2019 මාර්තු 30 වන සෙනසුරාදා

මුහුදු වෙරළත් කෑලි කපා විකුණන රටක්!

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

රට වටකර සාගරයයි. සුන්දර වෙරළ තීරය සංචාරකයන් මන්මත් කරවයි. ඒ නිසා නිවාඩු ගතකරන්නට එන බොහෝ දෙනෙක් මුහුදු වෙරළ සුවය විඳීමට අමතක නොකරති. එක් පැත්තකින් කරදිය පීරා මසුන් පුරවාගත් ධීවර බෝට්ටුය. තවත් පැත්තකින් එතෙර සොයා ඇදෙන හා විශාල නැව්ය. මේ සියල්ල දරාගත් මහ සමුදුර වේගයෙන් ගොඩට පැමිණ වෙරළ සිඹ නැවත ආ දෙසටම ඇදී යයි.

මේ සියල්ල එසේ සිදුවන විට වේගයෙන් ඇදෙන ඇතැම් රළ වෙරළ සිප ගැනීමටත් එහා ගොස් ගොඩබිමේ ඉඩම් ක්‍රමයෙන් තමන් සතු කරගනිමින් සිටිති. කිසිම අයුරකින් සටන්කොට ජයගත නොහැකි සොබාදමට හිතූ හිතූදේ කරගෙන යනතෙක් අපට බලා සිටීමට සිදුවී ඇත. සම්පූර්ණයෙන් අපගේ නොහොබිනා ක්‍රියාකාරකම් හේතුවෙන් මුහුද ක්‍රමයෙන් ගොඩබිම ආක්‍රමණය කරමින් සිටියි. මේ නිසා වෙරළ රුකගන්නට අපටම පිඹුරැපත් සැකසීමට සිදුව ඇත.

මේ කියන්නට යන්නේ තවත් නීති විරෝධී මුහුදු වැලි ජාවාරමක් ගැනය. මේ ජාවාරම සංවර්ධනයක් මුවාවෙන් සිදුකරගෙන ගොස් ඇති අතර අදටත් මේ සිදුවීමට අදාළව පරිසරයට සාධාරණයක් වී නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යංශය තමා යටතට පවරා ගත්තේ මෙකී නීතිවීරෝධී කටයුතු අවම කිරීමටත් වඩා සම්පූර්ණයෙන් නවතා දැමීමටය. එහෙත් කනගාටුව නම් එතුමා යටතේ පරිසර අමාත්‍යංශය පැවරී තිබියදීත් තවමත් රටේ තැන් තැන්වල ජාතික අපරාධ සිදුවීමය. මේ එවැනි ක්‍රියාවකි.

හරියටම මීට මාස හය හතකට පෙර පමුණුගම උස්සැටකෙයියාවට මඳක් ආසන්නයෙන් ධීවර තොටුපොළක් වෙරළ සංරක්ෂණය විසින් ආරම්භ කෙරිණි. ඒ සාගර සිරිගම නැමැති ප්‍රදේශයේය. ඒ සඳහා ගල්වැටියක් ඉදිකර අදාළ තොටු‍පොළ සැකසීම අරමුණ විය. ව්‍යාපෘතිය වෙරළ සංරක්ෂණයට අයිති වුවත් එය සිදුකළේ එක්තරා පෞද්ගලික කොන්ත්‍රාත්තු සමාගමකිනි. ඔවුන් අදාළ ව්‍යාපෘතියේ දෙවැනි පාර්ශවය විය.

ව්‍යාපෘතිය අවසානයේ එහි ඉතිරිවන අබලි ද්‍රව්‍ය සිට රැගෙන ගොස් පිරිසිදු කිරීම ආරම්භ කළේය. එහෙත් පුදුමය නම් වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියක් වුවත් එහි අවසානය සිදුවූයේ තව තවත් වෙරළට හානි කිරීම පමණි. ඒ වෙරළේ වූ මුහුදු වැලි මේ පිරිස එක්ව ගොඩබිමට ඇදීමය. අබලි ද්‍රව්‍ය ලෙස පවසා ලොරිවල සම්පුර්ණයෙන් රුගෙන ගියේ මුහුදු වැලි පමණි. ඒ නිකම්ම නොව මුහුදු වෙරළ හාරමින් වැලි ලබාගැනීමෙනි. එම වැලි ගෙන ගියේ කොහේද කොතනටද? කාටද? යන්න බොහෝදෙනාට සැකයක් විය. මේ පරිසර හානිය දැක ඉවසාගෙන සිටීමට නොහැකි ධීවරයෙක් මේ පිළිබඳව පමුණුගම පොලීසියට පැමිණිලි කළේය. එහෙත් පොලීසියෙන් ඊට සිදුවූ සාධාරණයක් නැත.

කෙසේ වෙතත් පසුව දැනගන්නට හැකිවුණේ මේ සිද්ධිය පිටුපස වත්තල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු සිටින බවය. මේ පිළිබඳව එජාපයේ මන්ත්‍රීවරයෙක් ප්‍රාදේශීය සභාවේදී චෝදනා එල්ල කළේය. එකී චෝදනාවලට ආණ්ඩු පක්ෂයේ කිසිවකුට පිළිතුරු ලබාදීමට හැකිවූයේ නැත. අවසානයේ වැඩේ හෙළිවීම නිසා වැලි ඇදීම නතර විය. කෙසේ වෙතත් එම ස්ථානයේ මහා වළක් සැදුණු අතර ඒ වළ වසා දැමීමකින් තොරවම ව්‍යාපෘති බාර පිරිස් යන්නට ගියෝය.

කෙසේ වෙතත් සමාන්‍යයෙන් යම් දූෂණ වංචාවකදී පක්ෂ විපක්ෂ ලෙස දේශපාලනඥයන් බෙදුණත් මෙම සිද්ධියේදී ප්‍රාදේශීය සභාවේ පිරිස් එක්ව මෙම ප්‍රාදේශීය දේශපාලනඥයාගේ ක්‍රියාවට එරෙහිව සිටගත්හ. අවසානයේ පිරිස මේ අපරාධයට එරෙහිව පොලීසියට බලපෑම් කළහ. මේ නිසා පමුණුගම පොලීසිය එම මුහුදු වැලි රුගෙන ගිය ස්ථාන පරීක්ෂා කළේය. ඒ අනුව ස්ථාන කිහිපයක් පරික්ෂා කළ අතර එම ස්ථානවල මුහුදු වැලිගොඩ ගසා තිබුණේය. පොලීසිය ධීවරයකු රැගෙන ගොස් එය තහවුරු කරගත්තේය. එහෙත් පොලීසිය කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැත.

පොලීසියට එන්න එන්නම එල්ලවන පීඩනය වැඩි නිසා අවසානයේ වෙරළ සංරක්ෂණයේ නිලධාරීන් කැඳවා මේ පිළිබඳව විමසනු ලැබීය. එහිදී පොලීසිය හමුවේ වෙරළ සංරක්ෂණ නිලධාරින් කියා සිටියේ සති දෙකක් ඇතුළත නැවත එම ස්ථානයට වැලි ගෙනත් දමන බව කියාය. එසේම මෙය තමන් අතින් සිදුවු අත්වැරදීමක් බවත් ප්‍රකාශ විය. කෙසේ වෙතත් මෙතරම් අපරාධයක් සිදුවී ඇතත් එය වෙරළ සංරක්ෂණය විසින් අත්වැරදීමක් ලෙස සැලකීමත් එය පොලීසිය එසේ පිළිගැනීමත්, නැවත වැලි පුරවන බවට පොරොන්දු වීමත් යන කාරණා කෙතරම් සාධාරණද යන්න ගැටලුවක් ඇත. එනම් සොරාගත් අයකු අසුවූ විට ආ මෙන්න ගත්ත සල්ලි කියා දුන් පසු සොරා නිවැරදිදැයි ප්‍රශ්නයක් ඇත. එයට නීතියෙන් දඬුවමක් නැතිදැයි ප්‍රශ්නයක් ඇත. අනෙක මෙය පරිසර විනාශයකි. එක් පැත්තකි පාරිසරික කොල්ලයකි. ඒ බව අත් වැරදිමක් ලෙස පිළිගැනීම මොන විහිළුවක්දැයි ප්‍රශ්නයක් ඇත.

කෙසේ වෙතත් වෙරළ සංරක්ෂණයට අත්වැරදීම පුදුම සහගතය. වෙරළ සම්පූර්ණයෙන් බැකෝ යොදවා හාරා ඒවා ලොරිවලට පටවා ගොස් තැන් තැන්වල ගබඩා කිරීම අත් වැරදීමක්ද? එය පිළිගන්න තරම් පොලීසිය අහිංසක වූයේ කෙසේද? ඇත්‍තම සිද්ධිය නම් මේ පිටුපස සිටින ප්‍රාදේශීය දේශපාලනඥයාට අයත් හාඩ්වෙයාර් එකට මෙලෙස වැලි රුගෙන ගොස් තිබීමය. ඒ විකිණීම සඳහාය. එක් පැත්‍තකින් මෙය තවත් වරදකි. ගොඩනැගිලි සෑදීමේදී ප්‍රමිතිය අත්‍යවශ්‍ය කාරණයකි. ඒ නිසා ගොඩනැගිලි සංවර්ධනය සඳහා මුහුදු වැලි ලබාගත්තත් ඒ වැලි සේදිය යුතූය. ඒ සඳහා තාක්ෂණික ක්‍රමවේදයක් ඇත. එහෙත් ඒ කිසිත් භාවිත නොකළ මේ දේශපාලනඥයා මුදල් හම්බ කිරීම සඳහා මෙම වැලි විකුණන්නේ නම් එය බරපතළ තවත් වරදකි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ප්‍රදේශවාසීන් හා දේශපාලනඥයන් බලපෑම් කළද පොලීසිය පවසන්නේ මෙය වෙරළ සංරක්ෂණයෙන් පැමිණිල්ලක් ලෙස පැමිණිය යුතු බවය. එහෙත් එය පුදුම සහගත දෙයකි. වෙරළ සංරක්ෂණයත් දැනුවත්ව සිදුවූ මෙම අපරාධයට වෙරළ සංරක්ෂණයෙන් කවදා පැමිණිලි කරාවිද? එසේ කරන්නේ කවුද? යන්න පොලීසියට නොහැඟෙන්නේ ඇයිද? එසේ වෙරළ සංරක්ෂණයෙන් පැමිණිලි නොකරන්නේ නම් මේ අපරාධය කාලයේ වැලිතලාවෙන් වැසීයාමට ඉඩ දෙන්නේද? එය මේ රටේ නීතියද? එය මේ රටේ පරිසර නීතියද? යන්න අපට පුරවැසියන් ලෙස ප්‍රශ්නයක් ඇත.

කෙසේ වෙතත් සති දෙකකින් පුරවනවා යැයි කියූ වෙරළ දැන් සති තුනක් ඉක්මවා ගොස් ඇත. එන්න එන්නටම වෙරළ හාරමින් මුහුදු වතුර ගොඩ ගලමින් තිබේ.. එහෙත් අදාළ අංශත් පොලීසියත් මර නින්දේය. ජනාධිපතිවරයා පවසන ආකාරයට මේ රටේ පරිසර විනාශයට සම්පුර්ණයෙන් දේශපාලඥයන් වගකිව යුතුය. ඒ කතාවේ හොඳම සාක්ෂිය මේ සිද්ධියය. මේ වැලි ගෙන ඒමට යොදාගත් ලොරි අදාළ දේශපාලනඥයාගේය. වැලි රැගෙන ගොස් ඇත්තේද එම දේශපාලනඥයාය. වැලි සඟවාගෙන සිට ඇත්තේද ඔහුමය. එසේ නම් ඇයි මේ සිද්ධියට හරිහැටි නීතිය ක්‍රියාත්මක නොකරන්නේ කියා අපට ප්‍රශ්නයක් ඇත

කෙසේ වෙතත් මේ සිද්ධිය පාර්ලිමේන්තුව තුළ පසුගියදා අනාවරණය වුණේය. එපමණක් නොව ජනාධිපති විශේෂ ඒකකයටද පැමිණිල්ලක් ලෙස ගොස් ඇත. පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතනය සියල්ලට අදාළ පැමිණිල්ල ගොස් ඇත. එහෙත් පුදුමය තවම නීතිය ක්‍රියාත්මක නොවීමය. තවදුරටත් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් මේ අපරාධයට වගකියන්නේ කවුද? වෙරළ හාරගෙන මුහුදට ගලා යනතෙක් බලා සිටිනවා හැරෙන්නට කරන්න දෙයක් නැතිද? මේ ගැන සියලු බලධාරින් වගකිව යුතුය.

කෙසේ වෙතත් මේ ලිපිය අවසන් මොහොත වනවිට අදාළ වැලි ක්‍රමයෙන් හොර රහසේ පුරවන බව දැනගන්නට ඇත. එහෙත් එය ඉතාම මන්දගාමීවය. මේ සිද්ධිය සම්බන්ධ විමර්ශන බස්නාහිර උතුරැ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට පවරා ඇත.


I අසංක කළුබෝවිල