2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

මුහුද මැද ජී. පී. එස්. දාගෙන කුඩු බාන පාතාලයෝ

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 305

මෙරටට හෙරොයින් ගෙනෙන ප්‍රධාන ජාලයක් වන මාකඳුරේ මධූෂ්ගේ කණ්ඩායම දැන් අන්ත අසරණ වී ඇත. එය තාවකාලික පසුබැස්මක් වුවත් කවුරුන් හෝ මධූෂ් හිරකිරීමෙන් සතුටු වනවානම් එය භයානක සිහිනයකි. මධූෂ්ට අභියෝග කළ අය පමණක් නොව එසේ අභියෝග කරවුන්ගේ හත්මුතු පරම්පරාවම නැති කිරීම මධූෂ්ගේ න්‍යාය විය. ඒ නිසා මධූෂ් මෙරටට රැගෙන විත් බන්ධනාගාර ගත කළහොත් එසේ ගතකළ දා සිට මධූෂ්ට අභියෝග කළ සියලු දෙනා තම ඉරණම ලියා අවසන් කළ යුතු වීමට ඉඩ තිබේ. ඒ මධූෂ්ගේ හැටිය.

දැනට පාතාලයෙනුත්, බුද්ධි අංශ හරහාත් ලැබෙන තොරතුරුවලට අනුව මධූෂ් ලංකාවට පැමිණෙන තෙක් ඔහු සෘජු ලෙස සහ වක්‍රව නායකත්වය දෙන කණ්ඩායම් බලා සිටිති. ඔවුන් මධූෂ් පැමිණි සැණින් මෙතෙක් ඔවුන්ගෙන් පළිගත් සියලු දෙනාගෙන් සිය පළිය ගැනීමට ක්‍රියා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ අතර ඉහළින්ම සිටිනේ වෙලේ සුදා, සිද්ධික් සහ අන්නාසි මොරිල්ය. මේ තිදෙනා නිසා මධූෂ්ට හිරේ ලගින්නට සිදු වූ බව බොහෝ අය දන්නා රහසකි. එපමණක් නොව අද වනවිට තවත් රහසක් හෙළි වී ඇතැයි කියති. මධූෂ්ගේ සාදයට කොකේන් යවා ඇත්තේ වෙලේ සුදාගේ ගෝලයන් ලවා බවත් එම කොකේන් එහි පිරිසට ලබාදී පසුව ඩුබායි පොලීසියට ඔත්තු දුන් බවත් පාතාලයේ ප්‍රසිද්ධ රහසක් බවට පත්වී ඇත. ඒ සිද්ධිය මේ කතාව පිටුපස වෙලේ සුදා සිටිනා බව දැන් පාතාලයේ සියලු දෙනා දන්නා කතාවකි.

එලෙස කුඩු පාතාලයේ කතාව පැත්තකින් තබා දැන් කියන්නට යන්නේ මෙතරම් කුඩු ප්‍රමාණයක් ලංකාවට එන්නේ කෙසේද යන්න ගැනය. මෙරටට එන කුඩුවලින් 95%ක්ම එන්නේ මුහුදු මාර්ගය හරහාය. පාකිස්තානයේ සිට බෝට්ටුවෙන් රැගෙන එන කුඩු මුහුද මැදදි හුවමාරු කර ගැනීම ඔබත් අපත් දන්නා ප්‍රධාන ක්‍රමයකි. එහෙත් වර්තමානයේ එය හාත්පසින්ම වෙනස් වී එය නූතන තාක්ෂණය සමඟ බද්ධ වී ඇත.

එනම් පාකිස්තානයේ සිට රැගෙන එන හෙරොයින් දැන් එකවර ගොඩබිමට රැගෙන ඒමේ හැකියාවක් නැති වීමය. පසුගිය කාලයේ හෙරොයින් ගෑස් ටැංකිවල බහා ගොඩ බිමට රැගෙන ආවත් දැන් එලෙස ද රුගෙන එන්නේ නැත. දැන් අලුත්ම ක්‍රමය වී ඇත්තේ හෙරොයින් මුහුද මැද ගිල්වා තැබීමය. එය සිදුකරන්නේ බෝට්ටුවෙන් ගෙන එන හෙරොයින් අඩංගු විශාල ඇසුරැම් ආරක්ෂිත ලෙස ආවරණය කර ඒ වටා රෙජිෆෝම් ආවරණයක් සැකසීමෙනි. එසේ සකස් කිරීමෙන් අනතුරැව නැංගුරමක එය ගැට ගසා මුහුද මැදට අත හරිනු ලබයි. එසේ අතහරින්නේ ජීපීඑස් චිපයක් ද සමඟය.

එසේ ගිල්වා ගිය පසු මෙරටින් යන කුඩු ජාවරම්කරුවන් ජීපිඑස් තාක්ෂණය ඔස්සේ මුහුද මැද ගිල්වා ඇති හෙරොයින් පාර්සල් සොයාගන්නා අතර පසුව ධීවර බෝට්ටු හරහා ගොඩබිමට රැගෙන එති. ඉන් අනතුරැව ජංගම ශීතකරණ හරහා මහමගට ගෙනැවිත් එතැනින් වෑන් රථවල පටවනු ලබයි. ඉන් අනතුරුව එකී වෑන් රථ, සුපිරි නිවාස සංකීර්ණවල රථගාල්වල ගාල්වන්නේ පූර්ණ ආරක්ෂාව සමඟය.

එසේ කුඩු වෑන් ගාල්වන නිවාස සංකීර්ණවල විදේශිකයන් කිහිපදෙනකු පදිංචිව සිටීම නියත වශයෙන් දැකිය හැක. එනම් ආරක්ෂක අංශවල සාමාජිකයන්ට සැක නොහිතන පරිදි අදාළ හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගන්නේ මෙකී විදේශිකයන්ය. එය අභ්‍යන්තර ප්‍රවාහනය සඳහා පමණක් නොව මෙරටින් පිටට රැගෙන යාම සඳහාය. මෙම විදේශිකයන් අහඹුවෙන් යොදාගන්න අතර එක් මෙහෙයුමක් සඳහා එක් පිරිසක් පමණක් යොදා ගැනීම මේ ක්‍රමවේදය අනුව සිදුවේ. ඒ සඳහා විශාල මුදලක් ඔවුන්ට ලබාදෙයි. පහුගිය කාලයේ පොලීසියට කොටු වුණු මාලදිවයින, බංගලිදේශ, ඇමරිකානු, ජාතිකයන් සියලු දෙනාම එවැනි තාවකාලික ප්‍රවාහනය කරන්නන් බව සඳහන් වේ.

මේ අතර විදේශගත වන විදේශිකයන් සඳහා ජාවාරම්කරුවන් විසින් සකසන ලද විශේෂ ගමන් මල්ලක් ලබාදෙනු ලබයි. එම ගමන් මල්ලේ අඩිය සහ ආරක්ෂිත ස්ථාන කිහිපයක මත්කුඩු රැගෙන යාමට හැකිවන ලෙස සකසා ඇත. එයට විශේෂ හේතුව වන්නේ මෙරටට ඇතුළු වන විට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් පරික්ෂා කළත් මෙරටින් පිටවන මගීන් පරීක්ෂා කිරීමට මත්ද්‍රව්‍ය කාර්යංශයට අවසරයක් නැති නිසාය. මේ නිසා මෙරටින් කුඩු රැගෙන යාම පහසු කටයුත්තක් වී ඇත. ඒ නිසා මෙරටින් කුඩු වෙනත් රටවලට යාමට ගුවන් මාර්ගය භාවිත කරන තැනට පත්ව ඇත.

කෙසේ වෙතත් මේ වනවිට මෙරට තුළ හෙරොයින් වැටලීම සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟ හෙරොයින් ප්‍රවාහනය සීෂෙල්ස් රාජ්‍යය වෙත සංක්‍රමණය වී ඇත. ඒ සඳහා අවශ්‍ය බෝට්ටු ලබා ගැනීමට මේ වනවිට මෙරට හෙරොයින් ජාලයේ ප්‍රධානීන්‍ට ඇමතුම් ලබාදීමට පටන් ගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ. එම ඇමතුම්වලට ප්‍රතිචාර දක්වමින් මේ වනවිට පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන්ට බෝට්ටු ලබාදීම සිදුකරන බව සඳහන් වේ. කෙසේ වෙතත් මේ වනවිට සීෂෙල්ස් රාජ්‍යය මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සඳහා ජාවාරම්කරුවෝ වැඩකටයුතු සිදුකරමින් සිටිතියි සඳහන් වේ.

මේ වනවිට මෙරටට හෙරොයින් ගෙන එන ප්‍රධාන ජාලය වන පාකිස්තාන ජාලය තුළ  ඇතිව තිබෙන අවුල්සහගත තත්ත්වයක් සමඟ හෙරොයින් ජාවාරම ක්‍රමයෙන් ඉන්දියානු ජාවාරම්කරැවන් විසින් තම පැත්තට හරවමින් තිබෙන බවත් පාතාලයෙන් අනාවරණය වේ. ලෝකයේ බාලම හෙරොයින් ඇති ඉන්දියාවට පසුගිය කාලයේ සිය ජාවාරම නිසිලෙස කරගෙන යාමට හැකිවූයේ නැත. ඒ වෙලේ සුදා විසින් පාකිස්තාන හෙරොයින් මහා පරිමාණයෙන් මෙරටට ගෙන ඒම නිසාය. පාකිස්තාන හෙරොයින්වල ඇති රසය නිසා අවසානයේ ඉන්දියානු කුඩුවලට ඉඩ නැති විය. කෙසේ වෙතත් දැන් නැවතත් ඉන්දියානු ජාවාරම්කරුවන් විසින් මෙරට හෙරොයින් ජාලයට අත ගැසීමට පටන් ගෙන ඇත. එහෙත් එය සාර්ථක වන්නේ නැත. ඒත්  මේ සියල්ල සිදුවුවත් තවමත් මෙරට හෙරොයින් ජාවාරමේ (හීරෝ) වන්නේ වෙලේ සුදාය. ඒ නිසා තවමත් වෙලේ සුදා වටා ඇති හෙරොයින් ජාලය ශක්තිමත්ව පවතින බව කියති.

කෙසේ වෙතත් හෙරොයින් ජාවාරම නතර කිරීමට නම් මීට වඩා නූතන ක්‍රමවේද අනුගමනය කළයුතු අතර එම ජාවාරම්කරුවන් ඔත්තුකරුවන් ලෙස සිටීම හරහා එක් කෝණයක් පමණක් ආවරණය වේ. මේ හේතුවෙන් එක පැත්තකින් රට තුළට ගලා එන හෙරොයින් මේ රටින් ඉවත් කිරීම තව පැත්තකින් අභියෝගයක් සේම හීනයකි. එකී අරමුණ ජයගන්නට නම් ප්‍රථමයෙන්ම බන්ධනාගාරය තුළ සිට ක්‍රියාත්මක වන පාතාලයත්, කුඩු ජාවාරමටත් වැට බැඳිය යුතුය. දූෂිත බන්ධනාගාර නිලධාරීන් අතින් හිර ගෙදරට ඇතුළු වන දුරකථන නවතා දැමිය යුතුය. එසේ නොකරන තාක්කල් කෙතරම් පුද්ගලයන් අල්ලා කූඩු කළත් කුඩු ජාවාරම හෙල්ලෙන්නෙවත් නැත.

  ගයාන් ගාල්ලගේ