2019 මාර්තු 30 වන සෙනසුරාදා

හෝටලේ සුපිරි වුණත් කන්න දෙන්නේ ජරා කෑම නම්....

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 241

මිරිහාන පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු මීට මාස තුන හතරකට පමණ පෙර සිය බිරිඳත් සමඟ මැදවච්චිය බලා ගමන් ගත්තේ ඉඩම් ආරවුලක් සම්බන්ධ වන පැමිණිල්ලකට පෙනී සිටීමටය. මැදවච්චියට යන අතර මගදී පොලිස් නිලධාරිවරයා සහ ඔහුගේ බිරිඳ ආපන ශාලාවක් වෙත ගොඩ වී තිබුණේ වෙහෙස නිවාගෙන කුසට යම් කෙටි ආහාරයක් ගැනීම සඳහාය. ඔවුන් කෑමට ගත් කෙටි ආහාරයෙහි වැලි හැපීම නිසා ඔවුහු ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කළහ. ඒ ගැන උරණ වූ හෝටල් හිමියා සහ සේවකයන් මොවුන් සමඟ බහින්බස් වීමක පැටලැවිණි. සිදුවීම දුරදිග ගොස් හෝටල් හිමියාගෙන් සහ සිය ගෝලයන්ගෙන් පහර කෑ පොලිස් නිලධාරියා සහ බිරිඳට අවසානයේ සිදුවූයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමටය.

මෙම සිදුවීම සුළුවෙන් තැකිය නොහැකිය. දීර්ඝ කාලයක් තිස්සේ බොහෝ ආපනශාලා හිමියන් පාරිභෝගිකයන්ට සලකනුයේ ඉතාමත් පහත් මට්ටමකිනි. ඇතැම් සුපිරි ගණයේ යැයි කියාගන්නා බොහෝ ආපනශාලා ලබාදෙන ආහාරවල ගුණාත්මක භාවයක් නොමැති අතර ඒවා සෞඛ්‍යාරක්ෂිත නොවන බවට බොහෝ පාරිභෝගිකයෝ මැසිවිලි නගති. එනිසා පාරිභෝගිකයා අපහසුතාවයන්ට පත්කරන මෙවැනි ආපනශාලා පිළිබඳ නිසි අධ්‍යයනයක් කර සොයාබලා පියවර ගැනීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීම මෙන්ම එවැනි අවස්ථාවල ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු දැනුවත් කිරීම ජනතාවගේ වගකීම බව පළමුව මතක් කළ යුතුය.

කොළඹ මහනගර සභාව ආරම්භ කර ඇති හදිසි වැටලීම් ඒකකය පසුගියදා කොළඹ නගරයේ සිදුකළ මෙහෙයුම්වලදී පරිභෝජනයට නුසුදුසු කෑම අලෙවි කළ ආපනශාලා සියයකට පමණ නඩු පවරා ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පවසයි. මේ අතර සුපිරි ගණයේ අවන්හල් ගණනාවක්ද ඇති බව හෙතෙම පැවසීය. මෙම වැටලීමේදී හෝටල්වල තිබූ පරිභෝජනයට නුසුදුසු ආකාරයේ අපිරිසිදු වූ කල් ඉකුත් වූ ආහාර කිලෝ 300කට අධික ප්‍රමාණයක් විනාශ කර ඇත.

එමෙන්ම කොළඹ නගරයේ මේ ආකාරයට ආපනශාලාවල හා හෝටල්වල ප්‍රශ්න ඇත්නම් දැන්වීමට කොළඹ මහ නගර සභාව මගින් 011 2676161 යන ක්ෂණික ඇමැතුම් අංකයක්ද හඳුන්වා දී ඇත. එය ඉතාමත් වැදගත් පියවරකි. කොළඹ මහ නගර සභාව ආදර්ශයට ගනිමින් අනෙකුත් රටේ පළාත් පාලන ආයතනද මෙවැනි දුරකතන අංකයක් හඳුන්වාදීමට හැකිවේ නම් එය පාරිභෝගිකයන්ට හිතසුව පිණිසම හේතුවනු ඇත. බොහෝ ආපනශාලා අපිරිසිදු කෑම ලබාදී පාරිභෝගිකයා ලෙඩ කරන්නා සේම එම ආපනශාලා හිමියන්ද පාරිභෝගිකයන් සූරාකන අවස්ථාද අපමණය. 2005 වසරේදී භූගත අපිරිසුදු ජලය භාවිතයෙන් ආහාර පිසූ බවට සියයට පහයි දශම පහක් වාර්තා වී තිබුණද, වර්තමානය වනවිට භූගත ජලය භාවිතා කරන ප්‍රමාණය සියයට එකකටත් අඩු ප්‍රමාණයක් ලෙස සටහන් වී තිබේ.

ක්‍රියාත්මක කළයුතු නීති රීති පැනවීම මගින් මෙම තත්ත්වය ළඟාකරගෙන ඇත. හෝටල්වල සහ ආපනශාලාවල සේවය කරන සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක ඇතිද යන්න වෙළෙඳ බලපත්‍රය ලබාදීමේදී සලකා බලන කරුණු අතර ප්‍රධාන වේ. සේවයේ නියුතු සේවකයන්ට සම ආශ්‍රිත රෝග, සුව නොවන තුවාල, දිලීර ආසාදන, අපිරිසිදු ජලයෙන් සහ වෙනත් රෝග සම්බන්ධයෙන්ද ඇති බව මෙහිදී සොයාබැලෙන අතර සේවයේ නියුතු සේවකයන්ගෙන් සියයට තුනක් පමණ බෝ නොවන රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද කොළඹ මහ නගර සභාව මගින් සිදු කෙරෙන හදිසි වැටලීම් වලින් අනාවරණය වී ඇත.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි:

කොළඹ මහ නගර සභාවේ හදිසි වැටලීම් අංශය මගින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබුණු ආහාර කිලෝ 300ක් පමණ සොයාගත්තා. මොවුන්ට විරුද්ධව නඩු පැවරීමට මේ වෙනකොට අපි කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ජනතාවත් නිරතුරුව මෙවැනි ආපනශාලා පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතුයි. මොකද ඒ තත්ත්වය යටතේ තමයි අපිට පුළුවන් වෙන්නේ මෙවැනි ආහාර විකුණන තැන් සොයාගැනීමට. ඒ වගේම තමයි බොහෝ ආපනශාලාවල ආහාර පිසීම සඳහා භාවිත කරන තුනපහ වර්ග නියමිත පරිදි පිරිසිදු නොකර, ආවරණයක් නොමැතිව හිරු එළියේ වේලා, කුඩුකර භාවිත කරන ඒවා බවද ඒවායේ දූවිලි තට්ටු ඇති බවටද හෙළි වී තිබෙනවා. ඒ නිසා තමන් ආහාර ගැනීමට යන ආපනශාලාව, හෝටලය පිළිබඳ ජනතාව දැනුවත්වීම ඉතාම වැදගත් වන කාරණාවක්.

►සටහන - හසිත් අංජන