2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

කොට්ටාවට ගොඩබැස්ස බහුවිධ හබ් එක

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 128

කොළඹ නගරය සහ අවට තදාසන්න ප්‍රදේශවල දෛනිකව රාජකාරියට යන එන ජනතාව වාහන තදබද හේතුවෙන් ඔවුන්ගෙන් අපතේ යන වැඩ කරන පැය ගණන අති මහත් සංඛ්‍යාවක් බව සියලුම දෙනා දන්නා කරුණකි. මෙරට බලයට පත්වූ විවිධ රජයන් කොළඹ නගරය හා අවට තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදයට විසඳුමක් සොයා කොතරම් පියවර ගත්තද තවමත් එම ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳීමට කිසිවෙකුටවත් හැකි වී නැත.

මෙම ප්‍රශ්නයට විසඳුමක් සොයමින් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව 2016 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙරට පළමු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පසුගිය 31 වැනිදා ජනතා අයිතියට පත්විය. ශ්‍රී ලාංකික සුහුරැ (smart) ප්‍රවාහනයේ සමාරම්භය ලෙස සැලකෙන මෙහි ජනතාවට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය. එමෙන්ම මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, සබුද්ධික, පොදු ප්‍රවාහන සේවාවක් (Intelligent Public Transport Service) මහජනතාවට සැපයීම අරමුණු කරගනිමින් ස්ථාපනය කරන ලද්දකි.

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ මූල්‍ය දායකත්වය යටතේ රුපියල් බිලියන 2000ක ආයෝජනයකින් මෙය ඉදි වී ඇති අතර LED පුවරැ මතින් නිරන්තරයෙන් ප්‍රවාහන සේවා පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම GPS මඟින් මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස්රිය එම මොහොතේ ඇති ස්ථානය දැනගැනීමට අන්තර්ජාලය මගින් ටිකට් පත් වෙන් කිරීම, දුම්රිය සහ බස්රියට එකම ප්‍රවේශ පතකින් ගමන් කළ හැකි වීම, ස්වයං ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ පහසුව, විධිමත් ලෙස ගමන් මලු ප්‍රවාහනය කිරීමේ පහසුකම්, විවේකාගාර, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම බැංකු පහසුකම්, ආපනශාලා, ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන ආදී පහසුකම් රැසක් ලබාගත හැකිය. අතිශය කාර්යබහුල ජනතාවට මහමගට ගතවන කාලය, කලට වෙලාවට තම ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම අනෙකුත් පහසුකම් නවීන තාක්ෂණය තුළින් සපුරා ගැනීමට හැකි වීම මෙම මධ්‍යස්ථානය මගින් ජනතාව ලැබූ ප්‍රතිලාභයන්ය.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ දක්වා දුම්රිය සේවය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගය මංතීරැ දෙකකින් යුතුව සකස් කිරීමටත්, විදුලි දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට පත්කිරීමටත් මෙහිදී කටයුතු යොදනු ඇත.

බස්නාහිර පළාත තුළ මාර්ගස්ථ මගී ප්‍රවාහන මෙහෙයුම් කරන ආයතන වන ජාතික ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධ සංගත ප්‍රවාහන සැලසුමක් යටතේ ජනතාවට සේවය සැපයීම කොට්ටාව ගමනාගමන මධ්‍යස්ථානයේ ප්‍රධානතම කාර්යභාරය වනු ඇත.

ආරම්භ වන ගමන් මාර්ග පිළිබඳ තොරතුරු

මහරගමින් ආරම්භව අධිවේගී මාර්ගයේ ගාල්ල, මාතර ධාවනය වූ බස් රථ අප්‍රේල් 01 වැනිදා සිට කොට්ටාව මාකුඹුරෙන් ආරම්භ වී ධාවනය වන අතර මාකුඹුර සහ ගාල්ල අතර ගමන් වාර 52ක් ජාතික ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ දුර ගමන් සේවා සැපයීම සඳහා වෙන්කර ඇත.

මාකුඹුරෙන් ආරම්භ වන සේවාවන්

138 පිටකොටුව (සාමාන්‍ය සහ සුඛෝපභෝගී සේවාවන්) 129 මොරගහහේන, 336 මාලබේ, 345 අපේක්ෂා රෝහල සීමිත සේවා.

මහරගමින් ආරම්භ වන දුර ධාවන සේවාවන්

නුවර හරහා නාවලපිටිය, පොළොන්නරුව, අනුරාධපුර, බලංගොඩ, බදුල්ල වැනි සේවාවන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ධාවනය වෙමින් මගී සේවාවන් සපයනු ඇත.

දුම්රිය ධාවන සේවා

කැලණිවැලි දුම්රිය, මාලපල්ල දුම්රිය ස්ථානය වෙනුවට වැඩි පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් වන මාකුඹුර දුම්රිය ස්ථානය ඔස්සේ කොටුව සහ අවිස්සාවේල්ල අතර ප්‍රවාහනය සිදුවනු ඇත.

කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය රටේ ජාතික ප්‍රවාහන පද්ධතිය සංගත සහ සබුද්ධික ගමනාගමන පද්ධතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය. තොරතුරු රැස් කිරීම, ඒවා පිරිසැකසුම් කිරීම සහ යාවත්කාලීන තොරතුරැ භාවිතා කරමින් ක්‍රියාත්මක කෙරෙන ජාතික මගී සේවා වේදිකාව (National Passenger Service Platform) පද්ධතිය පොදු ප්‍රවාහනයේ නව මානයක් සටහන් කරයි. එම පද්ධතිය රටේ පළමු වරට ක්‍රියාත්මක වීම සිදු කෙරෙන්නේ කොට්ටාව බහුවිධ මධ්‍යස්ථානය මූලික කරගනිමිනි.

මේ වනවිටත් මෙම ප්‍රදේශය රජයේ මහා නගර සංවර්ධන වැඩසටහන යටතේ විවිධ සංවර්ධන කටයුතු සඳහා හඳුනාගෙන තියන කලාපයකි. මේ අනුව බලනවිට කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැදගත්කම අනාගතයේදී වඩාත් වැඩිවනු ඇත.

පසුගිය 29 වැනිදා මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ගැන මෙලෙස අදහස් පළ කළේය.

2015 වසරේ නොවැම්බර් මස 02 වැනිදා තමයි මෙයට මුල්ගල තියලා වැඩ ආරම්භ කරනු ලැබුවේ. වසර තුනකින් පමණ මෙහි සියලු වැඩ කටයුතු නිමා කර ජනතා අයිතියට පත්කිරීම අපි ලබපු විශාල ජයග්‍රහණයක්. ඒ වගේම තමයි ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදි වූ පළමු ප්‍රවාහන මධ්‍යස්ථානයත් මෙයයි. මෙය රුක ගැනීම තමන්ගේ යුතුකමක් සේ සලකා කටයුතු කරන ලෙස මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් මෙම කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කර පැය 24ක් යාමට මත්තෙන් එහි පැමිණි ඇතැම් ජනතාව එම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අපිරිසිදු කර තිබූ අයුරැ සමාජ මාධ්‍යයන් ඔස්සේ පෙන්වා දී තිබිණි.

රටට මෙන්ම ජනතාවට ද බොහෝ සේවයක් සපයන මෙම කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය රුක ගැනීම ජනතාව සතු වගකීමක් සහ යුතුකමක් බව අපි තරයේ මතක් කර සිටින්නෙමු.

 හසිත් අංජන