2019 මාර්තු 30 වන සෙනසුරාදා

සුමන්තිරන්ගේ දෙබර කතාව...

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

ජිනීවා මානව හිමිකම් අර්බුදයේ උණුසුම බැසයමින් පැවතුණද එහි පසු කම්පන ඉඳහිට ඇතිවෙයි. ද්‍රවිඩ ජාතික සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා පසුගිය 22දා අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයද එවැන්නකි.

ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දු ඉටු නොකළොත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට යන බව ඔහු එහිදී පැවසීය. විදේශීය විනිසුරුවරුන්ට මැදිහත් විය නොහැකි බවට ආණ්‌ඩුව කරන ප්‍රකාශය පිළිගත නොහැකි බවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවීමේ බාධාවක්‌ නැති බවත් ඔහු සඳහන් කළේය. මෙය සාම්ප්‍රදායික ලෙස දකුණේ දේශපාලනයේ විවේචනයට ලක්වූ බව සැබෑවකි. එහෙත් සම්බන්ධ සිදුවීම් වඩාත් පුළුල් අර්ථයකින් මෙය විග්‍රහ කරගැනීමේ අවශ්‍යතාවක් පවතී. අප සැරසෙන්නේ ඒ වෙනුවෙනි.

මේ ප්‍රකාශයට පදනම වන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා රජය වෙනුවෙන් සිදුකළ ප්‍රකාශයයි. එහිදී ප්‍රකාශ වූයේ මෙරට අධිකරණමය ක්‍රියා පටිපාටිවලට පුරවැසියන් නොවන පුද්ගලයන් ඇතුළත් කිරීමෙන් තමන් වළකාලන ව්‍යවස්ථාමය සහ නෛතික අභියෝගයක් ඇති බවයි. එමෙන්ම පුරවැසියන් නොවන පුද්ගලයන් ඇතුළත් කිරීම අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් අවශ්‍ය බව කියැවිණි.

සුමන්තිරන්ගේ ප්‍රකාශයට පදනම වූයේ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරයට ජාත්‍යන්තරය ඉදිරිපත් කළ සිය ස්ථාවරයයි. මෙහි දේශපාලනික කරුණු යම් පමණ මතුකළ යුතුය. ජාතික ආණ්ඩු බිඳවැටුණු පසු මෙවර ජිනීවා නියෝජනය අරභයා ගැටලුවක් මතුවිය. එහිදී ජනාධිපතිවරයා සෘජු මැදිහත්වීමක් කිරීම හේතුවෙන් සමස්ත රජයේ ස්ථාවරයේ යම් වෙනසක් සිදුවිය. විදෙස් අමාත්‍යවරයා සමඟ ජනාධිපතිගේ නියෝජිතයෝද ජිනීවා ගියෝය. පසුව විදෙස් අමාත්‍යවරයාගේ කතාව පැසසුමට ලක්වෙද්දී එය ජනපති පාර්ශ්වයෙන් ලියාදුන්නක් බව පැවසීය. සමස්ත සිදුවීමම දේශපාලනිකය. සුමන්තිරන් යනු වර්තමාන උතුරේ නැගී එන ප්‍රබලම දේශපාලන චරිතයයි. ඔහු විසින් ආණ්ඩුව දිගින් දිගට සහාය දක්වන ලද්දේ තම අරමුණු ඉටුකර ගැනීමට යම් ආණ්ඩුවේ සහායක් බලාපොරොත්තුවෙන් බව කියති. එහෙත් ජනාධිපති මැදිහත්වීම මත සිදුවූ දෙය ඔහුට නොරිසි විය. මෙම තර්ජනාත්මක ප්‍රකාශයට හේතුව එයයි.

කෙසේ වෙතත් මෙම කරුණ නීති ක්ෂේත්‍රයේ මතය දැනගැනීමට අපි ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා සම්බන්ධ කරගතිමු. ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

දෙමුහුන් අධිකරණ සම්බන්ධයෙන් රජය ගිවිසුමකට ඇතුළත්වීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වෙනම තර්කයක් තියෙන්නේ. ඒ සම්බන්ධ නීතිමය තත්ත්වය අපට ප්‍රකාශ කරන්න නොහැකියි. එහෙත් වර්තමානයේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා කරලා තියෙන ක්‍රියාව කිසිසේත්ම අනුමත කරන්න බෑ. එතුමා කියන විදිහට නැවතත් කැරකිලා එන්නේ දෙමුහුන් අධිකරණ ගේන්න ඕනා කියන තැනට. එහෙම කරන්න නීතිමය තත්ත්වයක් ව්‍යවස්ථාවේ තිබෙන බව කීම සම්පූර්ණ වැරදියි. ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න අප විසින්ම විසඳාගත යුතුයි. අභ්‍යන්තර ප්‍රශ්නයක් පිට අය ගෙන ඒම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ශ්‍රී ලංකා නීතීඥ සංගමය මුලසිටම ප්‍රකාශ කළා විදේශ විනිසුරුවන් පැමිණීම අවශ්‍ය නැති බව. අපේ ආයතනවලට ඒ හැකියාව තිබෙනවා. අපි ඒක විශ්වාස කරනවා. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පුහුණු හා මෙවලම් ළඟදීම සිද්ධවෙන්න ඕනා.”

ඔහු දක්වන මතය අනුව නෛතික තත්ත්වය ඉතා පැහැදිලියි. එහෙත් එය යම් අයෙක්ට අනුව විවාදිත විය හැකිය. එහෙත් නීති ක්ෂේත්‍රයේ මේ සම්බන්ධව ඇත්තේ විශාල ප්‍රතිරෝධයකි. අප සංවාදයේ‍දී අවධාරණය කර ඇති තවත් ප්‍රධාන කරුණකි. ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දු ඉටු නොකළොත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට යන බව කීමට සුමන්තිරන් මන්ත්‍රීවරයාට ඇති හැකියාව කුමක්ද? මෙරට ස්වාධිපත්‍යයට ඔහු සැලකීමක් නොකරන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොසුදුස්සෙකි. ඒ සම්බන්ධ පාර්ලිමේන්තුවේදී ඔවුන් දිවුරුමක් දී තිබේ. තවත් පසෙකින් ආණ්ඩුව දී ඇති පොරොන්දු මොනවාද? මානව හිමිකම් කවුන්සිලයේ කියැවෙන කිසිවකට නීතිමය පදනමක් නොමැත. ඒවා පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට කිසිදු රටක් බැඳී නැත. තුන්වැනි ලෝකයේ රටක් ලෙස අප ණය උගුල්, පක්ෂ දේශපාලන ලැදියාවන් මත මේ යෝජනා පිළිගත් බැව් සැබෑය. ඒවා නොකිරීම සුමන්තිරන්හට ජාත්‍යන්තර අධිකරණයක් හමුවට යාමට හේතුවක් නොවේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහ ජනයාගේ නියෝජිතයෙකි.

සමස්ත සිදුවීම් දාමයේ  ජාත්‍යන්තර ජාතික දේශපාලන කරුණු සසඳා විග්‍රහකර ගැනීමට අප මීළඟට සම්බන්ධ කර ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔසන්ත තල්පාවිල මහතාය.

&මෙතැනදී දෙමුහුන් අධිකරණයකට ලංකාව කැමති නෑ. අනෙක් පැත්තෙන් ද්‍රවිඩ දේශපාලන පක්ෂ හා ඩයස්පෝරාව කැමතියි. කැමති අකමැති කාරණා මතම විවාදයක් ඇතිවෙලා තිබෙනවා. එතැනදී ඔය කිසිදු පාර්ශ්වයක් එවැනි අධිකරණයකින් ලැබෙන තීන්දු තීරණය ගැන තෘප්තිමත් වෙයි කියලා හිතන්න බෑ. මේ කියන විදිහට දෙමුහුන් අධිකරණයක් පිහිටවීමට තරම් චෝදනා කොතරම් බරපතළද කියන එකත් ප්‍රශ්නයක්. මේවා කොතෙක් දුරට සත්‍ය චෝදනාද? එවැනි අධිකරණයකට යාම සඳහා සුදුසු චෝදනාද? කියන කාරණා ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන් ලංකා රජය එකඟවෙලා තියෙනවා යම් යම් මානව හිමිකම් උල්ලංඝනය හා යුධ අපරාධ තත්ත්වයේ ලා සැලකෙන සැලකිය හැකි අපරාධ සිද්ධවෙලා තියෙනවා නම් පරීක්ෂණ පවත්වන්න. දැනටත් යම් යම් ආකාරයේ නඩු තීන්දුව කිහිපයක් අධිකරණයේ විභාගය වෙනවා. මේ ක්‍රමය මත අපට පුළුවන් සත්‍ය වශයෙන් යමක් සිදුවී ඇත්නම් සොයා බලන්න. අනෙක් කාරණය දෙපාර්ශ්වයම අවි ආයුධ හාවිතා කරන යුද්ධයකදී හරිදේම සිද්ධවෙනවා කියලා හිතන්න බෑ. එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කරපු යුධ උපායන් තුළ සිවිල් වැසියෝ කොච්චර විනාශ වුණාද? මෙතැනදී කියනවා නම් රජයේ හමුදා අතිනුත් යම් හානියක් සිවිල් වැසියන්ට හානි සිද්ධවුණා කියලා අපිට සලකන්න වෙනවා යුද්ධයකදී සිදුවෙන ප්‍රතිඵල හැටියට. ඒක මැද පෙරදිග, සිරියාව වගේ රටවල්වල සිද්ධවෙනවා. ඒ නිසා යුද්ධය තවදුරටත් එපා කියන හඬ තමා අප ගෙනියන්න ඕනා.”

මහාචාර්යවරයා මතු කරන්නේ එවන් අදහසකි.

යුද්ධය නිමාවී වසර දහයක් ගතවනවිටත් මේ ගැටලු විසඳා ගැනීමට අප අසමත්ය. රටේ අනාගතය ගැන කතා නොකොට අතීතයේ එල්ලී සිටීම ලැජ්ජාවට කරුණකි. අවසානයේ කිවයුතු එක් දෙයකි. යුද්ධයට පසු සුමන්තිරන්ලාද ආණ්ඩුවද ජාත්‍යන්තරද ලාංකීය මහ ජනයාට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් අහිමි කළ දේට වඩා දෙයක් අහිමි කරමින් සිටිති. ඒ අපේ අනාගතයයි. අවබෝධ කර ගැනීම ඔබට බාරය.

►චමිඳු නිසල් ද සිල්වා