2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

60 විය සපිරි ජපුර සරසවිය

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 316

වෙනදා උද්ඝෝෂණ, විරෝධතා ගැන බැනර් පෝස්ටර්වලින් පිරී යන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ දිනවල සුවිශේෂී වෙනසක් දැකගත හැකිය. 60 වැනි සංවත්සරය වෙනුවෙන් පවත්වන වැඩසටහන් පිළිබඳ දැන්වීම්, බැනර් එහි පිරී පැවතීම එම වෙනසයි. මානව පුස්තකාල වැඩසටහන, සංදේශාවලී කවි නළුව, නව ග්‍රන්ථ දොරට වැඩුම, නව නිපැයුම් ප්‍රදර්ශනය, ගී පවුර, ආදි විද්‍යාර්ථීන්ගේ දිනය ඒ අතර වේ. ප්‍රාචීන භාෂා පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්, තරුණ පර්යේෂණ සමුළුවක් ද පසුගිය කාලයේ පැවැත්විණි. මැයි මාසයේ ශිෂ්‍ය අවුරුදු උළෙල ද, සැප්තැම්බර් මාසයේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

නුගේගොඩ ගංගොඩවිල පිහිටා ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 350ක් පමණ වන ආචාර්ය මණ්ඩලයකින්ද, 900ක් පමණ ශිෂ්‍ය සංඛ්‍යාවකින්ද යුක්ත වේ. කළමනාකරණ හා වාණිජ විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, ශාස්ත්‍ර, වෛද්‍ය විද්‍යා හා පශ්චාද් උපාධි අධ්‍යයන, තාක්ෂණ යන පීඨ 6ක් මෙහි පිහිටා තිබේ.

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ ආරම්භ වූයේ 1873 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මූලිකත්වයෙනි. දේශීය පිරිවෙන් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වූ විද්‍යෝදය පිරිවෙණ ජයවර්ධනපුර සරසවියේ ආරම්භක අවස්ථාව වේ. වර්ෂ 1958 දී බණ්ඩාරනායක රජය විසින් විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙණ් විශ්වවිද්‍යාල බවට පත් කිරීමට පනතක් ගෙනාවේය. ඒ අනුව විශ්වවිද්‍යාල තත්ත්වයට පත්වී ‘ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය’ නමින් 1959 පෙබරවාරි 18 දින සිට අධ්‍යයන කටයුතු ආරම්භ කෙරිණි. කොළඹ මාලිගාකන්දේ සිට ගංගොඩවිල වත්මන් පරිශ්‍රයට විශ්වවිද්‍යාලය ගෙන එන ලද්දේ 1961දීය. ඒ සමඟම වඩාත් ඉඩකඩ සහිත පහසුකම් පිරි ගොඩනැගිලිවල සිට අධ්‍යයන කටයුතු කිරීමේ ඉඩකඩ සිසුන්ට සැලසිණි. පළමු උපකුලපතිවරයා වූයේ විද්‍යෝදය සරසවියට ඉමහත් සේවයක් සැලසූ පඬිරුවනක් වූ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියෝ වෙති. මුලින්ම පැවිදි ශිෂ්‍යයන්ට සහ පිරිමි ශිෂ්‍යයන්ට පමණක් වෙන්ව පැවති විශ්වවිද්‍යාලය 1966 අංක 20 දරන උසස් අධ්‍යාපන පනතින් ශිෂ්‍යාවන්ට ද විවර විය.

&මම හිතන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියන්නේ මහා පුණ්‍යභූමියක්, ඒ නම විශ්වවිද්‍යාලයට උචිතයි. පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙනේ හිටපු නායක හිමියන් වන මැදගොඩ හාමුදුරුවෝ තමයි මේ භූමිය සෝරත හාමුදුරැවන්ට ලබාදුන්නේ විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට. එම භූමිය 6 වැනි පරාක්‍රමබාහු රජු පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙණට පරිත්‍යාග කළ ඉඩමක්. එම ඉඩම පාවිච්චි කරලා තිබෙන්නේ පුස්කොළ ලිවීමට අවශ්‍ය තල්පත් ලබාගැනීමට තල් ගස් වගා කිරීම සඳහායි. ඒ අනුව ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ ඉතිහාසයක් මෙයට තිබෙනවා. සෝරත හාමුදුරුවෝ දිව්‍යඥානයෙන් වගේ තෝරාගත් බිමක් කියලා හඳුන්වන්න පුළුවන්. අද විශ්වවිද්‍යාලය නිසා අවට විශාල පිරිසක් ජීවත් වෙනවා. විශිෂ්ටයන් දහස් ගණනක් රටට දායාද කර තිබෙනවා.” අප සමඟ එලෙස සඳහන් කළේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථි නාමලේඛනයේ ඉහළින්ම සිටින චරිතයක් වන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නය.

අද ජයවර්ධනපුර සරසවිය වඩාත් ප්‍රකට වී ඇත්තේ එහි ඇති කළමනාකරණ පීඨය නිසාය. 1972 දී කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨය වශයෙන් එය ආරම්භ කෙරිණි. එය අධ්‍යයනාංශ 12කින් සමන්විතය.

&කළමනාකරණය කියන විෂයය අපේ විශ්වවිද්‍යාල පද්ධතියට හඳුන්වා දුන්නේ වැලිවිටියේ සෝරත නායක හාමුදුරුවෝ. ඒ වනවිට ඉහළින්ම පැවති පේරාදෙණිය විශ්වවිද්‍යාලය නොදුටු දෙයක් උන්වහන්සේ දුටුවා. අද මේ රටට දැවැන්ත සේවයක් කරන විෂයයක් පුරෝගාමීව හඳුන්වා දීමට මේ විශ්වවිද්‍යාලය සමත් වුණා. සෝරත හිමියන්ගේ පාවහන් නොපැළැඳි දෙපයට නොපෑගුණු වැලිකැටයක් මේ භූමියේ නැති තරම්.” මහාචාර්ය ආරියරත්න හැඟීම්බරව පැවසුවේය.

විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට දහඩිය හෙළූ සෝරත හිමියන්ගේ ප්‍රතිමාවක් ස්ථාපිත කිරීමට ද මහාචාර්ය සුනිල් ආරියරත්න මූලික වූයේය. &මගේ ණය ගෙවන්න ක්‍රමයක් නැති නිසා සෝරත හාමුදුරුවන්ගේ ලෝකඩ ප්‍රතිමාවක් සරසවි බිමේ ස්ථාපිත කළා. නමුත් ඒ ප්‍රතිමාවේ ඉන්නේ සෝරත හාමුදුරුවෝ බව නොදන්නා, ඒ වගේම එයට නුදුරින් පිහිටුවා ඇති හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රතිමාවවත් නොහඳුනන ශිෂ්‍ය ශිෂ්‍යාවොත් මේ විශ්වවිද්‍යාල භූමියේ සිටින බව මම විශ්වාස කරනවා. මේ මහා යතිවරැන් පිළිබඳ ඔවුන්ගේ දැනුමක් නැතිවීම ඉතා කනගාටුදායක තත්ත්වයක්.”

මහාචාර්ය ආරියරත්න තම විශ්වවිද්‍යාල ජීවිතය ගැන අප සමඟ වැඩිදුරටත් කතාබහ කළේ මෙලෙසිනි.

&මගේ ජීවිතයේ සාර්ථකත්වයේ සාධකයක් තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මම 1970 දශකයේ විශ්වවිද්‍යාලයෙන් පිටවුණා. මහාචාර්ය විමල් බලගල්ලේ, මහාචාර්ය ඒ.වී, සුරවීර, මහාචාර්ය නන්දසේන රත්නපාල, මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය ටී.බී. කාන්ගහආරච්චි වගේ ගුරුවරුන්ගේ මඟපෙන්වීම මට ලැබුණා. මට සිංහල පාඨමාලාවේ පළමු පෙළ සාමාර්ථයක් ලැබුණා. මම ගීත රචනා කිරීම ආරම්භ කළේ ශිෂ්‍ය අවදියේ සිටින විටයි. ආචාර්යවරයකු ලෙස පැමිණි පසුව ශිෂ්‍යයන් වෙනුවෙන් ‘නළමුදු සුවඳ’ ප්‍රසංගය ආරම්භ කළා. විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ආරම්භ කිරීමට හැකි වුණා.”

විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සරය සැමරුමට මූලිකත්වය දෙමින් මෙහෙයවන්නේ වත්මන් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංගයි. අපි ඔහුට කතා කළේ එම වැඩපිළිවෙළ ගැන විස්තර දැනගැනීමටයි.

&අපි විද්‍යෝදය පිරිවෙණින් පැවත එන නිසා නිවැරදිව කිව්වොත් 145 වැනි සැමරුම තමයි මේ සිදුවන්නේ. අපේ නැතිවුණු මහාවිහාර සම්ප්‍රදාය ඉදිරියට රැකගැනීමට තමයි පිරිවෙණ ආරම්භ වුණේ. මහාවිහාරය කියන්නේ අනුරාධපුර යුගයේ පැවති විදේශ ශිෂ්‍යයන් පවා අධ්‍යාපනය හැදෑරූ විශ්වවිද්‍යාලයක්.

පැරණි ආකාරයට සමාජයේ වටිනාකම් ආරක්ෂා කරගෙන අනාගතය දකින්නේ කෙසේද යන්න මෙම සංවත්සර වැඩසටහනේදී අපි උත්සාහ කරන කරැණක්. එහිදී නව නිපැයුම් සහ නව අදහස් ලෝකයට දායාද කිරීමට අපි උත්සාහ ගත්තා. අද ලෝකය ඉදිරියට යන්නේ නව වටිනා අදහස් සමඟයි. ලෝකයේ ප්‍රබලම ටැක්සි සේවාවට එක ටැක්සියක්වත් නැහැ. ලොව ප්‍රබලම හෝටල් පද්ධතියට එක හෝටලයක්වත් නැහැ. මේ නිසා අපි පසුගිය කාලයේ පර්යේෂණ සභාවක් පිහිටුවලා පර්යේෂණ කිරීමට දිරි දීලා ඒ පර්යේෂණවල වටිනාකම බැලුවා. අපි වියදම් කළ මුදලට වඩා විශාල වටිනාකම් ඒ පර්යේෂණ තුළ අපි දුටුවා. ඒ අතරම අපි ශිෂ්‍යයන්ගෙන් සහ ආචාර්ය මණ්ඩලයෙන් අලෙවි කළ හැකි අදහස් ගැන විමසුවා. ඒ සඳහා අයදුම්පත් කැඳවුවා. මේ වැඩසටහනට මිලියන 10ක් පමණ වියදම් කළා. ලෝකයක් අල්ලාගත හැකි වටිනා අදහස් අපට ලැබුණා. ඒ අතර තිබෙන හොඳම නව නිපැයුම් සහිත ප්‍රදර්ශනයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.”

►කුසුම්සිරි විජයවර්ධන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00