2019 මාර්තු 23 වන සෙනසුරාදා

හිරු එළියෙන් විදුලිය ගන්න වැඩපිළිවෙළ හබක්?

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 371

විදුලි බලය සම්බන්ධයෙන් අලුත් අර්බුද දිනපතා වාර්තා වෙයි. නොරොච්චෝල විදුලිය බලාගාරයේ බිඳ වැටීමක් පසුගියදා සිදුවිය. ස්ථාවර විදුලිය සම්පාදනය රට පුරා පවත්වා ගැනීමට අසමත් වූ අතර ඇතැම් ප‍්‍රදේශවල පැය අටක් දක්වා දීර්ඝ විදුලිය ඇනහිටීමක් සිදුවිය. නියඟය බලපවත්වන බැවින් ජලවිදුලිය නිෂ්පාදනය සීමා වී තිබේ. ජලාශ ආශ‍්‍රිත ප‍්‍රදේශවලට කෘතීම වැසි ඇති කරන තීරණයක් ගෙන ඇති අතර එහි පළමු අත්හදා බැලීම මෙම දිනවල සිදුකෙරේ. ජනන හැකියාව දුර්වල හෙයින් පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් හදිසි විදුලිය මිල දී ගැනීම් අපේක්ෂා කරන අතර එය ඉතාම දූෂිත ගනුදෙනුවක් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.

සූර්යයා හොඳින් පායන රටවල් හිරු රැස් උපයෝගී කරගෙන විදුලිය නිපදවන යෝජනා ක‍්‍රම මහා පරිමාණයෙන් අරඹා තිබේ. අප‍්‍රිකානු රටවල් හා චීනය ඒ අතර ඉදිරියෙන් සිටී. යුරෝපා රටවල් පවා ස්වභාවික විදුලිය උත්පාදන ක‍්‍රමවලට නැඹුරු වන අතර පොසිල ඉන්ධන භාවිතා කිරීම අවම කරන සැලසුම් දියත් කර ඇත. ශ‍්‍රී ලංකාවේ නියඟය සූර්ය විදුලිය නිෂ්පාදනයේදී අවස්ථාවක් විය යුතුව තිබේ. වසර පුරා හොඳින් හිරු පායන, මෙරට බලධාරීන් සූර්යතාපය විදුලියට හරවන ක‍්‍රම පසෙක තබා කෘත්‍රිම වැසිවලින් ජලාශ පුරවන්නට තීරණය කර තිබේ. හැකි ප‍්‍රමාණයකින් ඩීසල් විදුලිය උත්පාදනයට ගිවිසුම් අත්සන් කරති. ගල් අඟුරු බලාගාර ඉදිකරන්නට සාකච්ඡා පවත්වති. විදේශ ණය උපයෝගී කරගෙන ද්‍රව ගෑස් බලාගාර අලුතින් හදන යෝජනාවලට අවතීරණ වී සිටිති. එහෙත් ලක්ෂ ගණනක් පාරිභෝගිකයන් ජාතික විදුලිය බලපද්ධතියෙන් වෙන්කර හිරු එළියෙන් දිවා කාලයට යැපෙන හා එතැනින් නිපදවන අතිරේක විදුලිය ජාතික බලපද්ධතියට එකතු කරන වේගවත් සැලැස්මක් ඇති කළ හැකිය. සූර්ය බල සංග‍්‍රාමය ආණ්ඩුව දියත් කළ අදහසකි. උත්සවාකාරයෙන් වැඩ පිළිවෙළ ඇරඹිණ. නමුත් ඉලක්ක සාක්ෂාත් කරගෙන නැත.

විදුලිය බල මණ්ඩලයේ දත්තවලට අනුව ජාතික විදුලිය බලපද්ධතියට සූර්ය බලයෙන් ලැබෙන විදුලිය 2011 දී සියයට දෙකකි. 2014 දී එය සියයට එකක් දක්වා පහත වැටී ඇත. එයින් පසු තොරතුරක් අනාවරණය නොවේ. විදුලිය බල මණ්ඩය සූර්ය කෝෂවලින් නිපදවන විදුලියේ අතිරේක ප‍්‍රමාණය මුදල් ගෙවා මිල දී ගන්නා බව ප‍්‍රසිද්ධ කරයි. විදුලි බල මණ්ඩලයේ තොරතුරු ඒකකයට කතා කළ විට එය සුනිත්‍ය බල අධිකාරියෙන් විමසන සේ කියා සිටියේය. සුනිත්‍ය බල අධිකාරියට අනුව අතිරේක විදුලිය වෙනුවෙන් මුදල් උපයන පාරිභෝගිකයෝ සෑහෙන පිරිසකි. අධිකාරිය ලැයිස්තු ගත කරන ලද අනුමත සූර්ය කෝෂ සවිකරන සමාගම් 238 ක ලේඛනයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ ඇත. අතට සල්ලි ලැබෙන, සමාගම් රට පුරා පිහිටුවා ඇති සූර්ය විදුලිය බලය වෙනුවෙන් ජනතාව නැඹුරැ නොවෙන්නේ ඇයි? පාරිභෝගිකයන් විදුලිය නිපදවන්නන් බවට පත්කර එයින් ප‍්‍රයෝජන ගැනීම පැත්තකට තබා මහා පරිමාණ විදුලිය බලාගාර ඉදිකරන්නට බලධාරීන් උත්සාහ කරන්නේ මන්ද?

2019 අය වැය යෝජනා මගින් සූර්ය තාපයෙන් නිවාසවලට විදුලිය සැපයීම සඳහා සහන ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව එයට අවශ්‍ය ප‍්‍රාග්ධනය සපයා ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 50 ක් පළමු අදියර යටතේ වෙන් කර ඇති අතර අවශ්‍යනම් සහන ණයක් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් සැපයීමට ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙරට ප‍්‍රධාන බැංකු මගින් ජනතාවට සියයට අටක වාර්ෂික පොලියකට නිවාස සූර්ය බලයට හරවා ගැනීම සඳහා ණය ඇයැදුම් කළ හැකිය. අවශ්‍යනම් මාස හයක සහන කාලයක් සහිතව වසර දහයකින් ණය ගෙවා අවසන් කරන්නට හැකියාව තිබේ. සූර්ය කෝෂ මගින් වසර විසි පහක් දක්වා හොඳ උත්පාදනයක් පවත්වාගෙන යා හැකි බව තාක්ෂණික වාර්තා පෙන්වයි. පාරිභෝගිකයන්ට කෙසේ වෙතත් රටට සූර්ය බල විදුලිය උත්පාදනය විශාල වාසියකි.

ආණ්ඩුවේ ඉලක්ක අනුව වසර 2025 වන විට නිවාස ඒකක දස ලක්ෂයක් හිරැ එළියෙන් ආලෝකවත් කරනු ඇත. එය මෙරට පාරිභෝගිකයන්ගෙන් පහෙන් එකක කොටසකි. එම පිරිස බිල් නොගෙවන තැනට පත් වූ විට රටට ඉතිරිවන ධනය අති මහත්ය. ඉන්ධන ආනයනය කර එම එක දැවි තෙල් ලීටරයකින් විදුලිය ඒකක හතරක් නිපදවා රට පුරා විකුණා අති විශාල පාඩුවක් ලබන විදුලිය බල මණ්ඩලය සූර්ය තාප විදුලිය ගැන දැනට පවතින දිරි ගැන්වීම තවත් දියුණු කළ යුතුය. අය වැය ඇස්තමේන්තු අනුව ඛනිජ තෙල් සංස්ථාව 2018 වසරේ රැ. මිලියන 104,134 ක් අලාභ වාර්තා කර තිබේ. 2019 වසරේ දී අපේක්ෂා කරන අලාභය රු. මිලියන 18,134 කි. විදුලිය බල මණ්ඩලයේ 2018 වසරේ අලාභය රු. මිලියන 25,044 ක් වන අතර 2019 වසරේ දී අපේක්ෂා කරන අලාභය රු. මිලියන 87,075 කි. මේවා මහජන මුදල්ය. ජනතාවගෙන් අය කරන බදු ඉතා නාස්තිකාර වැඩ පිළිවෙළවලට වියදම් කරමින් සිටී. ලෝකය පුරා දියුණු රටවල් තාක්ෂණය උපයෝගී කරගෙන සූර්ය විදුලියට හැරවෙන අවස්ථාවේදී ශ‍්‍රී ලංකාව සුපුරැදු රාමුවෙන් ඉවත් වන්නට මැලිකමක් දක්වයි. කෘතීම වැසි ඇති කර විදුලිය නිපදවන යෝජනාවලින් එය සනාථ වෙයි. වැස්ස අවශ්‍යය. ගොවියෝ වැසි වැටෙන තෙක් බලා සිටිති. නමුත් ජලාශ ආශ‍්‍රිත පවතින ජලය පවා ගොවියන්ට නිදහස් කර සූර්ය තාපයෙන් විදුලිය නිපදවිය හැකි කඩිනම් ක‍්‍රම ගැන ආණ්ඩුව අවධානය යොමු කරන්නේ නැත. 

රට දියුණු වන විට විදුලිය බලය පරිභෝජන අවශ්‍යතාව වැඩි වෙයි. විදුලිය නිෂ්පාදනය හා බෙදාහැරීම නිසි පරිදි කළමනාකරණය කළ යුතුය. මෑත කාලය තුළ සෑම වසරකම මුල් කාර්තුවේ විදුලිය හිඟයක් ඇති වෙයි. සාමාන්‍ය නියඟයක දී පවා නිෂ්පාදනය අඩාල වන අතර එයට හේතුව ජල විදුලි බල නිෂ්පාදනය පහත වැටීමයි. ඉල්ලුම සපුරනු සඳහා මණ්ඩලය හදිසි විදුලිය මිල දී ගනී. පෞද්ගලික දැවි තෙල් බලාගාරවලින් වැඩි මිලට විදුලිය ගෙන අඩු මිලට විකිණීම හැර විකල්පයක් මණ්ඩලයට නැත. පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීමට සූදානම් වන බව අනාවරණය වෙයි. අනාගත අවශ්‍යතා සලකා සූර්ය තාප පරිභෝජනය ඉහළ නැංවීම කාලීන අවශ්‍යතාවයකි. මහා පරිමාණයෙන් දැවි තෙල් විදුලිය මිල දී ගැනීම වෙනුවට කුඩා පරිමාණයෙන් සූර්ය තාප විදුලිය නිපදවන්නන් වැදගත් විය හැකි බව ආණ්ඩුව කල්පනා නොකරන්නේ ඇයි? සැලකිය යුතු විදුලිය පරිභෝජනයක් කරන පාරිභෝගිකයන් තෝරා සූර්ය තාප පැනල ක‍්‍රමයට නැඹුරු කරන්නට උත්සාහ නොකරන්නේ මන්ද? යම් ප‍්‍රමාණයක් දිරි ගැන්විය හැකිය. එය ජාතික පද්ධතියේ දැවි තෙල් පරිභෝජනය අවම කරනු ඇත. ආර්ථිකයට ගැලපේ. නීල හරිත ආර්ථිකයක් ගැන කතා කරන ආණ්ඩුව විදුලිය බලයෙන් ධාවනය වන වාහන ආනයනය දිරිමත් කරමින් සිටී. එයට අවශ්‍ය විදුලිය සඳහා සූර්ය බලයෙන් විදුලිය නිපදවන වැඩ පිළිවෙළට එය සම්බන්ධ කළ යුතුය. ජාතික විදුලිය බල පද්ධතියෙන් දිවා කාලයේදී වාහන බැටරි ආරෝපණය කරන තැන් ස්ථාපිත කර ඒවායේ ගාස්තු ඉතාම අඩු කළ හැකිය. එම තැන් සූර්ය කෝෂවලින් ක‍්‍රියාත්මක කළ හැකිය. එය අලුත් ව්‍යවසායයක් වනු ඇත. ප‍්‍රධාන නගරවලට ඇතුළු වන වාහනවලින් විශාල ප‍්‍රමාණයක් පාසල් හා කාර්යාල සේවා වන අතර පැය ගණනක් ගාල් කර තැබේ. මෙම කාලය බැටරි ආරෝපණයට ප‍්‍රයෝජන ගත හැකිය. රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල එකතු වුවහොත් අලුත් අදහස් ක‍්‍රියාත්මක කර ආර්ථිකයේ පවතින අධික වියදම් රාමුව වෙනස් කරන හැකියාවක් තිබේ.

නමුත් ආණ්ඩුව හා නිලධාරීහු පැරණි ව්‍යුහයකට තදින් ඇබ්බැහි වී සිටිති. එකක් රජයට ලැබෙන විශාල බදු ආදායමයි. රටට ඉන්ධන ආනයනය කිරීම හොඳ බදු ලැබෙන මාර්ගයකි. ආණ්ඩුව හෝ පෞද්ගලික අංශයෙන් යන කොතැනකින් දැවි තෙල් විදුලිය බලාගාර ක‍්‍රියාත්මක කළත් වාසි මහා භාණ්ඩාගාරයටය. සූර්ය විදුලිය මගින් බද්දක් නොලැබේ. මැති ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට එයින් අතිරේක වාසි නැත. එහෙයින් කෙලින්ම සූර්ය බලය ප‍්‍රයෝජනයට ගැනීමේ ප‍්‍රතිපත්ති පුළුල් කරන්නේ නැත. රටට ගෙන්වන තෙල්වලින් සියයට හැටක් ප‍්‍රවාහනයට වැය වේ. වාහන විදුලිය බලයට හැරවීම හරි අඩක් වුවහොත් රටට ගෙන්වන තෙල් අඩු කළ හැකිය. දැවි තෙල්වලින් නිපදවන විදුලිය අවම කළහොත් රට අපහසුතාවයට පත්ව ඇති විනිමය හිඟයට ද උත්තරයකි. නමුත් මෙම චක‍්‍රය බිඳ අලුත් රාමුවක් නිර්මාණය කරන නිර්භීත අදහස් පාලකයන්ට නැත. ආසියානු සංවර්ධන බැංකුවේ සහණ ණය ප‍්‍රයෝජනයට ගත හැකිය. වැඩිපුර පාරිභෝගිකයන් ප‍්‍රමාණයක් සූර්ය බලයට හැරවීම කළ හැකි දෙයකි. 

පොදු සූර්ය ජනතාව හා ආයතනික අංශ සූර්ය විදුලියට පෙළඹවිය යුතුය. විදුලිය උත්පාදනය සම්න්ධ ප‍්‍රතිපත්ති සම්පාදකයෝ අලුතින් හිතන්නට අවශ්‍යය. පරිසරය ආරක්ෂා කරන අතර ජනතාව තමන්ගේ විදුලිය තමන්ම උත්පාදනය කරන තැනට හරවන්නට නම් නව උපාය මාර්ග අනුගමනය කළ යුතුය.

 ගාමිණී සරත් ගොඩකන්ද