2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

පාවෙන බලාගාරය යට ගජමිතුරු සමාගමක්...

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

නියං කාලගුණයක් සමඟ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. අධික උෂ්ණත්වයත් සමඟ ඇති විදුලි පාරිභෝජනය ඉහළය. පවතින තත්ත්වය අනුව විදුලිය කප්පාදුවට ලක්කරමින් සැපයුම ලබාදීම ද ගැටලු රැසක් පැන නගින්නකි. අඛණ්ඩ විදුලි සැපයුම අර්බුදයක්ව තිබියදී අතිරේක විදුලිය ලබාගැනීම සඳහා බලාගාරයක් සහිත යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී තිබෙන බව වාර්තා වේ.

මෙම පාවෙන විදුලි බලාගාරය ගෙන්වීම පසුපස ප්‍රබල දේශපාලනඥයකුගේ හිතවතකු සහ විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පිරිසක් සිටින බව වාර්තා වේ. පාවෙන විදුලි බලාගාරයෙන් දෛනිකව මගාවොට් 100ක විදුලි බලයක් උත්පාදනය කළ හැකි බවත් ඒ සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවන බවත් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදයට විසඳුමක් බව පෙන්වමින් ගෙන්වාගෙන ඇති පාවෙන විදුලි බලාගාරය හරහා විදුලිය ජාතික පද්ධතියට එක්කිරීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවට ද වාර්තා වේ.

මෙම පාවෙන විදුලි බලාගාරය ඩීසල් භාවිතයෙන් ක්‍රියාත්මක වන්නකි. එම බලාගාරය කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම් දැමූ පසුව අදාළ දිනයේ පටන්ම විදුලි බල මණ්ඩලයට එම බලාගාරයේ ධාරිතා ගාස්තුව ගෙවීමට සිදුවනු ඇති බවද ඒ අනුව බලාගාරයේ විදුලිය ජාතික පද්ධතියට සැපයුවද නැතත් කෝටි ගණනින් ධාරිතා ගාස්තුව නිරපරාදේ ගෙවීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ මේ වනවිටත් කොළඹ වරායෙන් පිටත පාවෙන විදුලි බලාගාරය නවතා ඇති බවත් එමඟින් දෛනිකව මෙගා වොට් 100ක විදුලි බලයක් නිපදවීමට හැකියාව ඇති බවට තොරතුරැ ලැබී ඇති බවත්ය.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මාර්තු මාසයේ අවසන් සතියේදී මෙගාවොට් 100ක් උත්පාදනය කරන පාවෙන බලාගාරයක් ගෙන්වීමට විදුලි බල මණ්ඩලය මඟින් අනුමැතිය ඉල්ලා ඇති බවය. එහෙත් ඒ සඳහා නියමිත ටෙන්ඩර් පටිපාටිය හෝ තෝරා ගැනීමේ ක්‍රමවේදය කෙසේ සිදු කළාදැයි නිශ්චිත වාර්තාවක් නැත. පවතින විදුලි අර්බුදයකට විසඳුමක් වශයෙන් හදිසි විදුලිය මිලදී ගැනීමක අවශ්‍යතාව පෙන්වා මේ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවද වාර්තා වේ. වර්තමානයේ හටගෙන තිබෙන විදුලි අර්බුදය නිර්මාණය කළ ඉහළ පෙළ නිලධාරීන් කීපදෙනකු සමඟ විදුලි බල මණ්ඩලයේ විශ්‍රාමික නිලධාරියකු ද පෙර කී ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයාද සිටින බව වාර්තා වේ.

පාවෙන බලාගාරය තුර්කියේ නිෂ්පාදනය කළ එකකි. එය වසර ගාණක් තිස්සේ ලාඕස් රටේ භාවිතා කර ඇති බවත් අනතුරැව මියන්මාරය හා බංගලාදේශය ඇතුළු රටවල් කිහිපයකට අලෙවි කිරීමට උත්සාහ කළත් එම බලාගාරයේ විදුලි ඒකකයන් සඳහා වන අධික මිල නිසා ගනුදෙනුව සිදු කර නැති බවද වාර්තා වී තිබේ. මාස කීහිපයකට ඉහතදී විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් තුර්කියේ සංචාරයක නිරතව ඇති බවත් සංචාරය නිමවා මෙරටට පැමිණි දා සිට පාවෙන බලාගාරයක් ගෙන්වීම පිළිබඳව වෙහෙසී ඇති බවට වාර්තා වේ

විදුලි බල පනතට අනුව ටෙන්ඩර් කැඳවීමකින් තොතරව විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට අවසර නැත. අදාළ අමාත්‍යංශයට එවැන්නක් සිදුකළ හැකි වන්නේ විදුලිබල අර්බුදයක් පැන නැගී ඇති හදිසි අවස්ථාවකදී පමණි.

එබැවින් මේ පිළිබඳව තතු දන්නා ප්‍රවීණයන් පවසන්නේ විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පිරිසක් චේතනාන්විතවම විදුලි අර්බුදයක් නිර්මාණ කර පාවෙන විදුලි බලාගාරයක් ලංකාවට ගෙන්වීම දක්වා මාර්ගය සකසා ඇති බවය.

මෙගාවොට් 100ක විදුලි බලයක් උත්පාදනය කරන බලාගාරයකින් කිලෝ වොට් 220ක ධාරිතාවයක් ජාතික පද්ධතියට සම්ප්‍රේෂණය කළ හැකි බව කියයි. එහෙත් එවැන්නක් සඳහා කොළඹ වරාය පරිශ්‍රයේ හෝ රටේ වෙනත් ස්ථානයක පහසුකම් නැති බව අනාවරණය වී ඇත.

එවැනි සම්ප්‍රේෂණ රුහැන් ස්ථාපිත කිරීම සඳහා සැලකිය යුතු පරිදි දින ගණනාවක් ගතවන බවත් එය අවසන් වීමට පෙර වර්ෂා සමය ආරම්භ වීමට අවස්ථාව තිබෙන බවත් කියති. එහිදී සෑම ජල විදුලි බලාගාරයකම දෛනික විදුලි නිෂ්පාදනය සිදු කිරීමට පහසුකම් ඇති වන නිසා පාවෙන විදුලි බලාගාරය අත්‍යාවශ්‍ය නොවනු ඇත.

ලක්ෂ ගණනින් ජනතාව අඳුරේ තබා රට විදුලි අර්බුදයකට ගෙන ගිය බලධාරීහු පසුගියදා කෘත්‍රිම වැසි වැස්සවීමේ අසාර්ථක උත්සාහයක නිරත වූහ. කෘත්‍රිම වැස්ස මෙන්ම පාවෙන බලාගාරයත් කෝටි ගණනක ජනතා මුදල් විනාශ කිරීමක් බවට නුදුරේදීම වාර්තා වන ඇත.

 සමන්ත ප්‍රදීප් විල්තෙර