2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

රට රටවල අමුතු අවුරුදු

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 265

අපේ අලුත් අවුරුද්ද කියන්නෙ කලාන්තරයක් පුරා රැකගෙන එන සිරිත් විරිත් සම්ප්‍රදායක එකතුවක්. නවසඳ සිට හිසතෙල් ගා රැකී රස්සා බලා පිටත්ව යාම දක්වා මේ සිරිත් අපේ සංස්කෘතියේම කොටසක් හැටියටයි සැලකෙන්නෙ. ඒවා බොහෝම ආගමික හැදියාවකින් යුතු දේවල් හැටියටයි සැලකෙන්නේ. අපේ රටේ මේ ආගම දහමට බර සිරිත් විරිත් වගේ නොවේ ලෝකයේ සමහර රටවල නව වසර සැමරීම සඳහා අනුගමනය කරන සිරිත් විරිත් හරිම අරුම පුදුමයි. මේවායින් සමහරක් කෙතරම් අපූර්ව ආකාරයක් ගන්නවාද කීවහොත් ලොව තවත් රටක අයහට ඒවා අතිශයින්ම ආගන්තුක අමුතුම ඔල්මොරොන්දම් වැඩ හැටියටත් පෙනී යා හැකියි. 

නව වසර උදාවන විට ඔබ ඩෙන්මාර්කයේ නිවසක් තුළ නින්දට ගොස් සිටියහොත් මහ රෑ අවදිවන්නට සිදුවන්නේ උඩගොස් බිම වැටිලයි. එහි සියලු නිවාසවල දොරකඩ අසල අවුරුද්ද උදාවන මහ රෑ මහ හඬින් පිඟන් බිඳීම සිදුවන නිසායි. ඩෙන්මාර්ක වැසියන් වසර පුරාවටම පිඟන් කිහිපයක් භාවිතා කිරීමකින් තොරව ආරක්ෂා කර තබාගන්නා අතර, දෙසැම්බර් මස 31 වැනිදා මධ්‍යම රාත්‍රිය ආසන්න වනවිට, ඒවා ගෙන සිය හිතවතුන් හා නෑසියන්ගේ නිවෙස්වල දොරකඩ අසල මහ හඬින් පොළොවේ ගසා බිඳ දැමීම සිදුකරනවා. මෙය අතීතයේ පටන් සිදුවන්නක් වන අතර, ඒ ඒ පුද්ගලයන් කෙරෙහි තමන්ට ඇති ලෙන්ගතුභාවය මින් ප්‍රකට කෙරෙන බවයි එරට ඇත්තන්ගේ පිළිගැනීම.

ස්වීට්සර්ලන්තයේ සිටින අයගේ අවුරුදු සැමරීම හරිම රසවත්. එහේදි කරන්න ඕනෑ අයිස් ක්‍රීම් ටිකක් බිම හෙළීම පමණයි. රොමානියාවේ උදවිය අවුරුද්ද පුරා සිල්ලර කාසි තියාගෙන බලා ඉන්නෙ නව අවුරුදු උදාවේදී ගඟට වීසිකර දමන්නයි. මේ විදියට ගඟ එක්ක ගනුදෙනු කළාම වාසනාව උදාවී අවුරුද්ද පුරා කාසි ගලා එන බවයි එරට ජන විශ්වාසය. ඒ වගේම  වාසනාව තමන්ට උදාවෙනවාදැයි  ටක්කෙටම දැනගන්න ඒ උදවිය යන්නේ ගවමඩුව දිහාටයි. වැස්සිව කතාවට අල්ලගන්න හැකි වුණොත් ඉතිං එයාට මුළු අවුරුද්දම සාරයි තමා. පුවෙර්ටො රිකෝ රාජ්ජයේ අවුරුදු දා උස බිල්ඩිං අසලින් යාම භයානකයි. ඒ රටේ ඇති අමුතුම සිරිතක් නිසායි. නව වසරේ නපුර පලවා හරින්න ඒ රටේ උදවිය කරන්නෙ ඉහළ මහල්වල සිට වතුර පිරවූ බාල්දිවලින් පහරදීමයි. බෙල්ජියමේ ගොවියෝ උදෙන්ම යන්නෙත් ගව මඩුවටයි අවුරුද්ද පුරා ගොවිබිම් සරුකරන හරක්බානට කතාකරලා සුබපතලයි ඔවුන් නව වසර අරඹන්නේ. අවුරුදු දා බොලීවියාවේ ගෙදරකට ගොඩ වුණොත් අතට ලැබෙන කේක් කෑල්ල එකපාර කටේ දාගන්න නරකයි. කේක් ගෙඩි මැද්දට මුද්දරස්පලම් වගේ කාසි දමලා තියෙන නිසයි. මේ කාසි හම්බවෙන අයගේ අලුත් අවුරුද්ද සරුසාර වන බවයි පිළිගැනීම. ප්‍රංශ රටේදී වාසනාව ලැබෙන්න කියලා අමුත්තන්ට ප්‍රාර්ථනා කරන්නෙ රසම රස පෑන් කේක් පිළිගන්නලයි. කොලොම්බියාවේ උදවිය ඇවිදින්න කැමතියි. අවුරුද්ද පුරා සවාරි යන්න වාසනාව උදාවෙන්න කියලා හිතාන ඒ අය අවුරුදු දවසේ හැමතැනම යන්නෙ සූට් කේස් එකක් උස්සාගෙනලු. ඩෙන්මාර්ක්වල උදවිය වාසනාව ලබාගන්න හදන්නෙ පුටුවකට නැගලා බිමට පැනීමෙනුයි. වතුර බාල්දියකින් නාගන්නත් පවුඩර් මුහුණේ අතුල්ලා ගන්නත් ඕනෑනම් අවුරුද්දට තායි ගමකට යන එකයි හොඳ. චිලියේ උදවිය අවුරුදු දා ඇඟ කිලි පොලායන චාරිත්‍රයක යෙදෙනවා. ඒ උදවිය අවුරුදු රෑ ගත කරන්නෙ ගමේ කනත්තෙ නිදාගෙන. තමන්ගෙ මිය පරළොව ගිය ඥාතීන් තනි නොකරන්න හිතාගෙනයි මේ සිරිත පවත්වාගෙන යන්නෙ. ඉපැරණි සරතුෂ්ටා ධර්මය අදහන ඉරාකයේ අවුරුදු වාසනාව ලබාගන්නෙ ගිනිමැලයකින් අනෙක් පසට පැනලායි. ඔවුන්ගෙ අවුරුද්ද හඳුන්වන්නෙ නව දිනය හැටියටයි. එය ලෝකය පුරා මිලියන ගණනක් සමරන අමුතු නව වසරක්. මේ අවුරුද්ද මැයි 21 හෝ ආසන්න දිනයකයි සැමරෙන්නෙ.

අයර්ලන්තේ උදවිය නව වසරේ නිවෙසින් නපුර පන්නන්න හිතාන අවුරුද්ද ලබද්දි පාන් ගෙඩිවලින් බිත්තිවලට තඩිබාන්න ගන්නවා. දකුණු අප්‍රිකාවේදීත් අවුරුදු දා පාරේ යන එක භයානකයි. කලින් අවුරුද්දේ කැඩිලා බිඳිලා ගොඩගැහිලා තියන ලී බඩු අවුරුදු නැකතට ජනේලවලින් එළියට එන නිසයි.

නව වසරේ උදානයත් සමඟ ලතින් ඇමෙරිකානු රටක් වන ඉක්වදෝරයේ වැසියන් අනිවාර්යයෙන්ම ඉටුකරන අපූරු චාරිත්‍රයක් තිබෙනවා. ඒ නව වසරේ උදාව සනිටුහන් කෙරෙන කණිසම නාද වූ සැණින්, කඩදාසි පුරවන ලද පඹයෙකු පිළිස්සීමයි. මේ චාරිත්‍රය ඉටුකිරීමෙන්, පසුගිය වසරේ තමන් මුහුණදුන් අශුභවාදී හා අවාසනාවන්ත අත්දැකීම් නව වසරේත් සිදුවීම වැළකෙන බැව් ඔවුන් විශ්වාස කරනවා. සමහරක් ඉක්වදෝර් ජාතිකයින් පසුගිය වසරෙහි මතකයන් රුගත් ඡායාරූපද මේ පඹයන් තුළට දමා පිළිස්සීම සිදුකරනවා.

නව වසරේ උදානයත් සමඟ සමහර ලතින් ඇමෙරිකානු රටවල ඉටුකෙරෙන අපූර්ව චාරිත්‍රයක් තිබෙනවා. විශේෂයෙන් මෙක්සිකෝව, බොලිවියාව, හා බ්‍රසීලය යන රටවල පිළිපදින මෙම චාරිත්‍රය අතීතයේ සිට පැවතුණු එකක්. ඒ රටවල විශ්වාසය අනුව ඉදිරි වසරේ වාසනාව ළඟා වන්නේ නව වසර උදාවන විට හැඳ සිටින යට ඇඳුම අනුවයි. උදාහරණ ලෙස නව වසරේ ආදරය බලාපොරොත්තු වන අයවලුන් රතු පැහැ යට ඇඳුමක් අඳින අතර, මිල මුදල් අපේක්ෂා කරන අය කහ පැහැ යට ඇඳුමක් අඳිනවා. සාමය සමාදානය බලාපොරොත්තු වන පුද්ගලයින් සුදු පැහැ යට ඇඳුමක් හැඳ සිටින්නට පෙළැඹෙනවා.

අලුත් අවුරුදු දා පිලිපීනයේ ජනයා එක්තරා හැඩයකට අනුකූලව තමන්ගේ එදිනෙදා භාණ්ඩ භාවිතා කිරීමට උත්සුක වෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ ඇඳුම් පැළඳුම්, ආහාර වැනි දෑ හැකිතාක් ‘වටකුරු’ හැඩය සහිතව තෝරාගන්නයි. මෙයට හේතුව වන්නේ එමඟින් ඔවුනට වසර පුරාවටම මිල මුදල් ඇතුළු සෞභාග්‍යය ළඟා වන බවට පිලිපීන ජනයා තුළ ඇති විශ්වාසයයි. මෙම වටකුරුභාවය මගින් ‘කාසි’ සංකේතවත් කරන අතර, වසරේ වැඩි කාලයක් තමන් වෙත ‘කාසි වැසි වසිනු’ දැකීම ඔවුන්ගේ එකම අභිප්‍රායයි.

ලොවපුරා ජනයා ජනවාරි මස පළමු වැනිදා හෙවත්, නව වසර එළැඹීමේ කණිසම නාදවන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින්නේ තම නෑ හිතමිතුරන් සමඟ සුභපැතුම් බෙදාගන්නටයි. කෙසේ නමුත්, ස්පාඤ්ඤයේ ජනතාව රාත්‍රී 12 එළැඹි බවට වන පළමු ඝණ්ටා නාදය ඇසෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින්නේ මිදි ගෙඩි දොළසක් දෙසයි. රාත්‍රී 12 එළැඹුණු සැණින් නාද වන එක් ඝණ්ටා නාදයකට එක ගණනේ මිදි ගෙඩි 12ක් ඔවුන් විසින් ආහාරයට ගන්නා අතර, එමඟින් එළැඹෙන වසරේ සියලු සෞභාග්‍යය උදාවේ යැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙවැනිම චාරිත්‍රයක් පේරු රාජ්‍යයේද ක්‍රියාත්මක වෙන අතර, එහි වැසියන් මිදි ගෙඩි 13ක් ම අනුභව කරන්නේ වාසනාව උදාවීම තවත් තහවුරු කරගැනීම සඳහායි.

සෑම වසරකම දෙසැම්බර් මස පේරු රාජ්‍යයේ ටකනකුයි නම් උත්සවය පැවැත්වෙනවා. මෙය අසාමාන්‍ය ගණයේ උත්සවයක් වන අතර, මෙය නිසියාකාරව පිළිපැදීමට යාමෙන් අනතුරුද සිදුවනවා. ටකනකුයි යන වදනෙහි අර්ථය වන්නේ, ‘රුධිරය නටන විට’ යන්නයි. මේ උත්සවය පැවැත්වෙන විට සරලවම සිදුවන්නේ සියලුමදෙනා සිය අසල්වාසීන් සමග ‘ගුටි ඇණ ගැනීමයි’. මෙහි අභිප්‍රායය වන්නේ, නව වසර උදාවීමට පෙර එකිනෙකා කෙරෙහි ඇති සියලු තරහ-මරහ අවසන් කර ගැනීමයි. බොක්සිං වළල්ලක් වැනි යමක් තුළ ද්වන්ධ සටන් ලෙස සිදුකෙරෙන මේ චාරිත්‍රය, එහි පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවෙනවා. 

ජපානය අතීතයේ පටන්ම මහායාන බුදුදහම මුල්බැසගත් රටක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. නව අවුරුදු උදාවත් සමග කෙරෙන මහායාන බුදුදහම හා සබැඳි අපූර්ව චාරිත්‍රයක් ඔවුන් සතුවද තිබෙනවා. නව අවුරුදු උදාවත් සමග ඔවුන් සීනු නාද කිරීම අරඹන අතර, එය අවසන් කරන්නේ එකසිය අට වතාවක් ඒවා නාද කිරීමෙන් අනතුරුවයි.

මෙම චාරිත්‍රය ඉටුකිරීම තුළින් යමෙකු සිදුකරන ලද සියලු පාපයන් වියැකී යන බව ජපාන ජාතිකයින් විශ්වාස කරන අතර, එමඟින් තමන්ට හා රටට යහපත හා සමෘද්ධිය උදාවන බවටද විශ්වාස කෙරෙනවා. 

සුගත් පී. කුලතුංග ආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00