2019 මාර්තු 23 වන සෙනසුරාදා

ශ්‍රීලනිප - පොහොට්ටු කතාබහේ හතරමායිම්!

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 199

විධායක ජනාධිපති ධුරය පිළිබඳව සංවාදය නැවත වතාවක් මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන බව දැන් කාටත් පැහැදිලිය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුනේම නායකයන් පමණක් නොව ඒ ප්‍රධාන පක්ෂවලට සම්බන්ධ වී සිටින කුඩා පක්ෂ ද මේ දිනවල සිදු කරන්නේ විධායක ජනාධිපති ධුරය ඉදිරියට පවත්වාගෙන යා යුතු බවට තර්ක කිරීමය. එසේත් නැතිනම් ජනාධිපති ධුරයට විරුද්ධ වෙමින් එය වහාම ඉවත් කළ යුතු යැයි තර්ක කිරීමය. කාලයෙන් කාලයට මතුවන, නැවතත් යට යන මේ සංවාදය හිටිහැටියේ මතු වුවක් නොවන බව අප දන්නා කරුණකි.

ලබන ඔක්තෝබර් මාසයේ පටන් ජනාධිපතිවරණයක් සඳහා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිසමට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී ඇත. එනම්, ඒ සඳහා ඇත්තේ තවත් මාස 08ක කාලයක් පමණි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ දැන් සිටම කෙමෙන් කෙමෙන් සූදානම් වන අතර, විවිධ සන්ධාන ගොඩනගා ගැනීම සඳහා ද උත්සාහ කරමින් සිටින බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහ පැතිරෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා නව සන්ධානයක් ඇතිකර ගැනීමට මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇත. දෙපාර්ශ්වය අතර පළමු සාකච්ඡාව මෙම මස 14 වැනිදා පැවති අතර, දෙවැනි සාකච්ඡාව මෙම මස 21 වැනිදා පැවැත්විණි.

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වන ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණේ මෙම සාකච්ඡාව පිළිබඳ එම පක්ෂවල සාමාජිකයන් කිහිප දෙනකුගෙන් අපි මත විමසීමක් කළෙමු.

ස්ථිර වැඩපිළිවෙළකට පදනම වැටුණා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

පසුගිය 21 වැනිදා පැවති සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අපි අපේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කළා. එහිදී මූලික වශයෙන් කරුණු 20ක් අපේ අවධානයට ලක් වුණා. ඊළඟ එළඹෙන ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු 21 වැනි සියවසට ගැලපෙන රජයක් ආණ්ඩුවක් සහිත වැඩපිළිවෙළකට යනවා නම් ඒ සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අපි සාකච්ඡා කළා. ඒ වගේම මේ සියලු කරුණු පිළිබඳ අපි අවසන් එකඟතාවයකට ආවා. එම කරුණු පක්ෂ දෙකේ නායකයන්ට ඉදිරිපත් කරලා, පක්ෂ දෙකේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරලා ඒ හරහා අවශ්‍ය කරන ස්ථිර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න දෙවනුව විශේෂයෙන්ම අපි තව සාකච්ඡා කළා. ප්‍රාදේශීය සභා, නගර සභාවල මන්ත්‍රීතුමන්ලා සමඟ පක්ෂ දෙකේ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලියක් ගොඩනැගීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට, ඊට අමතරව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ලබන අප්‍රේල් 10 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව අපි තීරණය කරනවා.

ප්‍රතිපත්ති සැකසීම සාකච්ඡා කළා

කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස (හිටපු ශ්‍රීලනිප මහලේකම්)

මූලික වශයෙන්ම පසුගිය සාකච්ඡාවේදී අපි දෙගොල්ලන් විසින් හුවමාරු කරගත් ප්‍රතිපත්ති මාලාව පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. එහිදී ප්‍රධාන කාරණා 20ක් සඳහා අපි එකඟතාවයට එළැඹුණා. ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලන කාරණා පදනම් කරගෙන. මේ තත්ත්වය යටතේ අපිට පුළුවන් වෙයි පොදු නමක්, නිලධාරී මණ්ඩලය සහ ඉදිරි මැතිවරණ කටයුතු කොහොමද කියන ආකාරය තීරණය කරන්න. ඒ වගේම තමයි මෙම යෝජනා මාලාව සහ ප්‍රතිපත්ති, පක්ෂ දෙකේ මධ්‍යම කාරක සභාවන්ට ඉදිරිපත් කරලා තමයි තීන්දු තීරණ ගන්නේ. මෙහිදී අපි නායකයා කවුද, තනතුරැ දෙන්නේ කාටද කියන එක ගැන සාකච්ඡා කළේ නැහැ. මෙය සාර්ථක ලෙස අවසන් වුණා.

පක්ෂ දෙකේ සාකච්ඡා වැදගත්

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල (ඒකාබද්ධ විපක්ෂය)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පැවැත්වුණු දෙවැනි සාකච්ඡාවත් මේ වෙනකොට සාර්ථක ලෙස අවසන් වෙලා. එහිදී මූලික වශයෙන් කරුණු 20ක් කෙරෙහි අවධානය යොමුවෙලා තියෙනවා. අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඒවා ඉදිරිපත් වුණාට පසු ඒ පිළිබඳ සාකච්ඡා කරන්න නියමිතයි. මේ වනවිට රට ආර්ථික වශයෙන් ඉතාම පහළ තැනකට තල්ලු වෙමින් යන්නේ. වර්තමාන ආණ්ඩුව ඒකට දෙන විසඳුම තමයි රටේ ජාතික සම්පත් විකුණමින් ඉදිරියට යන එක. මේ ක්‍රමයට විරුද්ධ වෙන්න ඕන. එහෙම බැලුවාම මේ පක්ෂ දෙක අතර වන සාකච්ඡාව ඉතාම වැදගත්. තවත් සාකච්ඡාවක් තියෙනවා අප්‍රේල් මස 10 වැනිදා. ඉන්පසුව තීරණය කරන්න පුළුවන් මෙහි ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව.

ජනතාවගේ පැත්තෙන් සුබ කටයුත්තක්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත (ඒකාබද්ධ විපක්ෂය)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවේ දෙවැනි අදියර සාර්ථක ලෙස අවසන් වෙලා තියෙනවා. මේ සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යාම රටේ ජනතාවට සුබ කටයුත්තක් ලෙසට තමයි අපි දකින්නේ. ඒකට හේතුව තමයි වර්තමාන ආණ්ඩුවට එල්ල කළ හැකි ප්‍රබලම ප්‍රහාරය තමයි අපි දෙගොල්ලන් සන්ධානගත වීම. ඊයේ දිනයේදී මූලික වශයෙන් කරුණු 20ක් පිළිබඳ මෙහිදී අවධානය යොමුවී තිබුණා. අපේ පක්ෂයේ නායකයන් මෙන්ම මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ඒ කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතයි. මෙහි තවත් සාකච්ඡාවක් ලබන මස 10 වැනිදා පැවැත්වෙනවා. මෙම පක්ෂ දෙක සන්ධානගත වී එකමුතු වුවහොත් ඉදිරි මැතිවරණවලදී වෙන්නේ මොකද කියන එක මේ ආණ්ඩුවට ස්ථිර ලෙසම දැක බලාගත හැකියි. 

I සටහන:- හසිත් අංජන