2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

කොළඹ කුණු කෙරවළ පිටියට බැහැ!

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

කොළඹ කසළ කෙරවළපිටියේ කසළ තහනම ආරුක්කාඩු කසළ අංගය ආදී කසළ ප්‍රශ්න රැසක් මෙරට කුණුවෙමින් පවතී. මේ සම්බන්ධ ප්‍රශ්නයේ යම් කොටසක් ග්‍රහණය කර ගැනීමට අප උත්සාහ දැරැවෙමු. මේ කොළඹ කසළවල කතාවේ එක් පරිච්ඡේදයකි.

කසළ කළමනාකරණය සම්බන්ධ වගකීම ඇත්තේ කොළඹ මහ නගර සභාවටය. මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට එහි නිල වගකීමක් නොමැත. එහෙත් මීතොටමුල්ල කුණුකන්ද නායයාම සහ කොළඹ නගරයේ ඩෙංගු වසංගත තත්ත්වයක් වූයෙන් අමාත්‍යාංශයට මෙහි වගකීම පැවරිණි. ඒ අනුව 2017 ජූලි 7 වැනිදා සිට එම වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා ඔවුන් එම කටයුත්ත සිදුකරන ලදී. අවසානයේ එම කටයුත්ත විධිමත් කර නැවත කොළඹ මහ නගර සහාවට භාරදීම සිදුවිය.

එම කාලය තුළදී තාවකාලිකව කසළ අංගනයක් කෙරවළපිටියේ පවත්වාගෙන යාමට කටයුතු කර තිබේ. එය වසරක කාලයකට පවත්වා ගෙන යාමට අදහස් කර තිබූ අතර එම කාලය තුළදී කසළ බැහැර කිරීමට සුදුසු ස්ථානයක් සොයාගන්නා ලෙස කොළඹ මහ නගර සභාවට දන්වා තිබිණි. එහෙත් එවන් ස්ථානයක් එම කාලය තුළදී සොයා ගැනීමට මහ නගර සභාව අසමත් විය.

මෙම අර්බුදයේ උග්‍ර අවස්ථා උදාවූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළිකසළ, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසළ අංගනය වෙත බැහැර කරමින් තිබිණි. ඒ අතර හිඟ මුදලක් නොගෙවී‍ම හේතුවෙන් ඔවුන් කසළ භාරගැනීම නවතා දමන බව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාව නිවේදනය කළේය. ඒ හේතුවෙන් නගර සීමාවේ කසළ රැගත් ලොරි රථ කෙරවලපිටිය කසළ අංගනයට පිවිසෙන මාර්ගය දෙපස නැවතිණි. කොළඹ කුණු ගොඩගැහෙන්නට විය. මේ අර්බුදය එදා ඉහළ හස්තයේ මැදිහත්වීම මත නැවතිණි. අප කතාකරන ගැටලු පිටුපස අදාළ සිදු වූ සිදුවීමේ යම් යම් බලපෑම් තිබේ.

මේ සිදුවීමට ඉහතදී  අමාත්‍යාංශය මැදිහත් වී කසළ භාවිතයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘති දෙකට අවසර ලබාගන්නා ලදී. ඉන් එකක ඉදිකිරීම කටයුතු ආරම්භ වූහ. අනෙක ආරම්භ කිරීමට අවැසි අනුමැතීන් සහ සහයෝගය බස්නාහිර පළාත් සභාවෙන් නොලැබුණි. එම නිසා එම ව්‍යාපෘතිය අතර මග නැවතී ඇත. ඒ අනුව කසළ අර්බුදයේ තවත් පැතිකඩකි.

මේ ආදී ලෙස කටයුතු සිදුවෙන පසුබිමක කැබිනට් පත්‍රිකාවක් මගින් රජය විද්‍යාත්මක කසළ රඳවනයක් නිර්මාණය කරන ලෙස දන්වා සිටී. වනාතවිල්ලුව ප්‍රදේශයේ කසළ රඳවනයක් ඉදිවන්නේ ඒ අනුවය. අමාත්‍ය පාඨලී චම්පික මහතා ප්‍රකාශ කරන ආකාරයට මෙය මුළුමනින්ම විද්‍යාත්මක කසළ රඳවනයකි. මේ වනවිට සකසා නිමකර ඇති මෙම කසළ අංගනයට ඕනෑම අයෙකුට කසළ ගෙනවිත් භාරදිය හැක. මීට එල්ලවන විරෝධතා මුළුමනින්ම දේශපාලනිකය. මීට පුත්තලමේ දේශපාලකයන් කිහිප දෙනෙක් සම්බන්ධව සිටිති.

අපේ වගකීම අපි ඉටුකළා. ඒක අපි හදලා ඉවරයි. ජනාධිපති අගමැති විපක්ෂනායක මේක රටේ ජාතික ප්‍රශ්නයක් විදිහට හිතලා අදාළ පාර්ශ්වයන් එක්ක කතාකරලා කළයුත්ත කරන්න ඕනෑ. මොකද අවුරැදු තිහක් හදන්න බැරිව තිබ්බ ඒ කසළ අංගනය අපි හදලා දුන්නා.

මීට සමගාමීව කෙරවළපිටිය සම්බන්ධ කරැණද නැවත විමසා බැලිය යුතුය. අමාත්‍යවරයා පවසන පරිදි තවදුරටත් කෙරවළපිටියට කසළ බහාලීමේ හැකියාවක් නැත. කොළඹ නගර සභාව දැන් තීන්දුවක් ගත යුතුව තිබේ. අවශ්‍ය නම් වනාතවිල්ලුවට කසළ රැගෙන යාමේ වැඩපිළිවෙළකට ඔවුන්ට එළඹිය හැක. නැතිනම් ස්ථීර ස්ථානයක් කොළඹ කසළ බැහැර කිරීමට ඔවුන් සොයාගත යුතුය. එහෙත් එවන් ස්ථිර ස්ථාන කොළඹ කසළ බැහැර කිරීමට තිබේ යැයි උපකල්පනය කිරීම පවා අපහසුය.

මේ සම්බන්ධව විමසීමට අපි කොළඹ නාගරික කොමසාරිස්වරයා ඇමතුවෙමු. කිහිප දිනක් උත්සාහ කර ඔවුන් සම්බන්ධ කරගත් පසු ලැබුණේ අපූරැ පිළිතුරකි. දැනට කොළඹ කුණු ප්‍රශ්නයක් නෑ දුරකථනය විසන්ධි විය. මහජනයා වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ කසළ වැඩපිළිවෙළ පිළිබඳ දැනගැනීමට අප දැරෑ උත්සාහය ඒ අනුව ව්‍යර්ථ විය. මෙහිදී විශේෂයෙන් මතු කළයුතු කරැණකි. දැනට නැතත් කොළඹ කුණු හෙට රටට ප්‍රශ්නයක් නොවේද? එසේනම් සැබෑවටම අනාගතයේ කොළඹ නගරයේ කසළ කළමනාකරණයේ දිශානතිය කුමක්ද?

කොළඹ නගරයේ එක්රැස් වෙන කසළ කළමනාකරණය වෙනුවෙන් සෑම මසකටම වරක් රුපියල් දසකෝටි අසූ ලක්ෂයක් වැයවෙන බව පසුගිය කාලයේ කියැවිණි. දෛනිකව එක්රුස් කරන කසළ මෙට්‍රික් ටොන් 600ක් බැහැර කරලීම සඳහා මෙට්‍රික් ටොන් එකකට රැපියල් 6000ක් වැයවන බව කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය වරෙක පැවසුවාය. එසේ නම් මෙහි අර්බුදය පිටුපස රුපියල් ශත කෙරුවාවක්ද ඇතැයි යන්න පිළිබඳ සැකයක් අපට මතු වේ. කුණු යනු මුදල්‍ බව සරලව අවබෝධ නොවෙතත් මේ ගැටලු පිළිබඳ සොයා යෑමේදී එය මනා ලෙස අවබෝධ වන සත්‍යයකි.

 චමිඳු නිසල් ද සිල්වා