2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

පරණ ත්‍රීරෝද රථය වෙනුවට කාර් එකක්

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 176

පරණ ත්‍රීරෝද රථ වෙනුවට කාර් ලබාදීමේ යෝජනාවක් පිළිබඳ පසුගිය දිනවලදී කතාබහක් ඇතිවිය. මෙය බැලූ බැල්මට අපූරැ තීරණයකි. එ නිසාම මේ පිළිබඳ යම් විමසා බැලීමක් කිරීමට සුදානම් වෙමු. 

කලක පටන් විටින්විට කරළියට ආ මෙම වැඩසටහන මෙවර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇත. රථවාහන තදබදයට, පරිසර දූෂණයට, මාර්ග අනතුරුවලට ත්‍රීරෝද රථ හේතුවන බව නිතර කියවෙන්නකි. එ නිසාම ත්‍රීරෝද රථ සම්බන්ධව රාජ්‍ය මට්ටමෙහි ඇත්තේ හොඳ ප්‍රතිරෑපයක් නොවේ. එසේ නමුත් සාමාන්‍ය මගී ජනයාට පොදු ප්‍රවාහන සේවයේ අපහසුතා මගහරවාගෙන ගමනාගමනය සිදුකළ හැකි එකම ලාභදායී වාහනය ත්‍රීරෝද රථයයි. එහි සමාජ උපයෝගීතාවය බොහෝ දෙනා අමතක කරති. එ නිසාම ත්‍රීරෝද රථ අරභයා නිතර සමාජ සංවාද ඇතිවීම සුලභ දෙයකි.

නව වැඩසටහන පිළිබඳ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ තියෙන ත්‍රීරෝද වෙනුවට රෝද හතරේ කාර් එකක් ගන්න ලක්ෂ විස්සක ණයක් දෙනවා. හැබැයි ඒ ත්‍රීරෝද රථය අයින් කරන්න ඕනෙ. තියෙද්දී ගන්න බෑ. අපි මේ ගැන තාම වැඩපිළිවෙළක් හදාගෙන යනවා. තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. මාර්ග ආරක්ෂක ජාතික සභාව හරහා තමයි  කටයුතු සිද්ධ වෙන්නේ. ටූස්ට්‍රෝක් වගේ ත්‍රීවිල් අපි ලංකාවෙන් අයින් කරන්න යන්නේ. ටූස්ට්‍රෝක් එකක් තියෙනවා නම් අපි ගන්නවා. අරගෙන විනාශ කරලා දානවා. ලංකාවේ ෆෝස්ට්‍රෝක් වගේ තියෙන ඒවා බංග්ලාදේශය වගේ රටකට ප්‍රතිඅපනයනය කරන්න. එහෙම වැඩපිළිවෙළක් ගැන තමා කතා කරන්නේ. තාම මූලික සාකච්ඡා විතරයි. බජට් එකට පස්සේ තමයි ඔක්කොම කරන්නේ. කොහොම වුණත් ලක්ෂ විස්සක් සීයට තුනයි දශම තුනේ පොලියට දෙනවා කාර් එක්ක ගන්න.

තාමත් ක්‍රියාත්මක කිරීමට පිඹුරැපත් සකසන මෙම යෝජනාව පිළිබඳ මැදි අදහසකින් බැලිය යුතුය. මෙවන් බොහෝ උත්සාහයන් කාලයත් සමඟ වියැකී ගිය බව පෙර අත්දැකීම් අනුව අපට මතකය. වර්තා වන පරිදි මෙරට ලියාපදිංචි ත්‍රීරෝද රථ සංඛ්‍යාව එකොළොස් ලක්ෂ පනස් දහසකි. ඉන් අට ලක්ෂ පනස් දහසක් මගී ප්‍රවාහනයේ යෙදෙයි. එයිනුත් තුන් ලක්ෂ පනස් දහසක් පවතින්නේ බස්නාහිර පළාත තුළය. අද රටේ ශ්‍රම බලකායෙන් සෑම නව දෙනකුගෙන් එක් අයෙක් ත්‍රීරෝද රථ රියැදුරකු බවද කියැවේ. ඒ අනුව බලන විට මෙරට ත්‍රීරෝද කර්මාන්තය සම්බන්ධ පිරිස හා සේවාලාභීන් ප්‍රමාණය රටේ සමස්ත ජනගහනයෙන් අඩකට වඩා වැඩි විය යුතුය. එහෙත් මෙතෙක් පැවති ආණ්ඩු මෙම කර්මාන්තයට ලබාදී ඇත්තේ සාපේක්ෂව අඩු අවධානයකි. 

මෙවර ක්‍රියාත්මක කිරීමට සැරසෙන වැඩසටහන කුමන මාදිලියකට අනුව ක්‍රියාත්මක වුවද, එහි සමාජ බලපෑම විශාල වන බව ඔබට වඩාත් පැහැදිලි විය යුතුය. එ නිසාවෙන්ම මෙම සමස්ත ක්‍රියාදාමය පිටුපස වගකීම් රැසක් දරා සිටින සිසිර කෝදාගොඩ මහතාගෙන් නව යෝජනා පිළිබඳ විමසීමක් කළෙමු.  

ඒ මහතාට අනුව ආරක්ෂාකාරී බව හේතුකොට ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මේ වනවිට ටූස්ට්‍රෝක් වැනි ත්‍රීරෝද මෙරට නීතියට අනුව ධාවනය තහනම්ය. එහෙත් ඒවා තවමත් ධාවනය වෙමින් තිබේ. මුදල් අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ ඉහත තත්ත්වයන් සලකා බලමිනි. 

බොහොම මෑතක දී මේක ආරම්භ කළේ. අපි හිතනවා තව මාස කිහිපයක් යනකොට මේක වඩාත්ව පුළුල්ව ක්‍රියාත්මක වෙයි කියලා. ලංකාවේ ටූස්ට්‍රෝක් නීතිය අනුව භාවිත කරන්න බෑ. ඒ නිසා ටූස්ට්‍රෝක් වාහන තියෙන අයට විශේෂ පහසුකම් හදලා දෙනවා අර වගේ වාහනයක් අරගන්න..

මේ අනුව අදාළ සමාගම් හොඳ තත්ත්වයේ තිබෙන වාහන කලාපයේ තිබෙන බංග්ලාදේශය, නේපාලය වැනි රටවලට ප්‍රතිඅපනයනය කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙහිදී ත්‍රීරෝද භාරදීමට සිදුවන්නේ අදාළ සමාගමටයි. රජය මේ වනවිට එම සමාගම් සමඟ සාකච්ඡා කර තිබේ. මේ වනවිටත් බැංකු හා අදාළ නියෝජිතයන් සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතී. ඒ අනුව මතුවෙන ගැටලු නිරාකරණය කර ගනිමින් ඉදිරියට යනු ඇත. සිසිර කෝදාගොඩ මහතාට අනුව ඉදිරියේදී මෙම වැඩසටහන සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් සිදුවනු ඇත.‍

නව යෝජනා පිළිබඳ සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සංගමයේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතාගෙන් ද විමසීමක් කළෙමු. එහිදී මතුවූයේ රජය පාර්ශ්වයෙන් මතුකරන අදහසට පරස්පර මතයකි. 

2015 ඉඳන් ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් යෝජනා ආවා. ඉලෙක්ට්‍රික් කාර්, ඉලෙක්ට්‍රික් ත්‍රීවීල්, අඩුමිලට කාර්, අඩුවට ත්‍රීවීල් වගේ දේවල්. දැන් අන්තිමට ඇවිල්ලා තියෙනවා ලක්ෂ විස්සක් දෙනවා කියලා පොඩි කාර් එකක් ණයට ගන්න. පොලියෙන් සීයට හැත්ත පහක් රජය ගෙවනවා. අපි හොයලා බැලුවා ඒ ගැන. ඒත් මේ සම්බන්ධයෙන් හරියට කොන්දේසි කියාගන්න පුළුවන් කෙනෙක් ඊයේ පෙරේදා වෙනකොටත් හොයාගන්න නෑ. ආසන්න දවසක ඇහුවාමත් කිව්වේ තාම නෑ කියලා. ඊයේ පෙරේදා වාහන ගණන් ගියා. ඒ නිසා ලක්ෂ විස්ස කියන එක ප්‍රමාණවත්ද? දෙන යාන්ත්‍රණය මොකක්ද? දෙන වාහනය මොකක්ද? කියන කාරණා තවම පැහැදිලි නෑ. රජය ගේන  යෝජනා පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා. අවුරුදු ගණනක් ත්‍රීරෝද රථයට පමණක් මෙවැනි යෝජනා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මා තුළ තියෙනවා බොහොම සෘණාත්මක කටුක අවබෝධයක්. ඒ අනුව අරගත්තාම මේවා හොඳයි, කෙරෙයි කියලා විශ්වාසයක් නෑ. මේ දක්වා තියෙන තොරතුරු අනුව හුදු කතාවක් පමණයි. සමස්ත කර්මාන්තය වඩා හොඳ තැනකට ගෙන ඒම සඳහා ඉවහල් වෙන යෝජනාවක් නෙවෙයි ඔය.

ඒ මහතාට අනුව මේ හරහා සිදුවන්නේ ත්‍රීරෝදකරුවන් ණයකරුවන් වීමකි. කෙසේ වෙතත් ත්‍රීරෝද නියාමනය පිළිබඳ විවිධ වැඩසටහන් පමණක් ක්‍රියාත්මක වෙමින් තිබිය දී ත්‍රීරෝදකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් අවධානය යොමුකිරීම ප්‍රශංසනීය බව කිව යුතුය. එහෙත් මෙම යෝජනාවේ ප්‍රායෝගිකත්වය සම්බන්ධයෙන් අපට ද ගැටලු තිබේ. මේ මොහොතේ මෙම වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක වනතුරු බලා සිටිම බුද්ධිමත්ම තීරණයයි.

 චමිඳු නිසල් ද සිල්වා 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00