2019 මාර්තු 30 වන සෙනසුරාදා

අතදරුවා විකුණා කසිප්පු බිවූ තාත්තාගේ ඇත්ත කතාව

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

“අම්මා තාත්තා එක්ක ළමයි හතර දෙනෙක් ඉන්න අසරණ පවුලක් අපේ ගමේ ඉන්නවා. ඒ අම්මාට තවත් දරුවෙක් ලැබෙන්න හිටියා. එයා දවස් දෙකතුනක් ගමේ පේන්න හිටියෙත් නෑ. අපි හිතුවේ දරුවා ලැබෙන්න රෝහලට යන්න ඇති කියලයි. දැන් අම්මා ගෙදර ඇවිත් ඉන්නවා ඒත් පොඩි දරුවෙක්නම් පේන්න නෑ.”

පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 අංකයට මෙම නිර්නාමික දුරකතන ඇමතුම ලැබී තිබුණේ මාතර දික්වැල්ල ප්‍රදේශයෙනි. තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පිහිටි සුනාමි නිවාසයක් සම්බන්ධයෙන් ලබාදුන් තොරතුර දික්වැල්ල පොලිස් ස්ථානයට වාර්තා කිරීමත් සමඟ එම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර මහතා ඇතුළු පිරිසක් ක්‍රියාත්මක වී තිබුණි.

මත්වතුර බීම සඳහා මුදල් නොමැති නිසා දින 5ක් වයසැති බිළිඳා මවගෙන් රැගෙන ගොස් කාන්තාවකට රුපියල් 1000කට අලෙවි කළායැයි කී පියා ගැන තොරතුරු වර්තා  වූයේ ඉන් අනතුරැවය. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට වාර්තා වූ තොරතුරට අනුව සැක සහිත නිවස සොයාගිය නිලධාරීන් ගොස් තිබුණේ ප්‍රසිද්ධ සුනාමි නිවාස ඉදිකර තිබූ ස්ථානයකටය. අදාළ නිවසේ පවුල් දෙකක් පදිංචිව සිට ඇති අතර එක් පවුලක දරුවන් සිව්දෙනකු සමඟ මව හා පියා සිට ඇත. දික්වැල්ල පොලීසියේ පරීක්ෂක ඉෂාරා නුවන්දි මහත්මියත් ඔවුන් අතර සිටියදී දින කීපයකට ඉහතදී දරුවකු ප්‍රසූත කළ බවට සැකසහිත කාන්තාවක එම නිවසේ සිට තිබුණි. පොලිස් නිලධාරීන් කෙළින්ම ප්‍රශ්න කර තිබුණේ අදාළ කාරණාව පිළිබඳවය.

“අනේ ඒ මගේ දරු පැටියා තමයි. පේනවා නේද මගේ කිරි එරිලා තෙමිලා තියන හැටි... මගේ මහත්තයා තමයි කීවේ දරුවා ඒ අයට බාරදෙමු කියලා. බලෙන්මයි මගේ මහත්තයා දරුවා දුන්නේ.”

පොලිසිය හමුවේ සැක සහිත කාන්තාව මෙසේ ප්‍රකාශ කළාය. හැඬූ කඳුලින් තවත් තොරතුරැ රැසක් කියාගෙන ගිය ඇයත් සමඟ නිවසේ සිටි ස්වාමියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාකර තිබුණේ කාන්තාවට බලපෑම් සිදුකළ වරදටය. සැකකාර පියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු කීවේ මෙසේය.

“අපි දෙන්නට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. එහෙම තියෙද්දී තමයි අායෙත් දරුවෙක් ලැබෙන්න හිටියේ. මම ධීවර රස්සාවට අමතරව කුලී වැඩට යනවා. දවස් ගාණනකට කලින් කුඩාවැල්ල පැත්තේ ගෙදරක වැඩක් කළා. ඒ ගෙදර නෝනයි මහත්තයයි කරුණාවන්තයි. එයාලට දරුවෝ නෑ. මම මගේ විස්තර එයාලට කීවා. ඒ අය කීවා දරුවා හදාගන්න බැරිනම් එයාලට දෙන්න හදාගන්නම් කියලා. ඒකට මම කැමති වෙලා ඉද්දී තමයි දරුවා ලැබුණේ. නෝනාටත් කියලා තමයි දරුවා ඒ අයට දුන්නේ.” 

බිළිදාගේ මව ඒ සඳහා කැමති වී තිබුණේ ස්වාමියාගේ පෙරුත්ත නිසාය. කෙසේ වෙතත් දෙපාර්ශවය එකඟවී තිබුණේ දරුවා ලබාදීමත් ලබාගැනීමත් නීත්‍යානුකූලව සිදුකිරිමටය. ඒ අනුව ලංකාවේ පවතින කුලවද්දා ගැනීමේ නීතියට අනුව දෙපාර්ශවයම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයකු මාර්ගයෙන් නීතිමය පියවර ගනිමින් සිට ඇත.

සැකකාර මව හා පියා විසින් මෙම කරුණු හෙළිකිරීමත් සමඟ පොලිසිය පියවර ගෙන තිබුණේ නීතිමය කටයුතු සිදුකළ බව කී නීතිඥවරයා හමුවී තොරතුරු විමසීමය. එහිදී නීතිඥවරයා අදහස් දක්වමින්.

“මේ කියන දරුවාගේ මවත් පියත් සමඟ දරුවා බාරගැනීමට අපේක්ෂාවෙන් සිටි යුවළ මා ළඟට ආවා. දරුවා බාරගැනීමට කැමති පාර්ශවයන් කතා කළා. දෙපාර්ශවයම කුලවද්දා ගැනීමේ නීතිය යටතේ දරුවා ලබාදීමටත් බාරගැනීමටත් එකඟ වුණා. දෙපිරිසේම දිවුරුම් ප්‍රකාශ සහිත වාර්තා අධිකරණයට ඉදිරිපත් කරලා නීතිමය ක්‍රමවේදය සිදුකරමින් තිබුණා. නීතිඥ ගාස්තුව විදිහට මට රුපියල් පන්දහසකුත් ලැබුණා. මට තොරතුරු දුන්නු විදිහට මෙතන ගැටලුවක් තිබුණේ නෑ.” යැයි කීවේය.

අලුත උපන් දරුවා මවගෙන් වෙන්කර අනෙක් පාර්ශවයට බාරදීමට පියා උත්සාහ කර ඇතැයි චෝදනා කෙරේ. එම දරුවා හැකි ඉක්මනින් හදාවඩා ගැනීමට බාරගැනීම සඳහා අනෙක් පාර්ශවය ද කටයුතු කර තිබිණි. නීතිමය කටයුතු සිදුකරෙමින් තිබියදී විශ්වාසය මත දරුවා හදාගැනීමට බාරදී ඇති අතර දෙපාර්ශවය අතර තවත් පොරොන්දු තිබෙන්නට ඇත. එදින දෙපාර්ශවය පිටව යන මොහොතේ බිළින්දාගේ මවටත් පියාටත් ගමන් ගාස්තුව වශයෙන් අනෙක් යුවළ රුපියල් 1000ක් ලබාදී තිබුණි.

එසේ පිටට ගිය මවත් පියත් ඔවුන්ගේ දරු සිව්දෙනා සමඟ සිටියදී අසල්වැසි පුද්ගලයෙක් විසින් දරුවකු ලැබීමට සිටි කාන්තාව දරුවා නොමැතිව නිවසේ සිටින බව කියමින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට තොරතුරක් දන්වා තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ දික්වැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර මහතාගේ උපදෙස් මත කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉෂාරා නුවන්දි සමඟ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයන්ත කරවිට මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.

එහිදී සිය බිරියගෙන් දරුවා වෙන්කර වෙනත් පාර්ශවයකට බාරදීමට බලපෑම් කළ චෝදනාවට සැකකාර පියා වන වික්‍රමසිංහ කන්දගේ දමිත් ප්‍රියන්ත නැමැත්තා රිමාන්ඩ් භාරයට පත්කර ඇත. එම නඩුව ඉදිරියේදී විමර්ශනය කිරීමට නියමිත අතර පොලිස් කොස්තාපල් 4051 ධම්මික මහතා අධිකරණ කිවයුතු මෙහෙයවීම සිදුකළේය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00