2019 මාර්තු 30 වන සෙනසුරාදා

වීරවිල රඟදෙන යොවුන්පුර අසිරිය

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

ජාතික තරුණ සේවා සභාවට වසර 50ක් පිරෙන මොහොතේ “අනාගතය ඇරඹුණා” යන්න තේමාව මුල් කරගනිමින් ආරම්භ කෙරුණු 10 වන යොවුන්පුරය දක්ෂිණ  සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වීරවිල පශුසම්පත් මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පසුගිය 27 වැනි දින විවෘත කෙරුණි.

දිවයිනේ නන්දෙසින් මෙන්ම විදෙස් රටවලින් පැමිණි තරුණ තරුණියන් අටදහසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම යොවුන්පුරය මේ මස 27 වැනි දින සිට 31 වැනි දින දක්වා පැවැත්වීමටයි ජාතික තරුණසේවා සභාව කටයුතු කර ඇත්තේ. එවකට යෞවන කටයුතු හා රුකීරක්ෂා අමාත්‍යවරයා විදිලෙස කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත වර්ෂ 1984 දී ආරම්භ කෙරැණු  “අතීත උරුමය තුළින් පුනරාගමනය කරා” යන්න තේමා කර ගනිමින් පළමු යොවුන්පුරය පොළොන්නරැව පුලතිසි පුර‍වරයෙන් ආරම්භ කෙරුණි. ඉන් ආරම්භ කෙරැණ යොවුන්පුරය ජාතික වැඩසටහන දිගින් දිගටම අවස්ථා ගණනාවකදීම වරින්වර පැවැත්විණි. 1985 දී ජගත් තරැණ වසර සැමරීම සඳහා කුලියාපිටියේදීත්, 1986 මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදීත්, 1987දී අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානය ආශ්‍රිතවත්, 1988 බණ්ඩාරවෙල කුඩා කුසුම් විද්‍යාලය කේන්ද්‍ර කර ගෙනත් යොවුන්පුරය පැවත්විණි. 1984 වසරේ සිට අඛණ්ඩව පවත්වාගෙන ආ යොවුන්පුරය විවිධ දේශපාලන හැලහැප්පීම් හේතුවෙන් නතර වූ අතර නැවතත් යොවුන් පුරයක් ඇරඹුණේ වසර 27කට පසුවයි. ඒ 2016 වසරේදී සිගිරියේදීය. ඉන්පසුව නැවතත් අඛණ්ඩව 2017 වසරේදී ත්‍රිකුණාමලයේදීත් 2018 වසරේදී නිකවැරටියේදීත් මෙම ලොව දිනන තාරැණ්‍යයේ අබිෂේක මංගල්‍යය පැවත්වුණි. එහි 10 වැනි යොවුන් පුරය 2019 මාර්තු 27 සිට 31 දින දක්වා පැවැත්වෙන්නේ දකුණුලක වීරවිල කේන්ද්‍රකරගෙනය.

ප්‍රදේශයේ ජනතාවට මෙන්ම තරුණ තරුණියන්ට නවමු අත්දැකීමක් ගෙන ඒමට මෙම යොවුන්පුරය මේ වනවිට සමත් වී තිබේ. මෙවර මේ සඳහා රටවල් 40ක් පමණ නියෝජනය කරමින් විදෙස් තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටින අතර නන් දෙසින් මේ සඳහා එක් රොක් වී සිටින ලාංකික තරුණ තරුණියන් සඳහාද මෙය අදහස් හා සිය කුසලතා වර්ධනය කරගැනීමට මෙය පිටුවහලක් වී තිබේ. එමෙන්ම මේ තුළින් තරුණ තරුණියන්ට ජාතික සංහිඳියාව හා සම්මුතිවාදය පිළිබඳව අවබෝධය ලබා ගනිමින් අත්දැකීම් හුවමාරැ කර ගැනීමට අවස්ථාව හිමිව ඇති අතර, අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනයට උපකාරී වන ලෙසින් අධ්‍යාපන, ක්‍රීඩා, සංස්කෘතික ඇතුළු විවිධ අංශවල නියැලෙමින් සිය කුසලතා වර්ධනය කර ගැනීමටත් මේ තුළින් අවස්ථාව හිමිව තිබේ.

තරැණයා සවි බලගැන්වීම තුළින් නූතන සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කිරීමටද නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නවමු අත්දැකීම් රුසක් යොවුන්පුරවාසීන්ට ලබාදීමටත් අනාගතය ජයගන්නට විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් වැඩසටහන් රැසක් පැවැත්වීමට මෙවර යොවුන්පුරය කටයුතු යොදා තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන, යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව යොවුන්පුරය සංවිධානය කර ඇති අතර මෙවර යොවුන්පුරයේ තවත් විශේෂත්වයක් වන්නේ බාහිර තරුණ, තරුණියන් වෙනුවෙන්ද වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබීමයි.

යොවුන්පුරයේ සුවිශේෂී අංශයක් ලෙස ක්‍රීඩා අංශයද හඳුන්වා දිය හැකිය. තාරුණ්‍යයේ අනාගතය දිනන්නට ආකල්ප වෙනසක් මෙන්ම ක්‍රීඩාශීලි හැකියාවක් පෙරට ගෙන එන්නට වැඩසටහන් රැසක් මෙවර එහි ක්‍රියාවට නංවා තිබේ. ශරීර සුවතා, බැහැරගත ක්‍රියාශීලිත්ව පාඨමාලා, ජාතික ක්‍රීඩා සංචිත සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් බඳවා ගැනීම, මිනි මැරතන්, මිශ්‍ර වොලිබෝල් තරගාවලියක්ද ක්‍රීඩා අංශය මගින් සංවිධානය කර ඇති ඉසව් අතර කිහිපයකි.

යොවුන්පුරයේ කාගේත් අවධානයට යොමුවන තවත් කලාපයක් වන්නේ මාධ්‍ය කලාපයයි. යොවුන්පුරයට එන තරැණ තරුණියන් සඳහා මාධ්‍ය පුහුණු වැඩමුළු, සිනමා රසවින්දන වැඩ සටහන්, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම් ඇතුළු වැඩසටහන් රුසක්ද සංවිධානය කර තිබේ. රාජ්‍ය මාධ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන රැසක්ද මෙවර  යොවුන්පුරය හා අත්වැල් බැඳගෙන තිබේ. යොවුන්පුරය පුවත්පත ලේක්හවුස් ආයතනය හා එක්වද, යොවුන්පුර ගුවන් විදුලිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහයෝගය ඇතිව ද යොවුන්පුර කාලසීමාවේදී විකාශනය වේ. ජාතික තරුණ සේවා සභාවේ මාධ්‍ය අංශයේ ප්‍රයත්නයට රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාවේද ඉහළ දායකත්වය ලබාදී තිබේ. යොවුන්පුරයට යන එන තරුණ තරුණියන්ගේ වැඩි ආකර්ෂණයක් ලබා ගැනීමට මෙම මාධ්‍ය කලාපය සමත් වී තිබේ.

නිර්මාණාත්මක වැඩසටහන් රැසක් සමග ජාතික තරුණ සේවා සභාවේ සංස්කෘතික අංශයද වැඩ සටහන් ගණනාවක් යොවුන්පුරය වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබේ. යොවුන් කුමරා, කුමරිය තේරීම පළමු යොවුන්පුරයේ සිට ක්‍රියාත්මක වන තරග ඉසව්වකි. හොඳම හාස්‍ය රංගනය, හොඳම සංගීත කණ්ඩායම, හොඳම ජීව චිත්‍ර ඇඳීම, වීදි නාට්‍ය තරගයද යොවුන්පුරවාසීන් වෙනුවෙන් ක්‍රියාත්මක තරග ඉසව් අතර කිහිපයක් වේ. ප්‍රවීන කලාකරැවන්ගේ සහභාගිත්වයෙන් සිංහල හා දමිළ භාෂා මාධ්‍යයෙන් රසවින්දනාත්මක වැඩමුළු කිහිපයක් මේ දින 05 පුරා පැවැත්වීමට කටයුතු කර තිබුණි.

ජාත්‍යන්තර තරැණ සබඳතා අංශය මගින් විදෙස් තරුණ, තරුණියන් සම්බන්ධීකරණය කරනු ලබන අතර මෙවර යොවුන්පුරය සදහා විදේශීය රටවල් 40ක් නියෝජනය කරමින් යොවුන්පුරයට එක්වන තරුණ තරුණියන් සංඛ්‍යාව 100 කි. ශ්‍රී ලංකේය තරැණ ප්‍රජාව හා එක්වෙමින් යොවුන්පුර අත්දැකීම් බෙදාහදා ගන්නට මෙවර ඔවුන්ද දක්වන්නේ දැඩි උනන්දුවකි. දෙස් විදෙස් තරුණ තරුණියන්ගේ එක්වීමත් සමග ඔවුනොන් අතර සුහදතාවය වර්ධනය වීම මෙන්ම පෞරැෂ වර්ධනය මෙන්ම භාෂා කුසලතාවය වර්ධනය වීමද මේ තුළින් සිදු වී තිබේ.

තොරතුරැ තාක්ෂණ අංශය මගින් නවීන තාක්ෂණය භාවිතා කිරීමටද තරැණ පරපුරට අවකාශ ලබාදීමට පියවරගෙන ඇත්තේ අනාගතය ඇරඹුණා යන්න තවදුරටත් යථාර්ථයක් බවට පත් කරමිනි. ප්‍රදර්ශන කුටි අතරට ආරක්ෂක අංශ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රදර්ශන කුටි කාගේත් විශේෂ අවධානයට යොමුව තිබේ. මෙහිදී පොලිස් දෙපාර්තමේතුව විසින් ඉදිකර ඇති ප්‍රදර්ශන කුටිය ජනතාවට විශාල දැනුමක් එක් කිරීමට සමත් වී තිබේ. පරිගණක අපරාධ හා විවිධ පුද්ගලයන් ඉතා සූක්ෂම අයුරින් සිදුකරන අපරාධ වලින් බේරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම මෙහිදි සිදු කෙරෙති.

මෙවර වීරවිල පැවැත්වෙන යොවුන් පුරයේ විශේෂත්වයන් පිළිබඳ ජාතික තරැණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ මහතා මෙලෙස අදහස් දැක්වීය.

හම්බන්තොට වීරවිල පැවැත්වෙන මේ 10 වන යොවුන්පුරයට යෞවන සමාජවලට අමතරට වෙනත් සංවිධාන නියෝජනය කරමින් තරැණ කණ්ඩායම් යොවුන් පුරයට සහභාගි වෙනවා. රටවල් 40 ක තරැණ, තරුණියන් 100 දෙනෙකු සහභාගි වී සිටිනවා. ගම් මට්ටමේ බිම් මට්ටමේ රට බාර ගන්න ඉන්න තරුණයන්ට ලොව අලුත්ම තාක්ෂණික දැනුම ලබාදෙන්නට අප කටයුතු කිරීමයි අපේ අරමුණ බවට පත්වෙන්නේ... මේ යොවුන්පුර වැඩසටහන් මගින් තරුණයාගේ ජිවිතය තුළ හික්මීමක්. විනයක් මෙන්ම ඕනෑම ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්නට මඟ පෙන්වීම අප ලබාදෙනවා. අන්‍යන්ට ගරු කිරීම වගේම ඔවුන් තුළ විවිධ ක්ෂේත්‍ර තුළ පවතින කුසලතාවයන් එළියට ගන්නට වැඩ සටහන් නිර්මාණය කර තිබෙනවා. අපට හමුවෙන යොවුන්පුරයට එක් වූ බොහෝ දෙනා ඔවුන්ගේ අත්දැකීම් අපට කියනවා. එදා අපට ළමා අවධියක් තිබුණා. නමුත් වර්තමානයේ එහෙම ක්‍රීඩා කරන්න, විනෝද වෙන්නට, පොදු කටයුතුවලට සහභාගී වෙන්න තරුණයාට පවතින ඉඩකඩ ඇහිරී තිබෙනවා. ඔවුන් හැමකෙනෙක්ම දුරකථනයක් එක්ක කටයුතු කරනවා. විශේෂයෙන්ම වර්තමානයේ තරුණ පරපුර දුරකථනය එක්කම තමයි කටයුතු කරන්නේ. මේ තුළ දරුවන්ට අහිමි වන දේ බොහෝයි. ඔවුනට මිනිසුන්ගේ වේදනාව, දුක සතුට හඳුනාගන්නට බැහැ. බරපතළ ගැටලුවකට මේ තරුණයන් මුහුණ දෙනවා. උඩුගම්බලා පීනන්නට අපට සිදුවී තිබෙන්නේ ඒ නිසයි. යොවුන්පුරය කියන්නේ තරුණයෝ නායකත්වය ගන්නා වූ වැඩසටහනක්. ඒ නිසා අපේ අරමුණු යථාර්ථයක් බවට පත් කරන්නට මේ තුළින් හැකියාව ලැබේවි. 

යොවුන්පුරයට සමගාමීව වැඩසටහන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනු ලබනවා. වීරවිල සියලු පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ඇති කිරීමට අප පියවර ගන්නවා. සියලුම අමාත්‍යාංශවලින් තරැණයන්ට සිදුවන සේවාවන් පිළිබඳවත් අප දැනුවත් කිරීමට කටයුතු කරනවා. තරුණයන් දුරකථනයෙන් ඈත්කරන්න අපට බැහැ. ඒ නිසා තරුණයන් වෙනුවෙන් විශේෂ ‍මෘදුකාංගයක් හඳුන්වා දෙන්නට අප කටයුතු කරනවා. තරුණයන්ට අනාගතය ජයගන්නට අවශ්‍ය මගපෙන්වීමට මින් අපේක්ෂා කරනවා. ඒ වගේම තරැණයා සවිබල ගන්වන තරුණ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට යොවුන් පුරය මූලික කර ගන්නා බව පැහැදිලිවම කියන්න ඕනේ යැයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පැවසීය.

දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරැණු මෙම යොවුන්පුරය සදහා දිනපතා මැති ඇමතිවරැන්ගේ සහභාගීත්වයද සිදු කෙරුණු අතර අවසන් මහා උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද නියමිතය. ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ, ජාතික තරුණ සේවා සභාවේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ තිලක් පනාපිටිය, තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ටී.කේ. මහින්ද මහතා ඇතුළු පිරිසක් දිනපතා මෙම යොවුන්පුරය පිළිබදව සොයා බලමින් තරුණ තරුණියන් සඳහා මඟ පෙන්වීම සිදුකරනු ලබයි.

 සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00