇතැම් දූෂිත නිලධාරින් මේවාට විරුද්ධයි. ඔවුන් නිසා ජනතාව පීඩාවට පත්වෙන සිදුවීම් වෙනවා. අපි ඇවිත් ඉන්නේ ඒවා නතර කරලා යහපත් සේවයක් ලබාදීමට. මේවාට විරුද්ධ පිරිස් මුදල් ජාවාරම්වලට හුරුවූ අය බොරු තොරතුරු සමාජ ගත කරන්න හදනවා. පාර්ලිමේන්තුවේ කතා කළේ එවැනි කාරණා. 

දූෂිත නිලධාරීන් විරුද්ධ නමුත් ඔබ සිදුකළ එවැනි කාර්යන් මොනවාද?

වාහනයක් ලියාපදිංචියේදී තමුන්ට අවශ්‍ය අංකය තෝරගන්න පහසුකම් හදලා තියනවා. නව පෝලිම් ක්‍රමයක් හඳුන්වලා තියෙනවා. ඒකෙදී කාටවත් අතපාන්න මුදල් ගෙවන්න අවශ්‍ය නෑ. තමුන්ට ආපු පිළිවෙලට නිදහසේ වැඩක් කරගන්න පුළුවන්. පිට පළාත්වල ජනතාවට අවශ්‍ය පහසුකම් දිස්ත්‍රික් මට්ටමින් ලබාදී තිබෙනවා. ඔවුන් කොළඹට පැමිණීම අඩුකරලා තියනවා. පනත අනුව දින 14ක් ඇතුළත වාහනයක් ලියාපදිංචිය සහ පැවරීම කළ යුතුයි. ඇතැමුන්ට එය ගැටලුවක්. අනවශ්‍ය විදිහට දඩ ගැසීම සිදුවුණා. ඒ අයට සහනයක් ලබාදුන්නා. මේ සහනය දූෂිත නිලධාරින්ට බාධාවක් වෙලා තියෙනවා. කුඩු පාතාලය ගැන මාධ්‍ය කතා කළත් ලංකාවේ වාහන පාතාලය ගැන කතා කරන්නේ නෑ. මේවට සම්බන්ධ පිරිස් දැන් ඇවිස්සසිලා ඉන්නේ. ජාවාරම් මුදල් නැති වීම නිසා. කොහොම වෙතත් ඉ මෝටරින් ක්‍රමය හරහා මේ කියන දූෂණ වංචා සේරම අවසන් කරනවා. 

වාහන අංක තහඩුව සහ රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරයට අදාළව චෝදනා එල්ල කරනවා නේද?

ටෙන්ඩර් සියල්ල මගේ බල පරාසයෙන් එපිට දේවල්. 2010 වසරේ සිට ක්‍රියාත්මක වෙන දෙයක්. එය අවසන් විය යුත්තේ 2015දී. කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුවක් මගින් එම කාලය දීර්ඝ කරලා තිබුණා. ඒක සිදුවුණේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුවයි. දේශීය හා විදේශීය සමාගම් දෙකක් ඒකාබද්ධ වෙලා එය සිදුකරන්නේ. විශේෂයෙන් එවැනි ආරක්ෂිත ක්‍රමවේදයක් සහිත මුද්‍රණ තාක්ෂණයක් ලංකාවේ නෑ. ඒ නිසයි විදේශීය සමාගමක් යටතේ මෙය සිදුකරන්නේ. රටේ ආරක්ෂක අංශ මේ ක්‍රමවේදයට කැමතියි. මෙමගින් වාහන වංචා ජාවාරම් අවම මට්ටමක පවතින නිසා. මේ නිසා ආරක්ෂක අංශවලින් පවා ඉල්ලීම් කරනවා මේ ක්‍රමයට හමුදා වාහන අංක තහඩුත් නිකුත් කරන ලෙසට. 

ඉ.මෝටරින් ව්‍යාපෘතිය විදේශයකට අලෙවි කිරීමේ සැලසුමක් තියන බවට චෝදනා එල්ල වෙන්නේ ඇයි?

එහෙම විදේශයකට අලෙවි කිරීමක් නෑ. ප්‍රසම්පාදන ක්‍රියාවකදී විදේශවලට අවස්ථාව දෙන්නේ අත්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක හොඳම දේ අපේ රටට ලබාගැනීමේ චේතනාවෙන්. ලංකාවේ ඇතැම් සැපයුම් හා සේවාවන් විදේශවලින් මිලදී ගත්තු අවස්ථා තිබෙනවා. පිටරට කම්පැණි අපිට ඉල්ලුම් කරන්නේ එම නිසයි. ඔවුන් මේ ව්‍යාපෘතියේදී BOT ක්‍රමවේදය අනුව අපි වෙනුවෙන් තාක්ෂණික ක්‍රමවේදය පවත්වාගෙන යනවා. අපි මොකුත් විකුණලා නෑ. සියලු කාර්ය කරන්නේ මෙතන ඉන්න රාජ්‍ය නිලධාරීන්ම තමයි. ඔවුන්ගේ තාක්ෂණික මෘදුකාංග නවීන හා අපිට ගැලපෙන නිසයි ආයතනය තෝරාගන්නේ. මේ තෝරා ගැනීම රටේ නීතිමය වටපිටාව මතයි සිදුකළේ. මෙය නොදන්නා පිරිස් විවිධ චෝදනා එල්ල කරනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර කාර්යාලය දැන් සෙනසුරාදාත් විවෘතයි. විශේෂ ප්‍රගතියක් තිබෙනවාද?

ප්‍රගතියක් තිබෙනවා. රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී වෛද්‍ය සහතික අවශ්‍යයි. ඒක කරන්නේ ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින්. එතන ලොකු තදබදයක් තිබුණා. අමාත්‍යාවරයා ඒ බව දැක්කා. ඒ නිසා තීරණය කළා සෙනසුරාදා දිනයේ විවෘත කරලා සේවය දෙන්න. මේ නිසා තදබදයත් අඩු වුණා. ඇමතිතුමාගේ උපදෙස් මත අපිත් සෙනසුරාදා විවෘතව තබලා අවශ්‍ය සේවය ලබාදුන්නා. ඒක පාරිභෝගික ජනතාවට සහනයක් වෙලා තියෙනවා. කාටවත් මේ නිසා නිවාඩු දාලා වරුවෙන් ඇවිත් මහන්සි වෙන්න කාටවත් සල්ලි දීලා කෙටි ක්‍රම හොයන්න අවශ්‍ය නෑ. මේ ක්‍රමය ඉදිරයේදී දිස්ත්‍රික් කාර්යාලවලටත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. මේ නිසා අත යට ගනුදෙනු කළ පිරිස් විවිධ මඩ ප්‍රහාර ගෙනියන්න උත්සාහ ගන්නවා. 

 සංවාද සටහන :- සමන්ත ප්‍රදීප් විල්තෙර
     සේයාරුව :- සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00