2019 මාර්තු 23 වන සෙනසුරාදා

ලංකාවම කම්පාකරන භූ කම්පනයක් අත ළඟද?

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 683

මෙවර මාර්තු මාසය ඇරුඹුණේ සොබාදහමේ නපුරු අනතුරු ඇඟවීමක් සමගිනි. ආරංචිය ආවේ බදුලු පළාතෙනි. මේ අනතුරු ඇඟවීම ලැබුණේ ලංකාවේ කලාතුරකින් වාර්තාවන භූ කම්පනයක් මගිනි. බදුල්ල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ එම භූ කම්පනය සමඟ ආන්දෝලනාත්මක කතාබහක් හටගත්තේය. භූකම්පන පිළිබඳ විවිධ හේතු සාධක මතවාද ඉදිරිපත් වූයේ බොහෝදෙනා අවුලෙන් අවුලට පත්කරමිනි. නමුත් බදුලු පුරය කැළඹූ මෙම කම්පනය අපට නැවත මතක් කර දෙන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් අතීතයේ මෙන් භූමිකම්පා අනතුරින් මිදුණු කෙම්බිමක් නොවන බවයි. ඒ නිසා වඩාත් හානිදායක මහාවිපත්තියකට ඉදිරියේදී ගොදුරු නොවීමට නම් නිසි ආරක්ෂිත පෙර සූදානමකට කාලය එළැඹ ඇති බවයි.

පසුගිය 16දා පෙරවරැ 8.14ට පමණ සිදු වූ බවට වාර්තා වී ඇති මෙම කම්පනය බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවල ජනයාට අත්විඳින්නට සිදුව ඇත. විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බව එහිදී වාර්තාවිය. එම ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ අධික ශබ්දයක් සහිතව පොළව සෙලවීමක් තත්ත්පර 03ක පමණ කාලයක් පැවැති බවයි. මින් පෙර දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල හා සබරගමුව පළාතේ මෙවැනි භූ චලන ඇතිව තිබේ.

ලංකාවේ 1615 අප්‍රේල්වල ඇතිවුණු බව කියන භූමි කම්පාව වාර්තාගත ඉපැරුණිතම භූ කම්පනයයි. එය වැඩිම හානි සිදු කළ භූ කම්පනයද වෙයි. පරංගි සමයේ අවුරුදු දා සිදුවූ මේ භූ කම්පනය හේතුවෙන් මිනිස්සු 200ක් පමණ මියගිය බවට සටහන් පෘතුගිසි  ලේඛනයකින් හමුවේ. අපේ ප්‍රධාන පෙළේ භූ විද්‍යාඥයකු වන මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතාට අනුව නම් 1615 - 2000 දක්වා කාලය ඇතුළත භූ කම්පන වාර්තා වී ඇත්තේ 60ක් පමණ අඩු සංඛ්‍යාවකි. 2001 අවුරැද්දේ අන්තිමේ කොළඹටත් දැනුණු භූමි කම්පාව රිච්ටර් පරිමාපකයේ 5.9ක් විදියට වාර්තා විය. ඊට පෙර 1993දී කළුතරට බලපෑ  භූ කම්පනය රිච්ටර් පරිමාපකයේ 6.3කි. ලංකාවට බලපෑ රිච්ටර් පරිමාපකයේ 5.5 ඉක්මවූ  හැම භූමි කම්පනයක්ම සිදුව ඇත්තේ සාගරය ආශ්‍රීතවය. 2004දී අපේ රටටද සුනාමි රුගෙන ආ භූ කම්පනයද  එවැන්නකි. එය සිදු වුණේ සුමාත්‍රා දූපත් අසල මුහුදේය. 2004 වසරින් පසු අපේ රටටද වරින්වර භූ කම්පනයන්ට වැඩියෙන් මුහුණ දෙන්නට සිදුව තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් 15 සෙනසුරාදා ප්‍රබලතාව 3.5-3.8ත් අතර වූ භූ කම්පනයක් ත්‍රිකුණාමල කලපුව ආශ්‍රිතව වාර්තා විය. ත්‍රිමලය මුත්තූර් සහ කින්නියාවල ජනතාවට මේ භූ කම්පනය දැනී තිබුණි. එම කම්පනය සිදුවීමට පෙරදා රෑ මැදියමේ අන්දමන් සහ නිකබෝර් අසල 5.1 ප්‍රබලතාවයකින් යුතු කම්පනයක් සිදුව තිබුණි. බදුලු කම්පනය එන්නේ ඉන්පසුවය. එය සමාජය තුළද කම්පනයක් අතිකළ කතාබහකට මුල්ව ඇති නිසා භූ කම්පනයක් යනු කුමක්ද? ලංකාවට ඒවායෙ බලපෑම කෙසේද යන්න විමසිමට මේ කාලයයි.

පෘථිවි පෘෂ්ඨය විවිධ පාෂාණ සමූහයකින් තැනුණු ඝන පිටකටුවකි. විද්‍යාඥයන් එය විස්තර කරන්නේ දොඩමක ලෙල්ල මෙන් වූවක් ලෙසටය. මෙය පෘථිවි කබොල ලෙස හැඳින්වේ. එයට ඇතුළතින් ප්‍රාවරණය නම් වූ තවත් පාෂාණ කලාපයක්ද ඊටත් ඇතුළතින් හරය නම් වූ තවත් අධික ඝනත්වකින් යුක්‌ත පාෂාණවලින්ද සමන්විත වී ඇත. මේ කියන පිට කබොලට ඇතුළතින් කබොලත් හරයත් වෙන් කෙරෙන මායිමේ සිට ගැඹුරින් 1/4ක්‌ පමණ වූ ප්‍රදේශයක්‌ පසු කළවිට පවතින්නේ අධික උණුසුමින් යුක්‌ත අර්ධ ඝන (හෝ අර්ධ ද්‍රව) තත්ත්වයේ පවතින රක්‌ත තප්ත වූ කලාපයකි. එය නිරන්තරයෙන් පැසෙන ලෝදියෙන් සමන්විත කලාපයකි. මේ අර්ධ ද්‍රවතැටිය මත ඊට ඉහළින් පිහිටා ඇති හරයෙහි ඉහළ කොටසත් කබොලත් එක්‌ වූ තනි පාෂාණ කුට්ටි සහිත කලාප භූ තල තැටි ලෙස හඳුන්වන අතර ඒවා විවිධ ස්‌ථානවලින් පිපිරී ඉරිතැලී වෙන් වෙන් භූ තල කැබලි ලෙස වෙන්ව ඇත. මෙවැනි ප්‍රධාන භූ තල 13ක්‌ පමණ පවතියි. මේ තල දෙකක්‌ අතර මායිම භූ තල මායිම් ලෙස හඳුන්වයි. 

මෙයට අමතරව සමහර ප්‍රධාන භූ තල කුඩා භූ තල තැටි හැටියටද නැවත වෙන් වී ඇත. එම භූ තල යටින් ඇති අර්ධ ද්‍රව කලාපයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් විවිධ දිශාවන්වලට සෑම මොහාතකම  ගමන් කරමින් පවතියි. මේ චලන බොහෝ සෙමෙන් සිදුවේ. මෙහිදී සමහර භූ තල එකෙනෙක වෙත අභිසාරි ලෙස  චලනය වේ. තවත් ඒවා එකිනෙකින් ඉවතට එනම් අපසාරීව චලනය වේ. තවත් භූ තල එකිනෙක ස්‌පර්ශ කරමින් එකින් එකට ඇතිල්ලමින් දෙපසට චලනය වේ. භූ කම්පන ඇති කරන්නෙ ඉහත කී එකිනෙක වෙත සිදුවන අභිසාරී තල මායිම්වල චලනයන් හා එකට ඇතිල්ලෙමින් දෙපසට සිදුවන චලනයන්ය. එකිනෙක වෙත තල්ලු වන තෙරපෙන භූ තල නිසා ඒවායේ  මායිම් අසල අධික පීඩනයක්‌ රුස්ව පවතී. එය දරාගත නොහැකි වනවිට මේ පීඩනය එක විටම කිසියම් තැනකින් නිදහස්‌ වේ. මෙනිසා අධික කම්පනයක්‌ සහිතව භුමිය චලනයට ලක්‌ වේ. භූ කම්පනයක් ලෙස දැනෙන්නෙ මෙයයි.

ලොව භූ කම්පන සුලභ ස්‌ථාන ලෙස ජපානය හා පැසිෆික්‌ ගිනි වළල්ල (Pacific Ring of Fire) නමින් හැඳින්වෙන පැසිෆික්‌ (ශාන්තිකර) සාගරය ආශ්‍රිත ගිනි කඳු පිපිරීම් බහුල ප්‍රදේශ, ෆීජී දූපත් හා නැඟෙනහිර ඉන්දීය දූපත් (ජාවා, සුමාත්‍රා, බෝර්නියෝ) ආශ්‍රිත ප්‍රදේශය (ඕස්‌ට්‍රේලියානු භූ තැටියට මායිම්ව), මධ්‍යම ආසියාව, අප්‍රිකානු - යුරේසියානු භූ තැටියට මායිම්ව පිහිටි ආද්‍රියාතික්‌ මුහුද අවට ප්‍රදේශය හා මධ්‍යධරණී මුහුද අවට, අරාබියානු භූ තැටිය හා යුරේසියානු / අප්‍රිකානු භූ තැටි ඝට්‌ටනය වන ලෙබනනය ආශ්‍රිත ප්‍රදේශ, උතුරු අමෙරිකාවෙහි සැන් ෆ්‍රැන්සිස්‌කෝ බොක්‌ක ආශ්‍රිත පැසිෆික්‌ හා උතුරු අමෙරිකානු භූ තල මායිම, ඇලස්‌කාවේ මධ්‍යම වෙරළ ප්‍රදේශය සහ නවසීලන්තය හැඳින්විය හැකිය. 

මෙතෙක්‌ කලක්‌ ලංකාව පැවතුණේ භූ තල මායිමකට ළංව භූ කම්පන බලපැමක් සිදුවිය හැකිතරම් ආසන්න දුරකින් නොවේ. ශ්‍රී ලංකාව තිබුණේ ඉන්දු-ඕස්‌ට්‍රේලියානු භූ තලය නමැති තැටිය මධ්‍යයේය. එම පිහිටීම නිසා අවට රටවල සිදුවන භූ චලන පිළිබඳව අප සැලකුවේ සැහැල්ලුවෙනි. අවදානමක්‌ නොමැති ලෙසිනි. එහෙත් එම තත්ත්වය මේ වන විට ක්‍රමිකව වෙනස්‌ව තිබේ.

දැන් ලංකාවත් ඕනෑම මොහොතක දරුණු භූ කම්පනයකට මුහුණදීමේ අවදානම මතුව තිබේ. ඒ ගැන මෙයට වසර ගණනාවකට පෙර සිට සනාථ කර ඇත්තේ පේරාදෙණිය සරසවියෙහි භූ විද්‍යා දෙපාර්තමේන්තුවෙහි සේවය කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සී.බී. දිසානායක මහතාය. මේ සඳහා කදිම විද්‍යාත්මක සාක්‌ෂි සපයන්නේ ජාතික විද්‍යා පදනමෙන් පළ කෙරෙන විද්‍යා සඟරාවේ 30 වැනි වෙළුමෙහි පළමු කලාපයේ ඔහු පළ කර තිබූ පර් යේෂණ පත්‍රිකාවකි. මේ පත්‍රිකාවෙහි පවසන ආකාරයට ලංකාවට දකුණු මුහුද ආසන්නයේ නව භූ තල මායිමක්‌ හටගනිමින් පවතී. එය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට සැතපුම් 500- 600ක්‌ පමණ ආසන්න දකුණුදිග මුහුදු කලාපයේ ඉන්දු-ඕස්‌ට්‍රේලියානු භූ තලයේ පිහිටයි. මේ පිපිරීම කාලයත් සමඟ තවදුරටත් පුළුල් වෙමින් වඩාත් ක්‍රියාකාරී තල මායිමක්‌ බවට පරිවර්තනය වෙමින් පවතියි. පසුගිය කාලවකවානුව තුළ සිදු වූ භූ චලනයන්වල කේන්ද්‍රයන්ගේ සිතියම ගතහොත් ඒවා බොහොමයක්‌ මේ නව පිපිරීම සිදුව ඇති නව භූ තල මායිමක් හටගනිමින් පවතින කලාපය ආශ්‍රිතව  ස්‌ථානගතව ඇති බව තහවුරු වෙයි.  

බටහිර ප්‍රධාන පෙළේ විද්වතුන්ද මේ බව සනාථ කර ඇත. 1980 දී වෙයිසල් ගේ පර් යේෂණ කණ්‌ඩායමේ සහ 1986 දී වීන්ස්‌ සිදු කළ පර් යේෂණවලින් මේ නව භූ තල මායිම බිහි වන බව හොඳින්ම තහවුරු කර ඇත. ඇමෙරිකා එක්‌සත් ජනපද භූ විද්‍යා සමීක්‌ෂණ කාර්යාංශය (USGS) මඟින් සම්පාදනය කෙරෙන නව භූ තල මායිම් සිතියමෙහි මෙලෙස ඇති වන පැල්ම පැහැදිලිව ලකුණු කර ඇත.

තවමත් සිදුවන හිමාලය කන්ද උසින් වැඩිවීමේ ක්‍රියාදාමය දිගින් දිගටම සිදුවීමෙන් ඉන්දු - ඕස්ට්‍රේලියානු භූ තලය උතුරු දෙසට චලනය වී අති විශාල යුරෝපියානු භූ තලයේ ගැටීමෙන් ඇති වන පීඩනය බොහෝ විට නිදහස්‌ වන්නේ ඉන්දු- ඕස්ට්‍රේලියානු භූ තලයේ දුර්වල කලාපයන්  හරහා පිපිරීම් ඇති කරවමිනි. එනිසා ඉන්දු- ඕස්ට්‍රේලියානු භූ තලය මධ්‍යයේ ඇති  ලංකාවට දකුණුදිග මුහුදේ (සැතපුම් 600ක්‌ පමණ ඈතින්) වාර්තා වන එම පිපිරීම් හේතුවෙන් භූ තැටිය මධ්‍යයේ නැත්නම් අන්තඃ භූ තලයේ භූ කම්පා ඇති වන බව වින්ස්ගේ පර්යේෂණවලින් පැහැදිලි වේ. එනම් සැතපුම් 600ක් දුර නව මායිමේ හටගත් භූ තලවල පිපිරීම් නිසා භූ තලය තුළ ඇති ස්ථානවල භූ කම්පාඇති වන බව එයින් තහවුරැ වේ. දැන් මේ වරින් වර අප රට වෙත බලපැම් ඇති කරන්නෙ එබඳු භුමි කම්පාය.

මේ හැර ශ්‍රී ලංකාවට නැඟෙනහිර වෙරළට කිලෝමීටර් 1,000ක්‌ පමණ ඔබ්බෙන් ඉන්දුනීසියාව, නැඟෙනහිර ඉන්දුනීසියානු දූපත් ආශ්‍රිතව පිහිටි භූ තල මායිම් ඉතාම සක්‍රීය වන අතර ඒවායේ චලනයන් 2004දී අප හට සුනාමි ව්‍යසනයද අත් කර දී ඇත. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් තවම නිසි පරිදි වෙන් වී නැති නිසා ඉන්දියාවේ සිදුවන භූමිකම්පා අපේ රටටත් බලපායි. මෑතක සිට අප රටේ භූමිකම්පා ශීඝ්‍රයෙන් ඇති වූ බව අප කවුරුත් දන්නා කරුණකි. සමහර ප්‍රදේශ භූචලන කලාප වශයෙන්ද නම් කර ඇත. ලංකා‍වේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන එම භූමිකම්පා කලාපය ආශ්‍රිතව ඉදිරියේදී මහා පරිමාණ භූමිකම්පාවක් වුවද සිදුවීමේ අවදානම් තත්ත්වය වැඩි වී ඇති බව භූ විද්‍යාඥයෝ අනතුරැ හඟවති. එවන් භූ කම්පනයක් හේතුවෙන් නොසිතු විරූ මහා විනාශයක් සිදුවීමේ අනතුරක්ද සැඟවී පවතින බව මෙහිදී සිහිපත් කළ යුතුය.

මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහතා මේ ගැන  පවසන එක් අයෙකි. ඔහු පෙන්නා දෙන පරිදි ඉන්දියානු සාගරයේ සිදු වී ඇති විශේෂිත භූ කාරක ක්‍රියා නිසා ලංකාව තුළත් ලංකාව අවට මුහුදු පතුලේත් විශාල පැලුම් ඇතිවී ඇත. ඉන්දියානු භූ තලයේ උතුරැ-දකුණු කොටස් ඒවා අතර සම්පීඩනය හේතු කොටගෙන ලංකාව තුළ සහ එයට පිටින් පිහිටි මේ පැළුම් හෙවත් විභේද දිගේ චලනය වීමට උත්සාහ දරයි. මෙහි ප්‍රථිඵලයක් ලෙස ලංකාව තුළත් ඉන් පිටතත් භූමි චලන ඇති විය හැකිය. ශ්‍රී ලංකාවේ භූ කම්පන කලාපයක් ඇතිවීමට ආසන්තම සාධාරණ හේතුව එයයි.  

පෘථිවි අභ්‍යන්තර මෙන්ම පිටත නිර්මාණයේ සහ පැවැත්මේ ඇති තොරතුරු පිළිබඳ භූ විද්‍යාත්මක ගවේෂණයන්හි නියැළුණු භූවිද්‍යා විශේෂඥ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතා කළ හෙළීදරව්වකට අනුව මේ තත්ත්වය හේතුකොට ඉතා භයානක හානි ගෙන දිය හැකිය.  ශ්‍රී ලංකා භූ තලයේ ඇතුළත සැඟව ඇති කුඩා සහ යෝධ පැළුම් කුස්තූර පිළිබඳ ගවේෂණ කරමින්, එයින් රටට වන හානිය පිළිබඳ මීට වසර ගණනාවකට පෙර ඔහු හෙළි කළේය. විතානගේ මහතාගේ පර්යේෂණවලින් සොයාගත් කරැණු අනුව ශ්‍රී ලංකාවේ මැද සිට ඊසාන සහ නිරිත දිග දෙසට විහිදී ඇති යෝධ පැළුම් කුස්තූර තිස්පහක් පමණ තිබේ. කුඩා පැළුම් දහස් ගණනකි.

මෙරට පිහිටි භූතලයේ අභ්‍යන්තරයේ ඇති පැළුම් අතරින් යෝධ හා දිගම පැල්ම ත්‍රිකුණාමල වරායෙන් ආරම්භ වී මහවැලි ගඟ දිගේ මහියංගණය, මොනරාගල, හපුතලේ සහ උඩවලවේ යන ප්‍රදේශ ඔස්සේ හම්බන්තොටින් මුහුදට විහිදී ගොස් ඇත. කඳුකර ප්‍රදේශ හරහා වයඹ, ගිනිකොන දිශාවට විහිදී ඇති පැළුම් 11ක් පමණ වේ. මාතලේ, උකුවෙල, වත්තේගම, තෙල්දෙණිය, දිගන, අධිකාරිගම, කිඹුලන්තොට, නිල්දණ්ඩාහින්න සහ කටුගස්තොට, පිඟාඔය හරහා මහනුවර, ගලහ, නුවරඑළිය දිශාවට කිමී 40ක් පමණ දිගට කිමී 15ක් පමණ යටට‍ තවත් පැළුම් කුස්තූර 10ක් පමණ ඇත.

මේ අතර ඊසාන දිග සිට නිරිතදිග දක්වා - එනම්: මීමුරේ, රංගල, තවලංතැන්න, පුස්සමඩ, කොත්මලේ, පූඬලුඔය, හැටන් හරහා සහ සමනොළ අඩවිය දක්වා - කිලෝමීටර සිය ගණනක් දිගට පැළුම් කුස්තූර විහිදී ගොස් ඇති බව මහාචාර්ය විතානගේ මහතා සොයාගෙන තිබේ. ලූල්කඳුර, රිකිල්ලගස්කඩ, නිල්දණ්ඩාහින්න යන ප්‍රදේශවල යෝධ පැළුම් කුස්තූර රාශියක් ඇති බවත් වික්ටෝරියාවට උතුරෙන් මිනිපේ අතර සහ නැඟෙනහිර බස්නාහිර කුස්තූර කලාපයක් ඇති බවත් ඔහු පෙන්වා දී ඇත. එමෙන්ම පදියපැලැල්ල සහ බෙලිහුල්ඔයද විශාල පැළුම් පෙන්නුම් කරයි. විශාල පැළුම් කුස්තූර ඇති ප්‍රදේශ වරින්වර අවුරුදු ගණනක් සිට තල්ලු වෙමින් පවතින බවද සොයාගෙන ඇත. මේ භූ කාරක කුස්තූර කෙළින්ම ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති විශාල වේලි, විදුලි බලාගාර සහ කොත්මලේ, වික්ටෝරියා සහ රන්දෙණිගල ජලාශ ඉදිකර ඇති ස්ථාන තුළ ද පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ ඇති විශාල පැළුම් නිසා සමනල වැව ජලාශයේ දකුණු ඉවුර දිගට ඇති වන කාන්දු වීම මේ පිළිබඳ හොඳම නිදර්ශනයකි. ලෝකයේ ඉදිකර ඇති විශාල වේලි අතරට ගැනෙන වික්ටෝරියා වේල්ල හරහාද විශාල පැල්මක් ඇදී යයි. කොත්මලේ වේල්ල ළඟින්ද පැල්මක් ඇදී යන අතර, වේල්ල ආශ්‍රිතව තවත් පැළුම් පහක් පිහිටා ඇත. 

ඉතින් මේ පැළුම් සක්‍රීය වුවහොත් ඉතා භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදු වේ. පැළුම් නිසා විශාල ජලාශ අවට තද භූමිකම්පා ඇති විය හැකිය. මෙම විභේදයන් හෙවත් පැලුම් ඔස්සේ ඇති වන්නා වූ භූ කම්පාවල දී විසිරෙන ශක්‌තිය රට අභ්‍යන්තරයට ගෙන යෑමේ හැකියාව ඉතා වැඩිය. එනිසා එම විභේදයන් ඔස්‌සේ පවතින නගර, ගම්, ජලාශ සහ අනෙකුත් ඉදිකිරීම් අනතුරට ලක්‌වීමට වැඩි සම්භාවිතාවක්‌ ඇත. එයින් සිදුවිය හැකි හානිය 2004 සුනාමියට දෙවෙනි වන්නේ නැත. ඒ නිසා බදුලු කම්පනය අපට අනතුරු අඟවමින් මතක් කර දෙන්නේ මෙවන් ආපදාවක්  සඳහා පෙර සූදානමකට දැන්  කාලය ළංවී ඇති බවයි.

 සුගත් පී. කුලතුංග ආරච්චි