2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ආණමඩුවේදී සිදුවූ ලංකාවේ මහා කුකුළු හොරකම

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 508

ජනප්‍රිය වෙළෙඳ නාමයක් යටතේ කුකුළු මස් අලෙවි කරන සමාගමකට අයත් කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියැදුරු ගස් බැඳ පැහැරගෙන ගොස් ඇතැයි ආණමඩුව ප්‍රදේශයෙන් වාර්තා විය. එදා ගමේ ගොඩේ පොඩියට සිදුවූ කුකුළු හොරකම ලොරිපිටින් සිදුවන්නට යාම පුදුම කතාවකි. මෙයට හේතුව මුදල් හදල් නැතිකමද, කෑමබීම අහේනියදැයි අපි නොදනිමු. මීට පෙර අසන්නට නොලද කුකුළු ලොරියක් පැහැරගෙන යාමේ සිදුවීම වාර්තා වන පරිදි මෙසේය.

ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් යටතේ කුකුළු මස් නිෂ්පාදනය කොට අලෙවි කරන ප්‍රධාන පෙළේ සමාගමකට අයත් කුකුළු ගොවිපොළක් ආණමඩුව පොලිස් බලප්‍රදේශයට අයත් කොට්ටුකච්චි වඩත්ත ප්‍රදේශයේ පිහිටා ඇත. එම ගොවිපොළේ සිටින කුකුළන් වරින් වරට ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන නිෂ්පාදනාගාරය වෙත රැගෙන යාම සාමාන්‍ය කාර්යයකි. එළැඹීමට නියමිත අලුත් අවුරුදු සමය නිමිත්තෙන් මෙකී ප්‍රසිද්ධ වෙළෙඳ නාමය යටතේ අලෙවි කරන කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් ඇතිවී තිබුණි. ඊට අදාළ සැපයුම ලබාදීම සඳහා කළමනාකාරීත්වය ප්‍රමුඛ සේවක මණ්ඩලය කටයුතු කරමින් සිට ඇත. මේ සඳහා සුදුසු තත්ත්වයේ කුකුළන් 2500ක් පමණ පැටවූ ලොරි රථයක් ප්‍රධාන කර්මාන්තශාලාව වෙත පිටත්ව යාමට සූදානමින් තිබිණ.

ඉකුත් 4 වැනිදා කුකුළන් පැටවූ ලොරි රථය ප්‍රවාහනය කිරීම සඳහා ආණමඩුව වඩත්ත ප්‍රදේශයේ පිහිටි ගොවිපොළක් පිටත් වී තිබුණේ අවශ්‍ය දත්ත ලේඛනගත කිරීමෙන් අනතුරැව එදින උදෑසනය. වාර්තා වන අයුරින් ලොරි රථයේ පැමිණ තිබුණේ රියැදුරු පමණය. ගොවිපොළෙන් පිටත් වූ ලොරි රථය කොට්ටුකච්චි - වඩත්ත මාර්ගයේ ධාවනය කරමින් තිබී ඇත. එහිදී රථය ළඟා වී තිබුණේ හල්මිල්ලෑව මංසන්ධිය දෙසටය. එම ප්‍රදේශය තරමක ජනශුන්‍ය ස්ථානයකි. මාර්ගය අවට කැලෑබද ස්වභාවයකි. පාළුවට ගිය ප්‍රදේශයේ වෙනත් වාහනයක් හෝ පෙනෙන්නට තිබුණේ නැත. හල්මිල්ලෑව හන්දිය පසුකරන්නට පැමිණි ලොරි රථයට ඉදිරියට ධාවනය කිරීමට අවස්ථාවක් නොවුණේ මාර්ගය හරහා ලී කොට කිහිපයක් පෙරළා තිබීම නිසාය. ඒ අසලම කල්ලි ගැසී සිටි පිරිමි පුද්ගලයන් හතර පස් දෙනෙකි.

ක්ෂණයකින් ක්‍රියාත්මක වූ ඔවුන් අතරමග ධාවනය නතර කළ ලොරි රථයේ රියැදුරු බිමට බස්සවා තිබුණේ බලහත්කාරයෙනි. ඒ සමඟ මාර්ගයෙන් ඉවතට ඇදගෙන ගිය රියැදුරුවරයා ආසන්නයේ පිහිටි කොට්ටුකච්චිය ජලාශය ඉස්මත්තේ ගසක ගැටගසා ලොරිය රැගත් පිරිස පලාගොස් තිබුණි. හදිසියේ වූ අකරතැබ්බය හඬගා කියන්නට හෝ අසල්වැසි කෙනකු සිටියේ නැත. එබැවින් ගස් බැඳ සිටි රියැදුරැට එතැනින් මිදී යාමට තරමක කාලයක් ගතවී තිබුණි. පසුව රියැදුරැ මාර්ගයට පැමිණ ලොරි රථය සෙවීමේදී එය තිබුණේ නැත.

ඉන් පසුව සිදුවීම කුකුළු ගොවිපොළට දන්වා රියැදුරුවරයා ආණමඩුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. එහි පැමිණි ගොවිපොළ හිමි පෞද්ගලික ආයතනයේ පිරිසක් දන්වා තිබුණේ පැහැර ගැනීමට ලක්ව ඇති කුකුළන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට ආසන්න බවය. එසේම පැහැරගෙන ගිය ලොරි රථයත් සමඟ සියලු වටිනාකම ලක්ෂ 90ක් පමණ වන බවද දක්වා තිබුණි.

අනතුරුව සිදුවීම වූ ස්ථානයට පැමිණි ආණමඩුව පොලිස්ථානයේ නිලධාරීහු විමර්ශන ආරම්භ කළහ. ආණමඩුව සහකාර පොලිස් අධිකාරී අශෝක කුමාර හා ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමළල යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. මහීපාල ඇතුළු නිලධාරීහු විමර්ශන සිදුකරමින් සිටිති.

පැහැර ගැනීමෙන් දිනයක් ගතවූ ඉකුත් 5 වැනිදා පස්වරුව වනතුරු කුකුළන් හෝ ලොරි රථය පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී තිබුණේ නැත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 සමන්ත විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00