2019 මාර්තු 30 වන සෙනසුරාදා

පහේ ශිෂ්‍යත්වය වාෂ්ප කරමුද?

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 182

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ තීරණයට තමන් එකඟ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී ප්‍රකාශ කර තිබිණි. එය දැන් ගිනියම් සමාජ දේශපාලන කතිකාවකට තුඩු දී තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා ශිෂ්‍යත්වය අහෝසි කිරීම වෙනුවෙන් පිඹුරුපත් සකස් කරන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ. කෙසේ නමුත් මෙවර ශිෂ්‍යත්වය සම්බන්ධ  ස්ථිර තීරණයක් ලැබෙන සෙයකි. එසේ හෙයින් ශිෂ්‍යත්වය අහෝසි කිරීම හොඳ ද, නරක ද යන සරල ප්‍රශ්නයට එහා ගිය පුළුල් කතිකාවක අවශ්‍යතාව පෙනෙන්නට තිබේ. අප සූදානම් වන්නේ ඊට පූර්විකාවක් සපයන්නටය.

1931 සිට 1947 දක්වා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළ, නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස අප හඳුන්වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අතර  ශිෂ්‍යත්ව විභාගය සුවිශේෂීය. මෙම විභාගය පැවැත්වීමේ අරමුණ වූයේ අඩු ආදායම් ලබන දක්ෂ සිසුන්ට සම අධ්‍යාපන අවස්ථාවක් සැලසීමයි. මෙම පාඨශාලීය ශිෂ්‍යත්ව ක්‍රමය වරින්වර ප්‍රතිශෝධනයට ලක් වූවකි. මුල්කාලීනව මධ්‍ය මහා විද්‍යාල පිහිටි ප්‍රදේශවල වාර්ෂික ආදායම රුපියල් 600/-ට අඩු පවුල්වල දරුවන්ට මේ සඳහා පෙනී සිටීමට හැකි විය. එහිදී වයස් සීමාව ගැන සලකනු නොලැබිණි. ඒ අනුව 1944 දී ඵක් මධ්‍ය මහා විද්‍යාලයක ශිෂ්‍යත්වධාරීන් 40ක් ඇතුළත් වන සේ ශිෂ්‍යත්වය ලබාදෙනු ලැබීය. පසුකාලීනව රජය මුහණපෑ ආර්ථික දුෂ්කරතා හමුවේ යම් යම් වෙනස්කම් සිදුවුවද 1967 දක්වා නොකඩවා මෙම ශිෂ්‍යත්ව ක්‍රමය පවත්වනු ලැබීය.

1968 දී මෙතෙක් පැවති 05 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණය අ‍හෝසි කොට ඵ් වෙනුවට 08 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා ශිෂ්‍යත්ව පරීක්ෂණය පැවැත්වීමට රජය තීරණය කළේය. එහෙත් 08 වැනි ශ්‍රේණියේ පැවැත්වූ ශිෂ්‍යත්ව පරීක්ෂණය නැවත 1970 දී වෙනස් විය. එහිදී 08 වැනි ශ්‍රේණියේ හා 05 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණය වෙනුවට ජාතික නවෝදය නමින් 07 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයක් ආරම්භ කෙරිණි. නවෝදය ශිෂ්‍යත්ව ක්‍රමය ද 1973 දී අහෝසි වූ අතර නැවතත් 05 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය ආරම්භ විය. මෙයට හේතුව වූයේ 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි.

ශිෂ්‍යත්වයේ ඉතිහාසය ඉතා සංකීර්ණ නමුත් අප ඒ පිළිබඳ සැකවින් දැක්වූයේ මේ කතිකාවට ප්‍රවේශයක් ලෙසිනි. දැන් වර්තමාන සංසිද්ධිය වන ජනාධිපතිවරයා පොළොන්නරුවේ කළ කතාව වෙත යොමුවෙමු. 

“අවුරුදු එකොළහේ ළමයා සියදිවි නසාගත්තා ගෙදරින් බැන්නට ශිෂ්‍යත්ව විභාගය ෆේල් කියලා. අවුරුදු එකොළහක දරුවෙක් බෙල්ලවැල දාගන්න දන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්නෙ. දරුවන්ගේ යහපතට වඩා වර්තමානයේ පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් අයහපත් දේවල්නෙ සිද්ධවෙන්නෙ. එනිසා මමත් තදින්ම යෝජනා කරලා රජය අපි තීරණයක් අරන් තියෙන්නේ පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීම සඳහා. ඒ තීරණය අපි අරගෙන තියෙනවා. සුපිරි පාසල්වලට තියෙන තරගය නෙවෙයි වෙන්න ඕන, පාසල් සම්පත්වලින් ශක්තිමත් කිරීම. මේක පාර්ලිමේන්තුවේ, පළාත් සහාවේ  හා සෑම දිස්ත්‍රික්කයකම මැති ඇමැතිවරුන්ගේ වගකීමක්. 

මෙහිදී මතුවන්නේ දරුවන් මුහුණදෙන මානසික පීඩනය සම්බන්ධ ප්‍රශ්නයකි. සියලු පාසල්වලට සම්පත් ලබාදීමක් ගැන ද කතා කරයි. එහෙත් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමෙන් අධ්‍යාපනයේ සමාන අවස්ථා ලැබීමට සාමාන්‍ය පන්තියේ දරුවන්ට ඇති ඉඳිකටු සිදුරකින් රිංගා යාම වැනි අවස්ථාව ද අහිමි වී යයි. මේ මෙහොත වනවිටත් පගාව දීම්, දේශපාලන හිවත්කම් වැනි දෑ භාවිත කරමින් රටේ සුපිරි පාසල්වලට ඇතුළු විය හැකිය. ආසන්න බව හැරුණුකොට නගරයේ ප්‍රධාන පෙළේ පාසලකට සාධාරණ ලෙස ඇතුළු වීමට දරුවන්ට ඇති එකම අවස්ථාව ශිෂ්‍යත්වයයි. මේ තරගය නිර්මාණය වී ඇත්තේ මෙරට සමස්ත අධ්‍යාපන පද්ධතියේ ඇති විෂමතාවය නිසාවෙනි. මව්පියන් දරැවන් වෙනුවෙන් මෙතරම් වෙහෙසෙනුයේ ලොකු පාසලකට ඇතුළු වීමෙන් තම දරුවාගේ අනාගතය වෙනුවෙන් කුමන හෝ මාර්ගයක් විවෘත වන බව දන්නා නිසාවෙනි. ශිෂ්‍යත්වය අහෝසි කිරීම හුදෙක්ම සාමාන්‍ය පන්තියේ දරුවන්ගේ දක්ෂතා අකා මකා දැමීමකි. එහෙත් මානසික පීඩනය පිළිබඳ කතාව සැබෑවකි.

අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරියකු වන මනෝ උපදේශක අධ්‍යාපනඥ, ධර්මදාස ගලබඩ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. 

“මේ යන ක්‍රමයට දරුවන්ගේ මොළයට ආතතිය වැඩියි. පාසලෙනුත් පීඩනයක් එල්ල වෙනවා. ගෙදරිනුත් පීඩනයක් එල්ල වෙනවා. ඒ පීඩනය නිසා ආතතිය වැඩි වෙනවා. අනාගතයේ දී ඒ ළමයින්ට මොළයේ ධාරිතාව පවත්වාගෙන යන්න බැරිව යනවා. ඒ පැත්තෙන් ගත්තොත් ශිෂ්‍යත්වය අහෝසි කරන එක හොඳයි. අනෙක් පැත්තෙන් බැලුවොත් ඉස්සර අපි ආනන්දෙට යනවා නම් ආනන්දෙන් විභාගයක් තියලා තමයි ගත්තේ. මෙතනදී යම්කිසි වයස මට්ටමක් තියෙන්න ඕන. දැන් පවතින වයසේ දී මේ පීඩනය දරන්න අමාරුයි. ඒත් තදබල ආතතියක් දෙන එක වැරදියි. එකපාරටම මේක අහෝසි කරන එකත් වැරදියි. එතන දී ළමයින්ට මේ තියෙන අවස්ථාව නැතිව යනවා. ඒ නිසා යම් ක්‍රමවේදයක් තිබිය යුතුයි.”

අප ශිෂ්‍යත්වයේ ඉතිහාසය ගැන මතුකළ කරුණු නැවත මෙහිදී අවධාරණය වෙයි. මෙම මානසික පීඩනය ගැටලුව වී නම් නැවත හත අට ශ්‍රේණිවලදී ශිෂ්‍යත්ව පරීක්ෂණයක් සිදුකළ හැකිය. එහෙත් එහිදී ද තරගකාරීත්වය අඩු නොවනු ඇත. නමුත් යම් සාධනීය වෙනසක් සිදුකිරීමට ඉන් ඉඩකඩ සලසාගත හැකිය. කන්නන්ගර මහතාගේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පයේ ද, නිදහස් අධ්‍යාපනයේ ද අවසානය කෙමෙන් කෙමෙන් සිදුවන බව අපි පසුගිය දශක කිහිපයේ දී දුටුවෙමු. නැති ඇති හැකි පන්තියේ වරප්‍රසාදයක් බවට අධ්‍යාපනය පත්වෙමින් තිබේ. ශිෂ්‍යත්වයට විකල්පයක් නොදී අහෝසි කර දැමුවහොත් මේ ව්‍යවසනය ශීඝ්‍ර වනු නොඅනුමානය. 

ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම තීරණය ගැන දරන්නේ මෙවන් අදහසකි.

“ශිෂ්‍යත්ව විභාගය නිසා ළමයින්ට දෙමාපියන්ට තියෙන පීඩනය ඇත්ත. නමුත් ඒකට තියෙන විසඳුම ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන එක නෙවෙයි. ලංකාවේ පාසල් දසදහස් එකසිය හැට දෙකක් තියෙනවා. ඒවායින් ජාතික පාසල් තුන්සිය පනස් දෙකක් තියෙනවා. එයිනුත් අති ජනප්‍රිය පාසල් තියෙන්නේ තිස් හයයි. ඒවාට තමයි ඇතුළු වීම සඳහා බරපතළ තරගයක් තියෙන්නේ. 1943 දී කන්නන්ගර ප්‍රතිසංස්කරණවලින් ගෙන ආ පළවැනි කරුණ තමයි අධ්‍යාපනයේ සම අවස්ථා ඇති කිරීම. එහෙත් අද වෙනකල් අධ්‍යාපනයේ සම අවස්ථාවක් ඇති කරන්න බැරිවෙලා තියෙනවා. පාසල් පද්ධතිය විෂමව තියෙන්නේ. ජනාධිපතිවරයා මේ ප්‍රකාශ කරන පොළොන්නරුව රාජකීය පාසලෙයි දිඹුලාගල පාසලකයි අතර තියෙනවා ලොකු පරතරයක්. දුෂ්කර පාසලක ළමයින්ට ප්‍රධාන පාසලකට එන්න තියෙන එකම දොරටුව තමයි ශිෂ්‍යත්වය. මේකෙන් වෙන්නේ ඒ අවස්ථාව අහිමි වීම. ඒ අනුව ළමයින්ට විකල්පයක් නොදී මේ අවස්ථාව අහිමි කිරීම ඇත්තටම වැරදියි.”

මේ සංවාදයේ දී දිගින් දිගටම අවධාරණය  වන්නේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය අහෝසි කරන්නේ නම් පැහැදිලි විකල්පයක පවතින අවශ්‍යතාවයි. එමෙන්ම අප මතුකරන කරුණුවලට  පැහැදිලි විපක්ෂ මත තිබෙන බවද කිව යුතුය. “ශිෂ්‍යත්වය සමත් ඔක්කොම විශ්වවිද්‍යාලවලට යනවාද?” එය පොදුවේ බොහෝ දෙනා අසන ප්‍රශ්නයයි. එහෙත් සුපිරි පාසල්වල සරසවි වරම් ලැබීමේ සම්භාවිතාව හා ගමේ පාසල්වල සරසවි වරම් ලැබීමේ සම්භාවිතාව දෙකකි. අද ශිෂ්‍යත්වය පිළිබඳ තීන්දු තීරණ ගන්නට සැරසෙන නිලධාරීන්, අමාත්‍යවරුන් සිය දරුවන් කිසි දිනෙක දුෂ්කර පාසල්වලට තම දරුවන් ඇතුළත් නොකරන බවද කිව යුතුය. ඇති හැකි පන්තියට ශිෂ්‍යත්වය වැඩක් නැත. එම නිසා මෙම ගැටලුව සම්බන්ධයෙන් සානුකම්පාවක් ඔවුන්ට ඇතැයි සිතිය නොහැකිය. ජනාධිපතිවරයා ද අධ්‍යාපන බලධාරීන් ද මේ තීන්දුව නැවත විමසා බැලිය යුතුමය. ඒ පොළොන්නරැ රාජකීයේ සිට නොව, ගමේ කනිෂ්ඨයක සිටය. 

 චමිඳු නිසල් ද සිල්වා