2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

චාරිත්‍ර වාරිත්‍ර අතහැරීම සමාජයෙන් ඈත්වීමක්

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 1948

ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මභානී, දෙකටන නාමළුව පුරාණ විහාරාධිකාරී වෙන්නවත්තේ රතනජෝති හිමි

සිංහල අවුරුද්දේ විශේෂත්වය තමයි මුළු රටේම ජනතාව එකම මොහොතක සියලු වැඩ නවත්වා යළිත් එකම මොහොතක වැඩ යළිත් ආරම්භ කිරීම. ඒකට දෙමාපියෝ, දරුවෝ, පවුලේ සියලුදෙනාම එදා එකතු වුණා. ලෝකයටම ආදර්ශයක් ලැබුණා. සිංහල - හින්දු අලුත් අවුරුද්ද කියලා හැඳින්වුවත් මේ චාරිත්‍ර බෞද්ධ හුරැවක් ඇතිව තමයි බිහිවෙලා තිබෙන්නේ.

සූර්යයාගේ සංක්‍රාන්තිය සමඟ මේ සිදුවීම් මාලාවේ වැඩ නැවැත්වූ නොනගත කාල සීමාවේ පිංකම්වල යෙදීමට බෞද්ධ ජනතාව පුරුදු වී සිටියා. මෙම සිරිත් විරිත් චිරාත් කාලයක් කරගෙන පැමිණීමෙන් අපේ පවුල්වල එකුමුතුකම, සාමය සමගිය ඇතිවී භේදභින්න වී සිටි අය පවා එකමුතු වුණා. මෙහෙම තරහ මරහ නවත්වා සාමය ළඟාකර ගැනීමට තරම් මිනිසුන් නිහතමානී වුණා. මිනිසුන් ආගමික ශික්ෂණයක් ඇතිකර ගත්තා. අපට ස්වභාව ධර්මය පවා අවුරුද්දට ආශීර්වාද කළා. මහා මුදල් ගොඩත් අතේ නැතිවුණත් තිබෙන මුදලින් සරලව සතුටින් කල්ගත කළා.

නමුත් අද අපට දකින්න ලැබෙන්නේ මේ පුරාණ සිරිත් විරිත් කනපිට පෙරළීමක්. චාරිත්‍ර ගැන කිසිම තැකීමක් කිරීමට අලුත් පරම්පරාවට පුරුද්දක් නැහැ. ඒවා හණමිටි අදහස් කියලා බැහැර කරනවා. වාණිජකරණය සහ විවෘත ආර්ථිකය නිසා අද බොහොම වේගයෙන් දුවන සමාජයක්නෙ තියෙන්නේ. ණය, ලීසිං අරගෙන තමයි හුඟදෙනෙක් ජීවත්වෙන්නේ. මේ නිසා පැය කිහිපයකට හෝ වැඩ නවත්වා අවුරුදු සමරන්න වෙලාවක් නැහැ. එහෙම වුණොත් පාඩුයි. ගහක් වුණත් කොළ හැලිලා අලුත් දලු, මල්, ගෙඩි හටගෙන වෙනස් වෙනවා. මිනිසුන්ට අලුත් සිතුවිලි ඇතිකරගෙන අවුරුද්දට අලුත් වෙන්න අද වෙලාවක් නැතිවෙලා.

නවම් මාසයේ එක පොල්ගසක අතු නවයක් වැටෙනවාලු. මැදින් මාසේ ගස්වල දළු දමනවා. මල් හටගෙන ගෙඩි හටගන්නවා. අප්‍රේල් වෙනකොට පලබර වෙලා. මේ නිසා පරිසරයත් ලස්සනයි. අස්වැන්න ගෙට අරන් අලුත් හාල්වලින් කිරිබත් උයන්න ඉඩ සැලසෙනවා. මේවා නොතකා සංකීර්ණ වෙලා නගරයට ඇවිත් ඉතා කුඩා ඉඩක ජීවත්වීමට අද බොහෝ දෙනාට සිදුවෙලා. ඔවුන් හිරවුණු කොටුවුණු ලෝකයක තමයි ජීවත් වන්නේ. දශක දෙකක කාලය තුළ යුගදිවි ගතකරන නව පරපුරක් තමයි දැකගත හැකිවන්නේ. ඔවුන් අතරින් වැඩිදෙනා සිරිත් පිළිගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඒ තැනට ආවේ තමන්ගේ මහන්සියෙන් මිස සිරිත් විරිත්වලින් නොවන බවයි.

මේ නිසා ආහාර රටාව, හැසිරීමේ රටාව පවා වෙනස් වෙලා. හිතාගන්න බැරිතරම් ලෙඩ රෝග පැතිරිලා. දියවැඩියාව වගේ වැඩිහිටියන්ගේ ලෙඩ පවා දරුවන්ට ඇවිත්. තරුණයෝ කතා කර කර ඉන්න ගමන් හෘදයාබාධ හැදිලා වැටෙනවා. අද අවුරුදු 19-20 වෙනකොට අම්මලා වෙලා ඉවරයි. ඒ නිසා අවුරුදු 35-40 වෙනකොට ආච්චි සීයලා වෙනවා. චාරිත්‍ර ධර්ම අනුගමනය නොකරන සමාජයේ අද ඒ තැන අරන් තිබෙන්නේ කොම්පියුටරය, අන්තර්ජාලය, ෆේස්බුක් වගේ සමාජ ජාල විසින්. අවුරුදු සිරිත් අපි ස්වභාවික පරිසරය සමඟ අනුගත වීමක් සිදු කරන්නේ. ඒවා පුරාණයේ සිටම අනුගමනය කරගෙන ආවේ නිකමට නෙමෙයි. උගත් නැණවත් ඍෂිවරු තමයි මේ සිරිත් ආරම්භ කළේ.

චාරිත්‍ර අනුගමනය කිරීම වර්තමාන සමාජයට ප්‍රායෝගික නැති බවයි තරුණ පරපුර පවසන්නේ. නමුත් චාරිත්‍ර වාරිත්‍ර පැහැර හැරීම නිසා වන්නේ අපේම දේවල් සමාජයෙන් ඈත්වීමයි. ඒ සමඟම උදාර මනුස්සකම්, ගුණධර්ම පිරිහෙනවා. තනිවුණු, තමන්ට පමණක් වෙන්වුණු ලෝකවල වැඩිදෙනෙක් ජීවත් වෙන්නේ.

අද පන්සල්වල අඩි 200ක් දිග විශාල ධර්මශාලා හදනවා. නමුත් බණ අහන්න, සිල්ගන්න දායකයෝ විශාල පිරිසක් නැහැ. පෙබරවාරිවල ඉඳලම මාධ්‍යවලට අවුරුදු, එරබදු මල් පිපෙනවා. කොහා කෑ ගහනවා. ඒ කියන්නේ අවුරුද්දත් වෙළෙන්දන්ට යටවෙලා. නත්තලත් එහෙමයි. ඔක්තෝබර්වල මාධ්‍යවලට නත්තල් සීයා එනවා. හිම වැටෙනවා. අද අවුරුදු උත්සව, සිරිත් විරිත්, අවුරුදු ක්‍රීඩා ඔක්කොම මාධ්‍යවලින් පෙන්වනවා. කුඩා ඉඩකඩක ජීවත්වන වැඩි දෙනෙක් රූපවාහිනී මාධ්‍යයෙන් ඒ වැඩසටහන් බලනවා.

තරැණ පෙළ කියන්නේ තමන් ජීවත්වන 21 වන සියවසට චාරිත්‍ර වැදගත් නැති බවයි. මේ නිසා අපි සම්පූර්ණයෙන් ප්‍රපාතයට වැටීමක් වෙන්නේ. සෞඛ්‍ය, මානසිකත්වය, මානව සාරධර්ම ඔක්කොම පිරිහිලා.

එදා ගම්වල හැමෝම එකතුවෙලා අවුරුදු උත්සව තිබ්බා. පොරපොල් ගැසීම, චක්ගුඩු ගැසීම, ඔංචිලා පැදීම, කතුරු ඔංචිල්ලා වගේ ජන ක්‍රීඩා තිබුණා. කාන්තාවන් රෙද්දය හැට්ටයෙන් සැරසිලා පංච දැමීම, ඔළිඳ කෙළිය වගේ ගෘහස්ථ ක්‍රීඩා කළා. මේ ක්‍රීඩාවල දිනුම් පැරදුම් හොයන්නෙ නැහැ. පරාජිතයාත් ජයග්‍රාහකයාත් දෙදෙනාම දිනුම්. විනෝදයක් තමයි එදා ලැබුවේ. අද එහෙම සාමූහිකවීමට කාලයක් නැහැ. ඒ වගේම අද මොන ක්‍රීඩාව කළත් සහතිකයක්, ත්‍යාගයක් බලාපොරොත්තුවෙන් තමයි සහභාගි වෙන්නේ.

අද අවුරුදු උත්සවවල තියෙන්නෙත් අවුරුද්දට ගැලපෙන ක්‍රීඩාද බලන්න. ලොකුම බොරුව, හොඳම ඇඬිල්ල, ලොකුම හිනාව, හොඳම බඩා, හොඳම රැවුලා වගේ ඕලාරික දේවල් තියෙන්නේ. ඊටපස්සේ එළිවෙනකම් සංගීත ප්‍රසංගයක්. ඒ අතරතුර ගහගන්නවා. පිහිඇනුම් කා කොටා ගැනීම් සිදුවෙනවා. තරහ, වෛර, අමනාපකම් තමයි අවුරුද්දේ වර්ධනය කර ගන්නේ.

මම නම් හිතන්නේ මාධ්‍ය අවුරුදු කුමරා කුමරිය තේරීමට වඩා අපේ සංස්කෘතියේ යහපත් දේ අලුත් පරපුරට සන්නිවේදනය කිරීමට මුල්තැන ගත යුතු බවයි. අවුරුද්ද අපට පරිසරය රකින්න කියන පණිවුඩය ලබාදුන්නා. ගහට කොළට, ඇළට දොළට ගරු කළා. වැඩඅල්ලන අවස්ථාවේ කිරිගහක අත්තක් කපලා පොළොව කොටලා තමයි වැඩ ඇල්ලුවේ. ළිඳ සමඟ ගනුදෙනු කළා. දැන් සමාජය ඒවා ගැන දන්නේ නැහැ.

හැමදෙයක්ම ක්ෂණික වූ සමාජයේ අවුරුද්දත් කෙටිවෙලා. පට පට ගාලා ඔක්කොම චාරිත්‍ර කරලා ඉවර කරලා දානවා. නොනගතයටත් වැඩ කරනවා. ඒ තරම් තරගයක් තිබෙන්නේ. කඩයක් වහලා දාන්න බැහැ. ණය අරගෙන තියෙන්නේ.
අපි වාර්ෂිකව පන්සලේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය කරනවා. නමුත් හුඟ දෙනෙකුට හිසතෙල් ගෑමට පෙර රැකියාවට යාමට සිදුවෙලා. නානු ගාලා නාලා වැඩට යන්න වෙලාවක් නැහැ. දේශීය තෙල්, කොළ, නානුවලට තැනක් නෑ. සුවඳ විලවුන් ගාලානෙ හුඟ දෙනෙක් වැඩට යන්නේ. ඔළුවට ක්‍රීම්, ජෙල් වර්ගනෙ ගාන්නේ. තෙල් නානුවලින් කළේ ශරීරය සිසිල් කිරීම.

අප තාක්ෂණික පැත්තෙන් කෙතරම් ඉදිරියට ගියත් සිංහල අවුරුද්ද හා බැඳුණු සංස්කෘතික උරැමයන් බවට පත්වූ සිරිත් විරිත් අනුගමනය කළයුතු බවයි මගේ හැඟීම. එවිට තමයි සමාජයේ ඉදිරි ගමන පවතින්නේ. ඒ සඳහා රටේ පාලකයන්, ආයතන ප්‍රධානීන්ගෙන්ද සහයෝගය ලැබිය යුතුයි. හැමදේටම මුදල වෙනුවට මේ සාරධර්මවල වටිනාකම ඇද ගැලපිය යුතුයි. ඒ සඳහා ජනමාධ්‍යවලින්ද රුකුල් දීම අවශ්‍යයි.

 සටහන - කුසුම්සිරි විජයවර්ධන