2019 මාර්තු 30 වන සෙනසුරාදා

තැන්පත්කරුවා පාරට බස්සන ෆිනෑන්ස් කොම්පැණි

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 186

ඊ.ටී.අයි. සමාගමේ මුදල් තැන්පත්කරුවෝ නොබෝදා පාර්ලිමේන්තු ප‍්‍රවේශය අසලට පැමිණ විරෝධය පළ කළහ. එම සමාගම බංකොළොත් වී තිබේ. ඉතා පරෙස්සමෙන් ඉතිරිකර හොඳ ආදායමක් අපේක්ෂාවෙන් ඊ.ටී.අයි. හි ධනය තැන්පත් කරන ලද පුද්ගලයෝ විපතට පත්ව සිටිති. ඊ.ටී.අයි. සමාගමට එනමින්ම ඇති ෆිනෑන්ස් සමාගම හා ස්වර්ණමහල් ෆිනෑන්ස්’ යන ආයතන අයත්ය. එපමණක් නොව මෑත කාලය තුළ ‘ද ෆිනෑන්ස් සමාගම’ ගනුදෙනු සම්බන්ධයෙන් අර්බුදයකට පත්විය. ‘ද ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්’ ආයතනය සතු බලපත‍්‍රය මහ බැංකුව මගින් අවලංගු කෙරිණි. අවදානමට ලක්වූ ෆිනෑන්ස් සමාගම් ගණනාවක කටයුතු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට ලක්ව තිබේ.

බැංකු හෝ ෆිනෑන්ස් අංශ කටයුතුවලදී විශ්වාසය ඉතාම වැදගත්ය. පොදු ජනතාව ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් ධනය අනුමත මූල්‍ය සමාගම්වල තැන්පත් කරයි. තැන්පත්වලට ඉහළ ප‍්‍රතිලාභ අපේක්ෂා කරන අතර මුදල සුරක්ෂිත යැයි විශ්වාස කෙරේ. මෑත භාගය තුළ මෙරට බැංකු හා මුල්‍ය ආයතන ගණනාවක් බංකොලොත් තත්ත්වයට පත් විය. ඒවායේ මුදල් තැන්පත් කළ ගනුදෙනුකරැවෝ මහත් අසීරු තත්ත්වයට පත් වූහ. කොළඹ අවට සංවිධාන ගත වන තැන්පත්කරුවෝ තමන්ට සහන සලසන සේ ආණ්ඩුවට බල කරති. පාර්ලිමේන්තුව අවට විරෝධතාවයට පසුබිම එයයි. මෙරට බැංකු හා මූල්‍ය ආයතනවල පැවැත්ම හා අධීක්ෂණය ගැන නැවතත් සාකච්ඡා කරන්නට සිදුවී තිබේ. 

ශ‍්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලය තුළ මෙරට බැංකු හා මූල්‍ය ආයතන කඩාවැටීම ඉදිරියේ බලවත් දුෂ්කරතාවයකට පත් විය. පසුගිය වසර දහයක ඉතිහාසය තුළ විශාල බිඳවැටීම් වාර්තා වී තිබේ. දශක අටකට ආසන්න ඉතිහාසයක් තිබුණ ගෝල්ඩන් කී ඇතුළු සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් මූල්‍ය අංශ ගණනාවක් බිඳ වැටීම එක පැත්තකි. එතැන් සිට ආරම්භ වූ ගමන ප‍්‍රමුඛ බැංකුව, සෙන්ට‍්‍රල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් සහ ද ෆිනෑන්ස් සමාගම හරහා ඊ.ටී.අයි. දක්වා විහිදී ගියේය. 2008 වසරේ ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් එහි අහිතකර බලපෑම් රටටද මුහුණ දෙන්නට සිදුවූ බව මහ බැංකුව මුලින් කියා සිටියේය. නමුත් පසුව මෙම මූල්‍ය ආයතවල පැවැත්ම නරක බව තේරැම් ගත්තේය. 

නිසි අධීක්ෂණය වෙනුවෙන් වෙනම ඒකකයක් මහ බැංකුවේ ඇත. මෙරට ලියා පදිංචි බැංකු හා මූල්‍ය ආයතන වල දෛනික ගනුදෙනු හා වත්කම් ගැන ඕනෑම අවස්ථාවක පරීක්ෂා කිරීමේ බලය මෙම අධීක්ෂණ අංශයට ඇත. නමුත් රටපුරා විහිදී ගිය බැංකු හා මූල්‍ය ආයතන පද්ධතිය දෙස බලනවිට එය පහසුවෙන් කළ හැකි කාර්යයක් නොවේ. නීති රීති ඇති නමුත් සටකපට මූල්‍ය ආයතන ඒවායෙන් රිංගා තමන්ට රිසි සේ කටයුතු කරති. බැංකුවලට තැන්පත් ධනය එකතු කරගැනීම සඳහා පොලී අනුපාත තරගකාරී සේ නංවන්නට හැකියාවක් නැත. විශේෂ තෑගි හෝ තරග පවත්වා තැන්පත් එකතු කරගන්නට බලය නැත. බැංකු හා ෆිනෑන්ස් සමාගම්වලට අයකර ගත හැකි ණය පොලී අනුපාත තිබේ. නමුත් මෙම නීති පැහැදිලිව උල්ලංඝනය කරන අවස්ථා තිබේ. පෞද්ගලික බස් රථවලට නියමිත පරිදි ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කරන වැඩ පිළිවෙළක් ක්‍රියාවට නගන්නට අසමත් ආණ්ඩු වාණිජ හා මූල්‍ය ක්ෂේත‍්‍රය පාලනයට තද නීති අනුගමනය කරන බව පෙන්වීම අසාර්ථක ප‍්‍රයත්නයකි.

ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ ෆිනෑන්ස් සමාගම රැ.බිලියන 33.5ක වත්කම් සහිත බව මූල්‍ය වාර්තාවල දක්වයි. තැන්පත්කරුවෝ 33,000ක ගේ රු. බිලියන 22ක් ආයතනය සතුව තිබේ. ස්වර්ණ මහල් ෆිනෑන්ස් ආයතනය සතු වත්කම් රු. බිලියන 2.5ක් වන අතර තැන්පත් ප‍්‍රමාණය ගනුදෙනුකරැවන් 2,300 කගේ රු. බිලියන 2.46 ක් බව සඳහන්ය. මෙම සමාගම් සමූහය අවදානමකට පත්වන විට ගනුදෙනු නතරකර ඒවායේ ගැටලු නිරාකරණය කරගැනීමට මහ බැංකුව මැදිහත් විය. මෙම මූල්‍ය සමාගම ඇතුළු අනුබද්ධ ආයතනවල කොටස් මිල දී ගෙන ආයෝජනය කරන්නට විදේශ සමාගමක් ඉදිරිපත් වූ අතර එහි අභ්‍යන්තරය හා මෙරට නීති අනුව ක‍්‍රියාකළ යුතු විලාෂය අපැහැදිලිය. ඒවා සංකීර්ණ ගැටලු මතුකර තිබේ. එකී ආයෝජනයට පසු තැන්පත්කරැවන්ගේ මුදල් සහ පොලිය ගෙවිය හැකි බව මහ බැංකුව මුලින් කියා සිටියේය. නමුත් එය විශ්වාසය දනවන වැඩපිළිවෙළක් වී නැත. ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ තැන්පත්කරැවන් පාරට බහින්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගමක තැන්පත්වලින් අගතියට පත් වූ පාර්ශවයකට ආණ්ඩුවෙන් සහන ඉල්ලන්නට පුළුවන්කමක් තිබේද? නැත. ආණ්ඩුවට ආදායමක් ලැබෙන්නේ බදු වලින්ය. මහජනතාව ගෙවන බදු මූල්‍ය ආයතන වල තැන්පතුවලට ගෙවන්නට යුතුකමක් නැත. නමුත් දේශපාලනය ක‍්‍රියාකරන්නේ පටු අරමුණු ඇතිවය. තමන්ට වාසි අවස්ථාවල රිසි පරිදි නීතියට එපිටින් ක‍්‍රියාකරයි. ද ෆිනෑන්ස් සමාගම මූල්‍ය අර්බුදයකට පත්වන බව පෙනි පෙනී 2011-12 කාලයේ එහි කොටස්  593,000 ක් මිලදී ගැනීමට සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදවා ඇත. අනතුරුව එම ආයතනයේ මුදල් අර්බුදය පියැවීම සඳහා රක්ෂණ අරමුදලෙන් 2015 මාර්තු මාසයේදී රැපියල් බිලියන දහයක් නිදහස් කරන්නට මහ බැංකුව පියවර ගත්තේය. මෙම සියලු උත්සාහයන්ට යොදවන්නේ ජාතික ධනයයි. එය අසාර්ථක වූ අවස්ථාවේදී ගනුදෙනු නතර කර බලපත‍්‍රය අවලංගු කර තිබේ. 

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් ගොල්ඩන් කී ක්‍රෙඩිට් සමාගමේ තැන්පත්කරුවන්ගෙන් සියයට 92.75 කට ආපසු මුදල් ගෙවා තිබේ. මෙම මුදල් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රු. බිලියන 7.4 ක් නිදහස් කර ඇත. එම මුදල් නිදහස් කළේ වත්මන් ආණ්ඩුව යටතේ බව සඳහන් කළ යුතුය. මෙම ලිපියේ මුලින් මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට මහජන මුදලින් වන්දි ගෙවීමට ක‍්‍රමයක් නැති බව සඳහන් කළේය. නමුත් නැති ක‍්‍රම වලට කැබිනට් මණ්ඩල අනුමැතිය අනුව මහා භාණ්ඩාගාරය මුදල් නිදහස් කර ඇත. එක කොටසකට එවැනි සහන ලැබුණ පසු ඊ.ටී.අයි. තැන්පත්කරැවන්ද පාර්ලිමේන්තුව වෙත පැමිණ විරෝධය පළකිරීමට අයිතියක් තිබේ. මේවා ආණ්ඩුවේ මුල්‍ය වගකීම්වල අසාර්ථක භාවය ගැන පැහැදිලි සාක්ෂි සේ ඉතිහාස ගතවනු ඇත. කිසිම ආපසු අය කර ගැනීමේ පිළිවෙළක් රහිතව රු. බිලියන 7.4ක මුදලක් ගෝල්ඩන් කී තැන්පත්කරැවන්ට ගෙවන ලද පදනම ප‍්‍රශ්න කරන්නට අවශ්‍යය. එයට වැඩ කළේ ජනතාවගෙන් අයකළ බදු බව තේරැම් ගැනීම අවශ්‍යය.

සක්විති ක‍්‍රමයේ සමාගම්වල සිට, ගොල්ඩන් කී,  ද ෆිනෑන්ස් සමාගම සිට ඊ.ටී.අයි. දක්වා මෑත දශකය තුළ තුළ රැපියල් බිලියන ගණනින් තැන්පත්කරුවන්ගේ ජනතා ධනය නැති භංගස්ථාන වී ඇත. ඉතාම තද නීති යටතේ පාලනය වන කොටස් වෙළඳපොළ ලැයිස්තුගත සමාගම් විනාශ වී ගොස් තිබේ. ටච්වුඩ් එයට එක උදාහරණයකි. කොටස් විකුණා ජනතාවට ටච්වුඩ් වගා බිම් ඔප්පු ලබාදුන් සමාගම හදිසියේ බංකොලොත් වූ අතර එහි ඈවර කිරීම තවමත් අවසන් නැත. කොටස් මිල දී ගත් හා ආයෝජනය කළ පිරිස සම්පූර්ණයෙන්ම අගතියට පත්ව සිටිති. රජයෙන් හෝ කිසිම තැනකින් සහනයක් නැත. එක පාර්ශ්වයකට සහන ලැබෙන හා තවත් පිරිසකට කිසිම සහනයක් නැති ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති යුක්තිසහගත නැත. මෙම විශ්වාසය බිඳවැටීම හෙයින් කොටස් වෙළඳාම දුර්වල වී ඇති අතර ජනතා ආකර්ෂණය අවම වී ඇත. මූල්‍ය ක්ෂේත‍්‍රයට ද එය සිදුවෙමින් පවතින බව අනතුරැ ඇඟවිය යුතුය.

බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් බිඳ වැටුණ පසු විපත පොදු ජනතාවටය. තැන්පත්කරුවන්ටය. මහ බැංකුවේ මැදිහත්වීමෙන් මෙරට බැංකු හා මූල්‍ය ආයතනවල තැන්පත් කරුවන්ගේ ධනය වෙනුවෙන් රක්ෂණ ක‍්‍රමයක් තිබේ. එම රක්ෂණය අනුව උපරිම වශයෙන් රුපියල් ලක්ෂ හයකට රුකවරණයක් ලැබේ. මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හා මූල්‍ය ආයතන වාර්ෂිකව ගෙවන දායක මුදලින් මෙම අරමුදල ගොඩනැගී ඇත. උපරිම ආරක්ෂාවක් හා උපරිම පොලියක් ගෙවන බව ප‍්‍රකාශ කරන බැංකු, ෆිනෑන්ස් හා ලීසිං සමාගම්වල පැවැත්ම ගැන ජනතාව හොඳට හිතාබැලීම සුදුසුය. ප‍්‍රකාශ කරන ආරක්ෂාව කිසිසේත් රුපියල් ලක්ෂ හය ඉක්මවන්නේ නැත. ඉතිරි කිරීමට ධනය ඇති ජනතාව ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් දෙස ඉතා සුපරීක්ෂාකාරී අවධානයක් යොමු කළ යුතුය. තමන්ට සැකසහිත තැන්වල තැන්පත් කිරීමෙන් වැළකීම සුදුසුය. එක ආයතනයක් තෝරාගැනීම වෙනුවට ආයතන දෙක තුනක බෙදා තැන්පත් කිරීම අවදානම අඩු කරගැනීමට ගැලපෙන එක විකල්පයකි. අසාර්ථක වූ පසු ආණ්ඩුවට දොස් තැබීම සුදුසු නැත. ඕනෑම ආණ්ඩුවක් තමන්ට කැමති තීරණ ගනී. හිතවත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටී. ගෝල්ඩන් කී සමාගමට දෙන සහන ඊ.ටී.අයි. සමාගමට ලැබෙන්නේ නැත. ද ෆිනෑන්ස් සමාම බිඳ වැටෙන බව පෙනි පෙනී බිලියන ගණනින් සහන දෙන ආකාරයට අනාගතයේදී අනෙක් ආයතනයකට පහසුකම් සැපයෙන්නේ නැත.  

අගති අවම කිරීම සඳහා 2015 වසරේදී වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි  මහතාගේ නියමය අනුව සෑම ෆිනෑන්ස් සමාගමකම අවම මෙහෙයුම් ප‍්‍රාග්ධනය වශයෙන් වත්කම්වලින් සියයට දහයක් පවත්වා ගෙන යා යුතු බව දන්වා සිටියේය. එම ප‍්‍රතිපත්තිය අනුව වසර 2020 වනවිට අවම වශයෙන් මෙහෙයුම් ප‍්‍රාග්ධනය සියයට 12.5 දක්වා නංවන සැලැස්මක් ඇත. එයට අසමත් වන මූල්‍ය ආයතන වලට ඒකාබද්ධව මූල්‍ය කටයුතුවල නිරත විය හැකිය. වානිජ බැංකුවලටද මෙම නියමය අදාළය. නමුත් වාර්තා පෙන්වන පරිදි මෙම ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරන්නට සමත් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන ප‍්‍රමාණය සීමිතය. අවදානම තේරුම් ගෙන ආයෝජනය ගැන අවධානය යොමු කිරීම සුදුසුය.

 ගාමිණී සරත් ගොඩකන්ද

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00