2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

උත්සව කාලයේ ප‍්‍රවාහනය විධිමත් කිරීම

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

ශ‍්‍රී ලංකාව ඩිජිටල් යුගයක් ගැන කතා කරයි. වයිෆයි පහසුව ඇති පාසල් අධ්‍යාපනයේ සිට ටැබ් පරිගණක භාවිතා කරන අනාගතයක් ගැන සිහින දකියි. නමුත් අවුරුද්දට ගමට යන්නට බස් නැත. ආණ්ඩුවේ කටයුතු අන්තර් ජාලය මගින් පහසුකරන ක‍්‍රියා පිළිවෙතක් ගැන වසර ගණනක සිට අදහස් දක්වමින් තිබේ. නමුත් ප‍්‍රායෝගිකව එසේ නොවේ. මහජනතාවගේ ප‍්‍රශ්න ආණ්ඩුවට වගක් නැත. අප‍්‍රියෙල් 05 වැනිදා 2019 අය වැය සම්මත වූ වහා මැති ඇමැතිවරු සිය විදේශ සංචාර අරඹනු ඇත. කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල සේවය කළ ජනී ජනයා ගම් දනව්වලට යන ගමනට අසීමිත හිරිහැර විඳිනු නිසැකය.

බංගලාදේශය තාක්ෂණික භාවිතාවට නැඹුරු වී තිබේ. පසුගිය ඉද් උත්සව කාලයේ ඩකා අගනුවර පිරිස ගම් බලා යන ක‍්‍රමය ගැන එරට බලධාරීහු පූර්ව සමීක්ෂණයක් කර ඇත. ඩකා අගනුවර ජීවත් වූ මිලියන 9.6 ක් එනම් ජනගහනයෙන් සියයට 63 ක් එම උත්සව කාලයේ නගරයෙන් පිටත්ව යයි. මුලින් බලධාරීහු කල්පනා කළේ අලුතින් දුම්රිය යොදවන්නටය. හැමදාමත් දුම්රිය ප‍්‍රවාහන සේවා වැඩි කළේය. නමුත් බංගලා දේශ වැසියන් බස් ගමනට කැමැති බව සමීක්ෂණයෙන් අනාවරණය විය. ගමනාන්තය පමණක් නොව ගමන් ආරම්භ කරන්නට කැමැති තැන ගැන ද සමීක්ෂණයට භාජනය කර තිබුණි. වැඩිම ප‍්‍රමාණයක් ගමන් අරඹන්නට කැමැති තැන හා ගමනාන්තය ගැන එතෙක් බංගලාදේශ ආණ්ඩුවේ තිබුණ තක්සේරුව වැරදි බව සමීක්ෂණය තහවුරු කළේය. සොයා ගත් අලුත් දත්ත අනුව වැඩ කරන ජනතාව සමඟ කතාබහ කර ගමට යන දවස පමණක් නොව වෙලාව ද වෙනස් කරන ක‍්‍රම ඇති කරන්නට එරට පාලනය සමත් වී තිබේ. එය සම්පූර්ණ විසඳුමක් නොවන නමුත් ඩකා අගනුවරින් පිටත්වන සෑම වැසියෙකුගේම අදහස ගැන සොයා බලන උත්සාහයකි. ලෝකයේ වෙනත් සමාජ එවැනි පැති ගැන සොයා බලමින් සිටී.

බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නගරය ඉතා ජනාකීර්ණය. එහි උත්සව කාලයේදී වාහනවලින් පිරී පවතී. සමහර වාහනවල කෙනකු හෝ දෙන්නෙකු පමණකි. තමන්ගේ වාහනය බෙදාගන්නට කැමැති පිරිස් වෙනුවෙන් ඇප් එකක් හදා ජනගත කර ඇත. එයින් වාහනයේ ඉඩකඩ පොදු භාවිතාවක් බවට හරවා ගෙන ඇත. තමන් දන්නා හෝ නොදන්නා අයවලුන් සමඟ වාහනයේ ඉඩකඩ බෙදා ගැනීමෙන් රථවාහන තදබදය අවම කරගෙන ඇත. 2017 අවුරුද්දේ ලන්ඩන් නගරයේ උත්සව කාලයේදී වාහන 15,000 ක් බෙදා ගත් බව අනාවරණය වෙයි. සිංගප්පූරුවේ බිග් ඩේටා ක‍්‍රමය ක‍්‍රියාත්මකය. එයට අනුව ජනයා එකතුවන තැන් ගැන ක්ෂණයකින් තොරතුරු ලැබේ. උදේ හා හවස වැඩට එන්නට හා නැවත ගෙදර යන්නට ගමන් පහසුව වැඩි කළ යුතු තැන් සොයා වහා පොදු ප‍්‍රවාහන බස් හෝ දුම්රිය යොදවන්නට ප‍්‍රවාහන අංශවලට හැකියාව ලැබී ඇත. ඉක්මනින් වාහන ධාවන කාල සටහන් වෙනස් කරනු සඳහා බිග් ඩේටා ක‍්‍රමය මනා පිටිවහලක් වී ඇති අතර ජනතාව ප‍්‍රමාදයකින් තොරව අවශ්‍යතා සපුරා ගනී.

සෑම වසරකම සිංහල හා දෙමල අවුරුද්ද සඳහා ගමට යන පිරිස ගැන මෙරට ප‍්‍රවාහන අංශවලට අවබෝධයක් ඇත. නත්තල් කාලයේ සෙනග සංක‍්‍රමණය වන තැන් ගැන දනී. වෙසක් කාලයට වැඩිපුර ජනී ජනයා ගමන් කරන්නට කැමැති තැන් කොතැනක දැයි සරල දැනුමක් තිබේ. හැබෑවටම මෙම උපකල්පන නිවැරදිද යන්න සොයා බලන්නේ කෙසේද? මැති ඇමැතිවරු නිලධාරීහු උත්සව කාලයේදී කරන ප‍්‍රකාශයක් තිබේ. අතිරේක බස් හා දුම්රිය සේවා ක‍්‍රියාත්මකය යන්න එහි ප‍්‍රධාන තොරතුරකි. ඒවායේ කාලසටහන් පවා ප‍්‍රසිද්ධ කරයි. වෙනත් මාර්ගවල ධාවනය වන බස් කොළඹ හා තදාසන්න තැන්වලට කැඳවා අතිරේක ගාස්තු අයකර ගම් බලා පිටත්කරන්නට පියවර ගන්නා බව දක්වයි. නමුත් මෙම උපකල්පන ඉතාම නිවැරදි බවට සාක්ෂියක් නැත. ජනතාව කැමැති වෙලාවක, කැමැති නගරයට යන්නට බස් රථ නැත. දුම්රිය සොයා ගත නොහැකිය. අනවශ්‍ය තැන්වලට  ඕනෑවටත් වඩා බස් ඇති නමුත් අපි දැන් පැය ගණනක් පෝලිමේ බස් එකක් නැති බව අවුරුදු කාලයේ ජනතාව නගන පොදු මැසිවිල්ලකි. අවුරුදු උත්සවය හමාර කර ආපසු නගරයට එන ප‍්‍රවාහන ක‍්‍රමය ද එයට නොවෙනස්ය. එය ගමට යන ප‍්‍රවාහනයටත් වඩා අක‍්‍රමවත්ය. අසංවිධානාත්මකය. මෙකී පිළිවෙළක් නැති ක‍්‍රම ආර්ථිකයට කරන හානිය ගණන් බැලිය යුතුය. නාස්ති කරන කාලය සෑහෙන බරපතලය. ඒවා පිරිවැයකි. නිසි ක‍්‍රමානුකූල ව්‍යුහයක් සකස් කළ හැකි නම් ආර්ථිකයට අත්පත් වන වාසිය සුළු පටු නොවේ.

නොබෝදා කොට්ටාව මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කෙරිණ. එය මෙතෙක් මහරගම නගරයේ නිසි  පහසුකම් රහිතව පෝලිම්වල සිටි මගීන්ට හොඳ පහසුවක් ඇතිව ගමනක් ආරම්භ කළ ජනතාවට ලැබුණ පහසුවකි. නවීන පහසුකම් සමඟ වාහන ප‍්‍රමාණය ද වැඩි කළ යුතුය. පොදු ප‍්‍රවාහනය දියුණු කළහොත් පෞද්ගලික වාහන භාවිතා කිරීම පහත වැටේ. අවුරුදු දිනවල සිට කොළඹ දුම්රියපොළ, ලංගම හා පුද්ගලික බස් නැවතුම්පොළ සහ මාකුඹුර ඇතුළු මෙරට ප‍්‍රධාන පොදු ප‍්‍රවාහන කේන්ද්‍රස්ථානවලට රැස් කන අති විශාල ජනකායගේ අපේක්ෂාව නවීන පහසුකම් නොවේ. ගමට යන්නට පස් රථයකි. වෙලාවට ගමන් කරන දුම්රියකි. තම ගමන්මලු සමඟ පීඩා විඳින මගීන්  දෙගුණයක් හෝ තුන් ගුණයක් නමුත් ගෙවා ගමට යන්නට සූදානම්ය.

මහරගම සිට අධිවේගී මාර්ගයේ දකුණු පලාතය ගමන් කරන ලද මගීන්ට එතැන තිබුණ අඩුපාඩු ගැන මතකය තිබේ. සති අන්තවල ප‍්‍රමාණවත් බස් නැත. විශේෂයෙන් සිකුරාදා දිනවල පිට පළාත්වලින් බස් එනතුරු මගීහු බලා සිටිති. තාක්ෂණය භාවිතා කර ආසන වෙන් කළ හැකි බව කියන නමුත් බස් රථයකට නගින්නට විශාල තරගයක් ඇත. පැය දෙක තුන වෙහෙස වී බස් රථයකට ගොඩවන මගීහු පැය දෙකක් වායු සමීකරණය සහිත බස් රථයකින් ගමනාන්තයට ළඟා වන බව දැක්විය යුතුය. දුම්රිය, ටැක්සි හා මගී බස්රථ එකතුවන මාකුඹුරු මධ්‍යස්ථානයේ පහසුකම් දියුණු වූ නමුත් දුම්රිය හෝ බස් රථ ගණන වැඩිකර නැත. අලූත් දුම්රිය දෙක තුනක් අඩුම වශයෙන් යෙදවිය යුතුව තිබේ. මෙම මාර්ගයේ දුම්රියක් ගමන් කරන්නේ පැයකට වරකි. එතැනට පැමිණ කොටුවෙන් වෙනත් දුම්රියක් ගැනීමට පහසුව තිබේද? ශ‍්‍රී ලංකාව කුඩා රටකි. පැය පහක් හයක් තුළ රටේ එක කෙළවරක සිට අනෙක් කෙළවරට යා හැකිය. නමුත් කොට්ටාවේ සිට කොටුවට පැමිණ නුවර යන්නට බලා සිටින මගීන්ට දවසක් ප‍්‍රමාණවත් නැත. අවුරුදු ඉල්ලුම සම්පූර්ණ කරන්නට බහුවිධ මධ්‍යස්ථානය සූදානම්ද? අලුත් මධ්‍යස්ථානයට එන්නේ විවිධ ප‍්‍රදේශ කරා යන ජනී ජනතාවය. අවශ්‍ය තැනට ගමන් කරන විට එය නිසි කලට, නිසි පහසුව සහිතව නැති අවස්ථාවල විශාල ගැටලුවකි. අවසානයේදී ටැක්සිවලට ගෙවනවා හැර විකල්පයක් නැත.

පසුගිය වසරේ අප්‍රේල් 10-16 කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කලින් වසරට වඩා සියයට විසි පහකින් වැඩි වී තිබේ. 2019 වසරේ වර්ධනය කොපමණ විය හැකිද? බලධාරීහු මේවා ගණන් බලන්නේ නැත. වාහන වැඩිවීම වෙනුවට පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කර පුද්ගලික වාහන භාවිතා කිරීම අධෛර්යවත් කළ යුතුය. මාකුඹුර මධ්‍යස්ථානයේ වාහන ගාල්කරන තැන් හදන්නේ තමන්ගේ වාහනය ගාල් කර පොදු බස් රථයකින් ගමන් කරවනු සඳහාය. එවැනි පෙළඹවීමකට මෙරට ප‍්‍රවාහනය සූදානම් නැත. මෙම පොදු ප‍්‍රවාහන මධ්‍යස්ථානය දකුණු පළාතට පමණකි. සෙසු පළාත්වල අවශ්‍යතාවය සපුරන්නට බහු විධ මධ්‍යස්ථාන හැදෙන්නේ කවදාද? පසුගිය වසරේ අත්දැකීම් පෙන්වන අන්දමට අලුත් අවුරුදු දිනවල ඉහළ යන මගී ප‍්‍රමාණය සම්පූර්ණ කිරීම සඳහා අතිරේක බස් රථ පන්සියයක් පමණ යොදවා ඇත. මෙම බස් සොයාගන්නේ අනෙක් ප‍්‍රදේශවල ධාවනය දුර්වල කිරීමෙන් බව පැහැදිලිය.

කොළඹ නගරයේ ජීවත්වන වාහන හිමි අති විශාල ප‍්‍රමාණයක් තමන්ගේ ගම් රටවල් බලා යති. කොට්ටාව, කඩුවෙල, කෙළවරපිටිය හා කඩුවෙල මහා නගර තත්ත්වයට පැමිණ තිබේ. ඒවා අධිවේගී මාර්ගයේ වටරවුමට සන්ධි වන නගර වශයෙන් හඳුනාගෙන තිබේ. මෙම තැන්වලින් ගමන් ආරම්භ කරන පොදු ප‍්‍රවාහනයක් ගැන අවධානය යොමු කිරීම සුදුසුය. ප‍්‍රතිපත්ති සම්පාදකයන් රාජ්‍ය සහ ප‍්‍රවාහන කර්මාන්තය දෙස නිවැරදි තක්සේරුවකට පැමිණිය යුතුය. යම් ප‍්‍රතිසංස්කරණයක් සඳහා තීන්දු ගන්නේ කෙසේදැයි විමසා බැලීම අවශ්‍යය. ජනතාව ප‍්‍රවාහනය වෙනුවෙන් විශාල පිරිවැයක් දරයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ වියදම් සමීක්ෂණය අනුව ප‍්‍රවාහන වියදම බරපතල බව තේරැම් ගත යුතුය. මෙරට ජනතාව රුපියල් සියයක් වියදම් කරන විය එයින් ශත 14.1 ක් ප‍්‍රවාහනය වෙනුවෙන් වැය කරයි. 2012 වසරේ එය පැවැතියේ ශත 12.8 ක මට්ටමකය. එම වාර්තාව දක්වන පරිදි ගෘහ ඒකකයක අධ්‍යාපන වියදම ඒකකයේ වියදම ශත 4.6 කි. සංස්කෘතික සහ විනෝද කටයුතු වෙනුවෙන් වියදම ශත 2.1 ක් වන අතර ඇඳුම් පැළඳුම් වෙනුවෙන් වියදම් කරන්නේ ශත 5.3 ක ප‍්‍රමාණයකි. අවුරුද්දට ගමට යන ගමන හිරිහැරයක් නොවන ආකාරයට සංවිධානය කරන්නේ කෙසේදැයි බංගලාදේශයෙන් ඉගෙන ගැනීමට අපට සිදුවී තිබේ. තාක්ෂණය ගැන මහ ඉහළින් කතා කරන නමුත් ප‍්‍රායෝගිකව භාවිතා කරන සැලැස්මක් නැත. එය අභාග්‍යයකි. ප‍්‍රතිපත්ති හදන, ඒවා ගැන කතා කරන දේශපාලනඥයෝ ජනතාවගේ එදිනෙදා අවශ්‍යථාවලදී තාක්ෂණය භාවිතා කර අවශ්‍යතා හඳුනාගන්නට වෑයම් කරන්නේ දැයි සොයා බැලීම වැදගත්ය. එළඹෙන අලුත් අවුරුද්ද අමතක කරමු. 2020 වසරේ දී උත්සව කාලයේ පොදු මගී ප‍්‍රවාහනය ගැන දැන් සැලසුම් හැදීම සුදුසුය.

►ගාමිණී සරත් ගොඩකන්ද