2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

අල්ලන්නත් අමාරු ඇල්ලුවත් ලිස්සන කුඩු ජාවාරම් තෝරු මෝරු

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 268

ජනාධිපති මෛත්‍රීපාල මහතා විසින් රට වටේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කර තිබේ. ඒ සඳහා දැන් පොලීසිය පමණක් නොව ත්‍රිවිධ හමුදාවම යොදවා ඇත. එක් පැත්තකින් ගෙවල්වල තිබෙන කුඩුය. තව පැත්තකින් මුහුදෙන් එන කුඩුය. කොහෙන් ආවත් කුඩුය. එහෙත් පුදුමය නම් තවමත් කුඩු තිබීමය. මෙච්චර අල්ලන්න කුඩු කොහෙන්ද හැමෝටම ඇති ප්‍රශ්නයකි. සැබැවින්ම අප ඒ පිළිබඳව සොයා බැලුවෙමු. ඒ මේ කුඩුවලට ඇබ්බැහි වී සිටින අය හරහාය. මෙතැනින් පසු දිගහැරෙන්නේ ඒ කුඩු මාෆියාවේ වර්තමාන කතාවය.

එකදිගට පොලීසියත් හමුදාවත් විසින් අත්අඩංගුවට ගන්නා කුඩු ප්‍රමාණය අනුව මීට ඇබ්බැහි වූවන් සහ විකුණන අය මේවන විට සිටිය යුත්තේ ආතක් පාතක් නැතිවය. කුඩු නැතිව ජීවිතයත් මරණයත් අතර සටනකය. එහෙත් කුඩු ගසන උනුත්, විකුණන අයත් යහතින් සිටිති. එසේ වන්නේ කෙසේද? මේ කවුරුත් නොදන්නා පැත්තක ඇත්ත කතාවක්ය.

දැනට අනාවරණය වන පිරිදි ලංකාවට හෙරොයින් එන ප්‍රධාන ජාල කිහිපයක් ඇත. එය අංක වශයෙන් මෙලෙසය.

01. මාකඳුරේ මදුෂ්ගේ කල්ලිය
02. වෙලේ සුදාගේ කල්ලිය
03. මොහොමඩ් සිද්ධික්ගේ කල්ලිය
04. රත්ගම විදුරගේ කල්ලිය
05. කොස්ගොඩ සුජීගේ කල්ලිය
06. සේල් වසන්ත සහ දෙවුන්දර තමිල්
07. මඩකලපුවේ හෙරොයින් ජාලය
08. මැලේසියානු හෙරොයින් ජාලය
09. සෘජු පකිස්තානු හෙරොයින් ජාලය
10. ඉන්දියානු හෙරොයින් ජාලය
11. අන්නාසි මොරිල්ගේ ජාලය

ඉහත අංක අනුව 08 සහ 10 හැර අනෙක් සියල්ලම ක්‍රියාත්මක වන්නේ පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාවාරම හරහාය. පාතාලයෙන් ලැබෙන තොරතුරු අනුව පාකිස්තාන හෙරොයින් ජාලය ප්‍රධාන ජාවාරම්කරුවන් හයදෙනකු හරහා ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත් අදටත් පාකිස්ථානය තුළ වැඩිම පිළිගැනීමක් ඇත්තේ වෙලේ සුදාට සහ මොහොමඩ් සිද්ධික් හටය. එයට හේතු වී ඇත්තේ මොවුන් දෙදෙනා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයත් සමඟ සෘජුව ගනුදෙනු කිරීම නිසාය. ඒ බව පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාලයත් සමඟ වැඩ කරන ඕනෑම අයකු දන්නා රහසකි. දැනගන්නට ඇති පරිදි අලුතින් මේ ජාලයට එක්වනවා සේම පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාලයෙන් හෙරොයින් ලබාගන්නවා නම් වෙලේ සුදා සහ  මොහොමඩ්  සිද්ධික් දෙදෙනාම දැනුවත් කරනු ඇත. එසේම දෙන්නම් කාසිවලට වැඩියෙන්ම හෙරොයින් ලබාදෙන්නේ ද මේ දෙදෙනාටම පමණි. ඒ තරම් මේ දෙදෙනා සම්බන්ධයෙන් පාකිස්තාන හෙරොයින් ජාලය තුළ නොබිඳෙන විස්වාසයක් ගොඩනැගී ඇති බව පාතාලයේ ප්‍රසිද්ධ රහසකි.

කෙසේ වෙතත් සිද්ධික් සහ වෙලේ සුදා බන්ධනාගාර ගතවීමත් සමඟ මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වීම අඩුවිය. ඒ ඒ දෙදෙනාම නිසා නොව මෙරට ප්‍රභූන් රැසකගේ හොඳම මිතුරා වූ මැලේසියානු මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ ජාලයට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් ප්‍රහාර එල්ල කිරීම නිසාය. මේ නිසා හෙරොයින් ජාලය අඩපණ විය. එහෙත් නැවත එයට පණ දෙන්නට මැදිහත් වන්නේ මෙරට පාතාලයේ අලුගෝසුවා වූ මධූෂ් හරහාය. කාලයක් වෙලේ සුදා සමඟ බිස්නස් කළ අන්නාසි මොරිල් අලුත් සාමාජිකයකු ලෙස මධූෂ්ව පාකිස්තාන හෙරොයින් ජාලයට හඳුන්වා දෙන්නේ ඔහුට ද වෙලේ සුදා අබිබවා යාමේ පිපාසය නිසාය. එහෙත් මොරිල් ඒ සඳහා යොදගත්තේ වංචාකාරයෙකි. එනම් මධූෂ් පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තැබූ පොලු අනන්තය. මේ නිසා මධූෂ් ගැන එතරම් පැහැදීමක් පාකිස්තානු ජාවාරම්කරුවන්ට තිබුණේ නැත. ඒ සියල්ල අතර මැද එරට ජාවාරම්කරුවන් විසින් මෙරටට එවන ලද හෙරෝයින් කිලෝ ග්‍රෑම් 128කට මධූෂ් ගේමක් දෙන්නේ මහ දවල්ය. ඒ දකුණෙන් ගොඩ බාමින් තිබූ එම හෙරොයින් තොගය මත්ද්‍රව්‍ය කාර්යංශය යැයි පවසා පාකිස්තාන පුද්ගලයා ද බියවද්දා පැහැර ගැනීමෙනි. පුදුමය නම් එහි මොරිල්ට අයත් කුඩු කිලෝ 50ක් ද තිබීමය. මේ නිසා මොරිල් පමණක් නොව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයම කැළඹෙන අතර අවසානයේ මධූෂ්ට ප්‍රහාරය එල්ල කරන්නේ ඒ හරහාය. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ මධූෂ් සමඟ ඇරියස් ඇති වෙලේ සුදාය. මොරිල් මේ වැඩේ පිටුපස සිටින බව කීවත් මෙහි ඇත්තම හිමිකරු වෙලේ සුදා බව පාතාලයේ ප්‍රසිද්ධ රහසකි.

කෙසේ වෙතත් මේ වනවිට පොලීසියට ඔත්තු ලබා දෙන බවට චෝදනා එල්ල වන්නේ වෙලේ සුදාටය. පසුගියදා අත්අඩංගුවට ගත් හෙරොයින් නැවේ ඔත්තුකරු ද ඔහු යැයි දැනගන්නට ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව එම හෙරොයින් මධූෂ්ගේ වීම නිසාය. කෙසේ වෙතත් විශාල තොගයක් රැගෙන ආ එම හෙරොයින් නැව මාලදිවයින ප්‍රදේශයෙදී තවත් කොටසක් ගොඩබා ඇති බව දැනගන්නට ඇත. ඒ තවත් ගනුදෙනුවක් නිසාය. එහෙත් අවසානයේ කොටු වූයේ කිලෝ එකසිය ගණනක් පමණි.

මේ අතර මෙරටට මෙතුවක් කල් හෙරොයින් රැගෙන ආ ප්‍රධාන ජාවාරම්කාරියක් වන බංගලිදේශ කාන්තාවගේ ජාලය සම්පූර්ණයෙන් කැඩී විසිරි ගොස් ඇත. ඒ ඇය මේ වන විට පොලීසියේ කූරු ගණන් කිරීම නිසාය. ඇය හෙරොයින් කිලෝග්‍රෑම් පහක් රැගෙන චීනයට ඇතුළු වන විට ඇයව චීන පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ නිසා ඇය දැන් සිටින්නේ චීනයේය.

කෙසේ වෙතත් මෙතරම් ගෙන එන්නේ මෙරටදී භාවිතා කරන්නද? එය හැමෝටම ප්‍රශ්නයක් වී ඇත. නැත. ඒ ගේන කුඩුවලින් බාගයක් නැවත වෙනත් රටවල් සඳහා පිටත් කෙරෙන බවට සැක කෙරේ. ඒ වෙනත්  තැනකින් නොව ගුවන් මාර්ගයෙන්මය. ගුවන් මගියන් මෙරටට එනවිට පරීක්ෂා කරන්නට මෙරට මත්ද්‍රව්‍ය කාර්යංශයට අයිතියක් තිබුණ ද මෙහෙන් පිටත්වන අය ගැන සොයා බලන්නට මත් ද්‍රව්‍ය කාර්යංශයට අයිතියක් නැත. අයිතියකටවත් වඩා ක්‍රමයක් නැත. මේ නිසා විදේශික ජාවාරම්කරුවෝ සිය ගමන් මලුවල සූක්ෂම ලෙස අසුරා අනෙක් රටවලට රැගෙන යති. ඒ නිසා මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කළ හැකි තවත් හොඳම ක්‍රමයක් වන්නේ මෙරටින් පිටවන ගුවන් මගීන් පරීක්ෂා කිරීම සඳහා ද මත්ද්‍රව්‍ය කාර්යංශයට අවසර දීමය.

අනෙක් කරුණ නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවය. එහි ඉන්නා දූෂිත නිලධාරීන් කිහිපදෙනකු නිසා බන්ධනාගාරයේ සිටින වෙලේ සුදාලා, සිද්ධික්ලා ජංගම දුරකථන භාවිත කරති. මේ නිසා ඕනෑම අවස්ථාවක සුදාලාට සිද්ධික්ලාට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය හරහා සම්බන්ධ වීමේ නිදහස ඇත. ඒ නිසා කුඩු බෝට්ටුවලින් පමණක් නොව ඉදිරියේදී නැව්වලින් ද මෙරටට ගෙන්විය හැක.

දැනට පාකිස්තානයෙන් කුඩු කිලෝවක් ලබාගන්නේ රුපියල් ලක්ෂ 15ක් වැනි මුදලකට බව කියති. එය ලංකාවට එන විට ලක්ෂ 35 ක් පමණ වේ. එම කුඩුවල හෙරොයින් සාන්ද්‍රනය 80%ක් වන නිසා මෙරටට ආපසු එයට පැරසිටමෝල් කුඩු වැනි දෑ එක්කොට සාන්ද්‍රණය 20%ත් 10%අතර ප්‍රමාණයකට ජාවාරම්කරුවන් විසින් අඩුකරන බව සඳහන් වේ. එවිට කුඩු කිලෝවකින් ලක්ෂ 100ක පමණ ආදායමක් ලැබෙන බව කුඩු පාතාලයේ තියරියයි. මේ නිසා කුඩු කිලෝවක් ලබාගත් අයකුට කෝටිපතියකු වීම මහලොකු වැඩක් නොවන බව කියති.

කෙසේ වෙතත් දැනට වෙලේ සුදා පොලීසියට මධූෂ් පිළිබඳ ඔත්තු ලබාදෙමින් අනෙක් පැත්තෙන් කුඩු ගෙන්වන බවට සැක කෙරේ. එය තක්කඩිකමක් වුවත් කුඩු ජාලය ගැන තොරතුරු ලබාගත හැක්කේ උපාසක උපාසිකාවන්ගෙන් නොව ඊට සම්බන්ධම කුඩු ජාවාරම්කරුවන්ගෙනි. ඒ නිසා එහි යම් සාධාරණයක් ඇත. එහෙත් මෙලෙස සිදුවන විට හෙරොයින් මර්දනය කළ හැකි දැයි ප්‍රශ්නයක් ඇත. ඒ ගැන වෙනම කල්පනා කළයුතු දෙයකි.

මේ වනවිට ජාත්‍යන්තර හෙරොයින් ජාලය කැළඹී ඇතත් සුදාගේ සහ සිද්ධික්ගේ විශ්වාසය මත තවමත් ලංකාවට කුඩු ලබාදෙමින් ඇත. රත්ගම විදුරලා, කොස්ගොඩ සුජීලා, සේල් වසන්තලා වැන්නවුන් පවා ජාවාරමේ නිරත වී ඉන්නේ ඔවුනුත් නොදන්නා සුදාගේ සහ සිද්ධික්ගේ ගැරන්ටිය මතය. එසේ ඔවුන් දෙදෙනා ගැරන්ට් කරන්නේද ඔවුන් දෙදෙනාට නිදහසේ කුඩු ජාලය කරගෙන යාමටය.

කෙසේ වෙතත් කවුරුන් හෝ කියනවා නම් කුඩු හිඟයක් රටේ පවතිනවා කියා එය පට්ටපල් බොරුවකි. මේ දැන් වුවත් කිලෝ සීයක් දෙසියක් මිලදී ගැනීමට රට අභ්‍යන්තරයේ කුඩු ඇත. ඒ නිසා මේ කුඩු ජාලය පිපිරවීම ලෙහෙසි පහසු නැත. මෙය සම්පූර්ණයෙන් බූවල්ලෙකි.

(ලබන සතියේ රටට කුඩු එන හැටි සහ කුඩු බෙදන හැටි)

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00